අපේ බුදුන් වැඳ ගන්නට අවාරයේ යන්න බැරිද?

ශ්‍රී පාද වන්දනා සමය මැයි මස 23 දින යෙදුණු උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දිනයේදී සිරිපා වන්දනා සමය ආරම්භ වූ අතර, ශ්‍රීපාද වන්දනා සමය අවසන් වීමත් සමග උඩ මළුවේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමා වහන්සේ දේවාභරණ සහ පූජා භාණ්ඩ යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදු කෙරේ.

සාමාන්‍යයෙන් සිරිපා වන්දනා සමය උඳුවප් පුන් පොහෝ දිනයෙන් ඇරඹී වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වේ. එතැන් සිට නැවත උඳුවප් මස දක්වා අවාර සමය එළැඹේ. සාමාන්‍යයෙන් කාලසීමාව සැලකිල්ලට ගෙන ශ්‍රීපාද වාරය සහ අවාර සමය සලකන්නේ එසේයි.
අවාර සමයේ ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා බොහෝ විට නොයන අතර, දැඩි සුළං සහ වර්ෂාපතනය ඊට එක් හේතුවකි. වර්තමානයේ සිරිපා ගමන අසීරු නොවුණද අතීතයේ ජනයා සිරිපා වන්දනාමාන කළේ බොහෝ අභියෝග මැදය. අද මෙන් නොව එකල ජනයා බොහෝ දුරට වන්දනාවේ යන්නේ ශ්‍රද්ධා සම්පන්න සිතිනි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටා ඇති බැවින් සමනල කන්ද බොහෝ ජනයාගේ ගෞරවයට පාත්‍ර වන්නේය.
බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදී බුදුන් වහන්සේ වෙසක් පුන් පොහොදා කැලණියට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන්  සමන්ත කූට පර්වතයේ ඉන්ද්‍රනීල මාණික්‍ය මත උන්වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටුවන ලද බව මහාවංශයේ පළමු පරිච්ඡේදයේම සඳහන් වේ. එමෙන්ම හෙළ රජවරුන් ශ්‍රීපාදස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ කටයුතු ගැන මෙන්ම එවකට ජනතාවගේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්නභාවය පිළිබඳවද ඓතිහාසික මූලාශ්‍රවල මෙන්ම සෙල්ලිපිවලද මනාව සඳහන් වී ඇත. පළමුවැනි විජයබාහු මහ රජතුමා විසින් කරවන ලද අඹගමුව සෙල්ලිපිය, ශ්‍රීපාද අඩවිය සම්බන්ධ ඓතිහාසික තොරතුරු ඇතුළත් වටිනා ශිලා ලේඛනයකි.
මේ වන විට අවාරයේ සිරිපා වන්දනා කිරීම දේශීය ජනයාට තහනම් කර විදේශිකයන්ට පමණක් විවෘත කර තිබේ. පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රීපාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න හිමියන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු කමිටුව මේබව හෙළි කළහ.
එයට හේතු ලෙස සඳහන් වන්නේ, දේශීයන් අවාරයේ සිරිපා වන්දනාවේ යන විට සිදු කරනු ලබන අනිසි පරිසර දූෂණ  සහ අලාභහානිය.  කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව විමසා බලා සාධාරණ යැයි සිතෙනවානම්  දේශීයන්ටද අවාරයේ  සිරිපා කරුණා කිරීමට අවස්ථාව දී තිබේ.

එහෙත් සමහර දේශීය වන්දනාකරුවන් විසින් සිදුකරනු ලබන මෙම පරිසර විරෝධී මෙන්ම මෙවැනි  ක්‍රියා අප අනුමත නොකරන නමුත් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු වේ. එහෙත් මෙහිදී මේ ආකාරයට ස්වදේශිකයන් හා විදේශිකයන් ලෙස වාර හා අවාර සමය සලකා දෙයාකාරයකට සැලකීම කෙතරම් දුරට සාර්ථකද කියා විමසීම වෙනමම කරුණකි.
දේශීය වන්දනාකරුවන්ට අවාරේ සිරිපා වන්දනා කිරීම තහනම් කිරීම කෙතරම් දුරට සාධාරණද යන ප්‍රශ්නය පැනනගී. පෙර සඳහන් කළ ආකාරයට දේශීය වන්දනාකරුවන් අවාරයේ සිදු කරන අලාභ හානි සලකා එයට මුවා වී වන්දනාවේ යෑම තහනම් කිරීම ගැන යම් විරෝධයක් මතු වෙමින් පවතී.
සාමාන්‍යයෙන් රටක නීති පද්ධතියෙන්ම ඒ රටේ පුරවැසියන් ඉහළින් ඔසවා තබනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේම ඊට ඉඩකඩ සැලසේ. එසේ වුවද මෙම සිද්ධියේදී දේශීය සංචාරකයන් දෙවැනි තැන තබා විදේශිකයන් ඉහළට ඔසවා තැබීම සම්බන්ධව නීතිමය වටපිටාව තුළ ඉඩක් තිබේද යන්න පිළිබඳව විමසීම වඩාත් වැදගත් වේ.

අතීත සමයේ ශ්‍රීපාද වන්දනාව ඉතාම ගෞරව සම්පන්නව සිදු කළ ක්‍රියාවකි. එහෙත් සමහරෙකුගේ නොමනා හැසිරීම් ගැන සිතා මෙසේ සමස්ත ජනතාවටම අවාරයේ ශ්‍රීපාදය තහනම් කිරීම නම් ලාංකිකයන්ගේ කනගාටුවට මේ වන විට තුඩු දී තිබේ. මෙහිදී සිදු කළ යුත්තේ වාරය වේවා, අවාරය වේවා සිදුවන පාරිසරික හා අනෙකුත් අලාභ හානි නතර කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමය.
 අතීතයේ අවාරේ සිරිපා වන්දනාවේ යෑම අපේ අය නොකළද නිරිත දිග මෝසම් සමයේ ගමන දුෂ්කර වීමත් වන සතුන් ගැවසීමත් සලකා අවාර කාලසීමාව දෙවියන් වෙනුවෙන්ම වෙන් කර ඇති බව විශ්වාස කිරීම නිසා අතීත ජනයා ඒ පිළිබඳව බොහෝ සැලකිලිමත් වෙමින් අවාරේ සිරිපා ගමන් නොගියහ. එම අවාර කාලසීමාව එසේ දෙවිඳුන් වෙනුවෙන් වෙන් කිරීමෙන් තමන්ට දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබෙන බවද ඔවුහු විශ්වාස කළහ. ශ්‍රීපාදස්ථානය වසර දහස් ගණනක සිට ආරක්ෂා කළේ දේශීය ජනයාය. විශේෂයෙන්ම බෞද්ධයන් වුවද තත්ත්වය එසේය. කිසියම් වූ පාරිසරික හානියක් සිදුවේ නම් එය වැළැක්වීමට නිසි පියවර නොගෙන මෙසේ කටයුතු කිරීම  කනගාටුදායකය. එබැවින් මෙම ගැටලුව පිළිබඳව සාධනීය ලෙස විසඳුම් ලබා දීමට බලධාරීන් මැදිහත් විය යුතුය.
එසේ නම් අවසරයි අවාරයට. නැවත වාරයේදී හමුවෙනා තුරු භාරයි සුමන සමන් දෙවියන්ට මේ උතුම් පින්බිම.

 

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Previous

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Next

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

Realted Post

Leave a comment