එදා චන්දිමා - රන්දික අද සුදර්ශනා මෙහෙණිය - රේවත හිමි
සිත නිවා සනසාලන මනස්කාන්ත පරිසරයක හරිත වර්ණයෙන් වෙළාගත් ගහ කොළ නෙතට ප‍්‍රිය දසුනකි. බුදු දහමේ සැබෑ දර්ශනය සොයා යන්නෙකුට නම් මෙය සුවදායක තෝතැන්නකි. තුරුලතාවන්ගෙන් වෙළාගත් හවුපේ කඳුගැටය කහ පැහැති සිවුරෙන් බබළවන තරුණ භික්ෂුන්වහන්සේලා මෙහෙණින් වහන්සේලා වැඩ වසන මේ මනස්කාන්ත ‘මෙත් බෝ සෙවණ ආරාමය’ පිහිටා ඇත්තේ දකුණු පළාතේ ගාල්ල තිත්තගල්ල, වව්ලූගලය. මෙත් බෝ සෙවණේ විපස්සනා ප‍්‍රගුණ කරමින් බුද්ධ දර්ශනය අත්විඳීම වෙනුවෙන් දේශීය ගිහිඇත්තන්, භික්ෂු භික්ෂුණීන් පමණක් නොව පැමිණෙන විදේශිකයින්ද බොහෝය.
වර්තමානයේ බොහෝ දෙනෙකු ජීවිතයේ ලබන පරාජයන්වලදී තෝරා ගනු ලබන්නේ වැරදි මාර්ගයන්ය. අද ඒ තරුණ ජීවිතවලට මාර්ගයක් නිර්මාණය වී ඇත. ඒ තිත්තගල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයයි. ඒ වැරදි මග වෙනුවට නිවැරදි මග තෝරා ගත හැකි නම් එය ලැබිය හැකි විශාලම සතුට වන්නට ද හැකිය.
එලෙස ජීවිතේ කලකිරීම්, වේදනා, පරාජ සහ ජීවිතයේ සත්‍ය සොයා දහම් මගට යන මාවතේ තරුණ ජීවිත රැසකට මාර්ගය සකසා දුන් ගාල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන ගිහි කල විවාහ ජීවිතය විඳි ආදරණී යුවළක් අද මහණදම් පුරන අයුරු අපට මුණ ගැසුණි. මේ භවයේ පාරමිතා ධර්මය පූර්ණය කරගන්නට කසාවතට පැමිණි කැස්බෑවේ සුදර්ශනා මෙහෙණිය සමගයි මේ සුවිශේෂි කතාබහ.
‘‘මගේ ගිහි කල නම චන්දිම ප‍්‍රසංගි විමලරත්න. මගේ ගම කැස්බෑව පිළියන්දල. මගේ අම්මා නැති වෙන්නේ පිළිකාවකින්. එතකොට මම දෙක වසරේ. මාව හදාගත්තේ මගේ පුංචිඅම්මා. පවුලේ අයියායි, මමයි, තාත්තායි, පුංචි අම්මායි හිටියේ. සැප සම්පත් උපරිමයෙන් මට පොඩි කලේ ඉඳලම ලැබුණා. අපි නිසාම අපේ පුංචි අම්මා විවාහ වුණෙත් නැහැ. දැන් නම් තාත්තත් ජීවතුන් අතර නැහැ. මම අධ්‍යාපනය හැදෑරුවේ දෙහිවල ප්‍රෙස්බෙටීරියන් කාන්තා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ කලා අංශයෙන්. උසස් අධ්‍යාපනය සඳහා විවෘත විශ්ව විද්‍යාලයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වගේම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් උපාධිය දක්වා ඉගෙනගත්තා. මම ජාත්‍යන්තර පාසල් ගණනාවක ගුරුවරියක් ලෙස සේවය කරලා තියෙනවා. තරුණ කාලේ මම ගොඩාක් විලාසිතා කළා. ගිහි කාලේ වැඩිපුරම ආස කොටට පහසුවට අඳින්න. කොණ්ඩෙට එක එක විලාසිතා කළා. උපරිමයෙන්ම ජීවිතේ වින්දා.”
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූවාට පසුවත් සංසාරික ආදරය වර්ණනා කළහ. සුදර්ශනා මෙහෙණින් වහන්සේගේත් ගිහි කල සංසාරික ආදරය සුවිශේෂය. එක් කලෙක පෙම්වතුන්, තවත් කලෙක සැමියා බිරිඳ වී ආදරයෙන් ගෙවූ ජීවිතයෙන් එක්වරම ගිහිගෙයින් නික්මෙන්නට හැකි නම් සැබවින්ම එය සංසාරික පිනක් යැයි උන් වහන්සේ සිතන්නීය.
‘‘මට ගිහි කල මගේ සැමියා මුණ ගැහෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේදී. මුලදි අපි හොඳ යාළුවෝ. ඔහු හරිම නිවුණු වැඩි කතාබහක් නැති කෙනෙක්. ආදරය කරන්න කියලා අපි දෙන්නාගේ කිසිම දෙයකින් සමානකමක් තිබුණෙ නැහැ. එත් ඒ නොගැළපීම් තුළ පුදුමාකාර ගැළපීමක් තිබුණා. මගේ ගෙදරිනුත් එක පාරක් කිව්වා මට එයාව ගැළපෙන්නේ නැහැ කියලා. මට තරුණ කාලේ පේ‍්‍රම සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. ඒවා ගොඩක් දුරදිග ගිය සම්බන්ධතා නෙමෙයි. නමුත් මගේ සැමියාගේ මුණ ගැසීම අහම්බයක්. ඔහුගේ මුණ ගැසීම ඇතුළෙ මට මොකක්දෝ අමුත්තක් දැනුණා. අපි ආදරේ කරන කාලෙදිවත් ලොකුවට මුණ ගැහෙන්න ලැබුණෙ නැහැ. ඔහු හිටියේ පිටරට. මම හිටියේ ලංකාවේ. වැඩිපුර කතාබහ කළේ දුරකථනයෙන්. ඒ කාලේ අපි දෙන්නට ලොකුවට සල්ලි තිබුණෙත් නැහැ. ගොඩාක් දවසට එස්. එම්. එස්. දෙකයි, විනාඩියක කෝල් එකයි තමයි මුළු දවසම ජීවත් කරවන්නේ. හැබැයි අපි දෙන්නා අතරම හොඳ තේරුම් ගැනීමක් තිබුණා. ගොඩාක් බාධක මැද්දේ කරපු ඒ ආදරේ ඇත්තටම හරිම සුන්දරයි. ඉස්සර ඔහු මට එවන මැසේජ් මම පොත්වල ලියනවා. කතා කරන්න බැරි වෙන දවසට මම ඒ පරණ මැසේජ් කියවලා හිත හදාගත්ත දවසුත් තිබුණා.
අපි විවාහ වෙන්නේ 2014 දි. ආදර කතාවත් එක්ක අපේ බැඳීමට අවුරුදු 9 ක්. විවාහ වෙනකොට මේ වගේ අදහසක් මගෙවත් ඔහුගෙවත් තුන් හිතකවත් තිබුණෙ නැහැ. අපි දෙන්නා හරිම විනෝදයෙන් හිටපු දෙන්නෙක්. අපි දානමාන දුන්නා පින්දහම් කළා. ඒත් මේ වගේ ගමනක් යන්න අපිට පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ.’’
එය වේදනාවක් වුවත් සතුටක් වුවත් ගිහි කල ඇයත් ඔහුත් එදා අත්වැල් පටලා ආ කැදැල්ලේ සහ ඒ සංසාරික ගමනේ වෙන් වන්නට තීරණය වන්නේ විවාහ වී වසර හතරක් ගතවන මොහොතේය.
‘‘විවාහ වෙලා මමත් සැමියා එක්ක මාලදිවයිනට පදිංචියට යනවා. ඒ වෙනකොට ඔහු මාලදිවයිනේ ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කළේ. මම මගේ පවුලේ අයත් එක්ක එකට ඉඳලා මාලදිවයිනට ගියාට පස්සේ මට එකවරම මහත්තයා ඉන්න ප‍්‍රදේශයට යන්න ලැබෙන්නේ නැහැ. මහත්තයටත් මං ඉන්න නගරයට එන්න බැරිව හිටියා. ඒ නිසා මාස 10 ක විතර කාලයක් මට තනියම තමයි ඉන්න වුණේ. ගෙදර අයත් මතක් වෙනවා. සැමියත් ළඟ නැහැ. මට හැදෙනවා හෝම් සික් එක. එකම රටේ හිටියත් මාසෙකට සැරයක් තමයි අපිට මුණ ගැහෙන්න ලැබුණෙ. ඒක මට හරි අමාරු වුණා. තනිකම ගොඩාක් තදින් දැනුණා. මම මාලදිවයිනේ ජාත්‍යන්තර පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට අවුරුදු 4ක් පමණ ඉගැන්නුවා. හිත පොඞ්ඩක් හරි සනසගත්තේ රැකියාවෙන්.
ඒත් අපි මුණ ගැහෙන වෙලාවට හරිම සතුටින් හිටියා. සැහැල්ලූවෙන් හිටියා. රට රටවල්වල ඇවිද්දා. ඒත් ඒ සතුට තාවකාලිකයි කියලා ආයේ තනිවුණාම දැනෙන්න ගත්තා. සතුටින් සිටි ජීවිතේ මොකද්ද මේ එක පාරටම වුණේ කියලා සමහර තැන්වලදි හිතුණා. අපි දෙන්නම එකම රටේ ඉඳලත් එකට ඉන්න විදියක් නැහැ. මේ වගේ දේවල් ටිකක් හිතට ආවා. කොහොම හරි මාස 10කින් විතර මහත්තයටයි මටයි එක වහලක් යටට එන්න පුළුවන් වුණා. ඒ වෙනකොට මේ ජීවිතේ බොරුවක් නේද කියලා අපි දෙන්නටම දැනිලා තිබුණා.
අපි දෙන්නා ජීවිතේ ටාගට්වලට ගියා. විවාහ ජීවිතේ සතුටින් ගෙව්වා. ඒත් සතුට ආදරය ස්ථිරවම තියාගන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා අපි දෙන්නා සෙව්වා. බෞද්ධ දර්ශනය හරහා ඒකට උත්තරයක් තියේද කියලා බැලූවා. ආරණ්‍ය සේනාසන ස්වාමීන්වහන්සේලා මුණගැහුණා. ධර්මදේශනා ඇහුවා. යාළුවෝ අපිට සමහර වෙලාවට හිනාවෙන්නත් ගත්තා මොකද්ද මේ පිස්සුව කියලා. අපි ඒ මාර්ගය සොයා යද්දි ඒ අතරතුර තිත්තගල්ල ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ ධර්මදේශනා අහන්න ලැබෙනවා අහම්බෙන්. ඒ ධර්ම දේශනා ටික කාලයක් අහද්දි මේ ජිවිතේ මහ බොරුවක් කියලා මටයි මහත්තයටයි තේරුණා. අවසානයේ අපි හොයන දේ තියෙන්නේ ධර්මය තුළයි කියලා අපි දෙන්නාම තේරුම් ගත්තා. විවාහ වෙලා අවුරුදු හතරෙන් ගිහි ගෙයින් නික්මෙන්න දැන් කාලය හරි කියලා අපි දෙන්නා තීරණය කළා. මුලින්ම අපි මහණ වෙමු කියලා මහත්තයාට යෝජනා කළේ මමයි. එකට බණ ඇහුවාට ඒ වගේ දෙයකට කැමති වෙයි ද කියලා චකිතයක් තිබුණා. ඒත් පෙර පිනකට මහත්තයා මටත් වඩා ඒ ගමනට යන්න සතුටින් කැමති වුණා.
සටහන - නදීෂා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන්
Leave a comment