හැමිල්ටන් ඇළත් මහ සමුදුරත් අතර වැටී ඇති ඉරණවිල මාර්ගයේ සංචාරයක්

 

වයඹ පළාතේ සුවිශේෂිතා බොහොමයක් සහිත නගරයක් ලෙස හලාවත හඳුන්වාදීමට හැකියි. හලාවත ප්‍රසිද්ධියට පත් වීමට ඉවහල් වූ කරුණු කාරණා බොහොමයක් තිබෙනවා. පුෂ්පාරාම විහාරය, මුන්නේෂ්වරම් කෝවිල, හැමිල්ටන් ඇල, පම්බල කඩොලාන කලාපය වගේම ධීවර කර්මාන්තය, කරවල කර්මාන්තය වැනි හේතු ඒ අතරින් ප්‍රධාන වෙනවා. 


හලාවත දේශීය වගේම විදේශීය සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන්නේ මෙවන් කරුණු කාරණා නිසාය. එපමණක් නොවෙයි, යාපනය, අනුරාධපුරය, කල්පිටිය, පුත්තලම වැනි සංචාරක ප්‍රදේශ සඳහා ගමන් කිරීමට පහසු මධ්‍යස්ථ නගරයක් ලෙසත් සඳහන් කළ හැකියි. හලාවත සංචාරය කර තිබෙන ඔබ ඉහතින් සදහන් කළ පුදබිම් මෙන්ම සංචාරක ස්ථාන දැකබලා ගෙන තිබෙන්නට පුළුවන්. එනමුත් මෙවර අපි හඳුන්වා දීමට යන සංචාරය ඔබට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.


හලාවත කියන්නේ ස්වාභාවික සම්පත් බොහොමයක් අනුන වූ ප්‍රදේශයක්. නගරය ආසන්නයේම හැමිල්ටන් ඔය තිබෙනවා. මේ නිසා නගරයට විශාල ආලෝකයක් වටිනාකමක් මෙයින් ලැබී තිබෙන බව නොකිවමනාය. 
හැමිල්ටන් ඇළ විදේශීය සංචාරකයින් අතර බොහොම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි බෝට්ටු සංචාරයයි. හැමිල්ටන් ඇළට පසුබිම්ව සංචාරක හෝටල් බොහොමයක් නිර්මාණය කර ඇත.


අප අද සංචාරය කරන්නේ හැමිල්ටන් ඇළත් මහ සයුරත් මැදින් වැටී තිබෙන ඉරණවිල මාර්ගයේය. ‘ඇමෙරිකන් හඬ’ ස්ථාපිත කර තිබෙන නිසා ඉරණවිල ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මෙම මාර්ග සංචාරකයින්ට හොඳ අත්දැකීමක්. විනෝදජනක සංචාරයක්. එසේම කතෝලික බැතිමතුන්ට ඉතාම වැදගත්ය. ඉරණවිල මාර්ගයේ සංචාරය කිරීමේදී හැමිල්ටන් ඇළ මාදම්පේ (මහවැව) මුහුද දෙසටත් ඉන් වම් පැත්තට දංකොටුව ප්‍රදේශය දක්වාත් විහිඳි තිබෙනවා.


ඉතිහාසයේදී බඩු ප්‍රවාහනය සඳහා ඇළ භාවිතා කර තිබෙන  අතර මාරවිල ප්‍රදේශයේදී නැව් සඳහා  එම භාණ්ඩ පටවා තිබෙනවා.  මේ නිසා බොහොම වැදගත් ප්‍රදේශයක් වෙනවා. ඉරණවිල මාර්ගයේ කිලෝමීටර් 17 ක් පමණ සංචාරයක් මාදම්පේ දක්වා තිබෙන්නේ. මෙය පාපැදියකින් වුවද සංචාරය කළ හැකියි.

 


මෙම සංචාරයේදී අපට මුලින්ම හමුවන්නේ ධීවර ගම්මානයයි. එසේම කරවල වාඩි දැක ගැනීමට පුළුවන්. ප්‍රදේශය පුරාම කරවල වේළන අයුරු ද දැක ගත හැකියි. එසේම ඉස්සන් අභිජනන මධ්‍යස්ථාන එක පෙළට දැක ගත හැකියි. සංචාරය කරන ඔබට මෙම ස්ථාන නැරඹීමටද අවස්ථාව ලැබේ. 


මෙම සංචාරයේ වැදගත්ම අවස්ථාව වන්නේ කතෝලික දේවස්ථානයි. ඉතාම පෞරාණික දේවස්ථාන කීපයකි. සදාසරණ, අඹකඳවිල, ශාන්ත අන්තෝනි මෙන්ම කතෝලික බැතිමතුන් දිවයින සතර දෙසින් පැමිණෙන කුරුස පල්ලියද හමුවෙනවා. කුරුස පල්ලිය පිළිබඳ කතෝලික බැතිමතුන් අතර විශාල භක්තියක් හා ගෞරවයක් ඇත. තමන්ට කරදරයක් ගැටලුවක් මානසික පීඩනයක් ඇති වූ විට මෙහි පිහිට බලාපොරොත්තු වීමට හා තමන් සිතනපතන බලාපොරොත්තු ලබා දෙන දේවස්ථානයක් ලෙසයි ප්‍රසිද්ධව ඇත්තේ. 

 


මෙයට අමතරව මෙම දේවස්ථානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දේවස්ථානයේ නිර්මාණය කර තිබෙන ජේසුස් වහන්සේගේ පිළිරුවෙහි ජේසුගේ රුව මතුවී පෙනෙන බවයි. මේ නිසා රටේ සතර දිගින් කතෝලික බැතිමතුන් වැඳපුදා ගැනීමට භාරහාරවීමට මෙම දේවස්ථානයට පැමිණෙන අතර සිකුරාදා දිනය ඉන් සුවිශේෂී දවසකි. අතුරු සිදුරු නොමැති තරමට බැතිමතුන් පැමිණෙති.


හලාවත ඉරණවිල මාර්ගයේ හමුවන දේවස්ථානවලට අමතරව මාදැල් සදහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ අඹකඳවිල හා ඉරණවිල ප්‍රදේශයයි. සංචාරයේදී මාදැල් අදින අයුරු ඔබට දැකබලා ගැනීමටද හැකියි. විදේශිකයින් මාදැල් ඇදීමට වැඩි රුචිකත්වයක්ද දක්වන අයුරු දැකගත හැකියි. මෙම ප්‍රදේශය විදේශිකයන් බහුලව ගැවසෙනවා. සංචාරක හෝටල් වැඩියෙන්ම විවෘතව තිබෙන්නේද මෙම කලාපය තුළයි.

 


හලාවත ප්‍රදේශයට යන ඔබට මෙම සංචාරය අලුත් අත්දැකීමක් වගේම විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානය. මාර්ගය දෙපසම මාළු හා කරවල අලෙවිසැල් තිබෙනවා. මෙම සංචාරයේදී ඔබගේ දරුවන්ට වඩාත් වැදගත් වන සංචාරයක් ලෙස පම්බල කඩොලාන කලාපය හඳුන්වා දිය හැකියි. ගොඩබිමෙන් මෙන්ම හැමිල්ටන් ඇළ දිගේ බෝට්ටු සවාරියක්ද කළ හැකියි. දිවයිනේ කඩොලාන කලාප අතර වැඩිම කඩොලාන ශාඛ වර්ග මෙන්ම විශාල ප්‍රමාණයක කඩොලාන ව්‍යාප්තව ඇත්තේ පම්බල ප්‍රදේශයේය.


මෙවන් වැදගත් සංචාර කීපයක්ම හලාවත  යන ඔබට විඳගැනීමට හැකියි. මෙවර පවුලේ සැමට මෙය අමතක නොවන මතකයක් වනු නොඅනුමානය.

 

ඡායාරූප සහ සටහන:
ශාන් බන්දු වීරසිංහ

 

ARTRA’s Art Experiential Festival Read Previous

ARTRA’s Art Experiential Festival

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Next

පොලිසියත් එක්ක බත්කන ගිරවා

Realted Post

Leave a comment