කුරුන්දි විහාරය

රාස්සිගේ අව්ව බිම පති ත ව කරකුට්ටන් වූ ඉපනැලි ඩැහැගන්නට මාන බලමින් ය.මුලතිව් බිම්කඩ බදාගත් සුවිසාල වෘක්ෂයන් මනදාස්මිත තාලයකට සමවැදී හමායන සුළං පහරන් වෙත ඈත වූ කඳු පවුරු සිපගන්නට සමාරාධනා ගෙන එනු ලබන්නේ නිතැතින්ම ය.එකවරම එළු රංචුවක් මහපාර තරණය කරන්නට වූයේ අප ගමන් ගත් රියට ද මද ඉසිඹුවක් ලබාදෙමින් ය.මුලතිව් නගරයේ සිට ඊ-297 මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝමීටර් 12 ක් ගමන් කොට දකුණු පසට හැරුණු පසු කුලමුනෙයි මාර්ගය මුණගැසේ .එම මාර්ගයේ කිලෝමීටර් 13 ක ඇවෑමෙන් අප සේන්දු වූයේ තන්නිමුරුප්පු රක්ෂිතයට ය.සිරිපා අවාරයට මුලතිව් බිම සිය රජදහන කොට ගත් සමනලුන්   නොහිම් තරගයක නිරත වූයේ කුරුන්දි පුද බිම අප ගමනාන්තය වන බව ඉවෙන් මෙන් දැනගෙනය.අතොරක් නොමැති වන ලැහැබ මතින් තැනින් තැන ඉලිප්පුණු ඉපල් අතු කඩු දුනු  අමෝරාගත් දුනුවායන් පිරිසක් මෙන් දිස්විය.

”මෙතන තමයි තැන ” 

පූජ්‍යපාද ගල්ගමුවේ සංඝබෝධි හිමියන් ගේ හඩ නිහඬතාවය බිද දමනු ලැබී ය.එකවර එසවුණ නෙත් යුග්මයන් ගොස් නතර වූයේ දිය සීරාවක් මත වූ අමුතු ම ලෝකයකය.

”ඔය තියෙන්නේ කුරුන්දි වැව ගස්වල මුල් මැරිලා ඒකයි ඔහොම වෙලා තියෙන්නේ.”

ඒ පිළිබඳ විමසූ විට සංඝබෝධි හිමියන් ප්‍රතිඋත්තර සැපවූයේ එලෙසටය.

 එහි පළින් පළ වූ ඉපල් වූ මහා වෘක්ෂයන් සිය සෝබර පුරාවත දියඹට   
කියාපාන්නක් මෙන් ඒ දෙසට නැඹුරුව ය.ඒ මත වූ පෙදපාසින් දිය සීරාව මත ලූ ආවරණයක් මෙනි.මුමුණිත භංග සමූහයා මානෙල් මල් වටා අපූරු රැගුම කය.එකවර එම පුරයෙන් නෙත් ඉවතට ගැනුමට සිදු වූයේ මේ පැත්තෙන් එන්න යැයි සංඝබෝධි හිමියන්  කළ ඇරයුමෙනි.

අතුරු සිදුරු නොමැති මහ වනයක එක් ස්ථානයක වූයේ ගුරු පාරක් ය.ඒ දෙසට පා තැබුවා පමණි.රැහැයියන් පොරයට මෙන් අත්තටු සළන්නේ කාගේ වුවද සිත් තුළ ගුප්තාරෝපිත හැඟුමක් ජනිත කරමින් ය.වියළි කොළරොඩු පුස්ඹ නාස් පුඩු මත දැවටෙද්දී නෙත් කෙවෙනි අග කදුළු පීරුවේ ඒවා පිසගෙන පැමිණි දූවිලි රොඩ්ඩක් මගහැරගන්නට නොහැකි වූ තප්පරයකදී ය.ඉමක් කොනක් නොමැතිව වන ලැහැබ පීරා ඉදිරියට ඇදුණ ද එහි කෙළවරක් නම් පෙනෙන්නට නොවී ය.මහා මුල් පාපිස්න මෙන් මග අතොරක් නෑර අරක්ගෙන ය.සකුණයින්ගේ මියැසිය සැණකින් ගර්ජනාවක් සවැණැකුනේ මෙබිම සර්ප විමානයකටද උරුමකම්පාන බව ඒත්තු ගන්වමින් ය.

 අක්කර 300 කටත් වඩා එහාට දිවයන මෙම බිමෙහි නොනවත්වා එකදිගට ගමන්ගත් අප එක් ඉසව්වක නතර වූයේ දහවල් ආහාරයෙන් සප්පායම් වන්නට ය.සුදු නාඩු හාලේ බතට තෙල් දැමූ කට්ට කරවල,පොල් සම්බෝලේ සමගා මෑකරල් තෙම්පරාදුව හා පරිප්පු හොද්ද් ද රජ බොජුනක් වූයේ දර ලිපේ යහමින් තැවුණු කෙසෙල් කොළයෙ  රස ද   දිවගට දැනෙද්දීය.ම
ආහාර ගත් ඇසිල්ලෙන් වූයේ කන්දක් තරණය කරන්නට ය.රූටා යන පස් පිඩලි හා පොරබැදෙමින් අප තැනින් තැන වූ ගල් පඩි මතින් ඉදිරියට ඇදුැණෙමු.

”මේ තියෙන්නෙ ඉස්සර කාලේ තිබුණ කියන ගල් පඩිපෙළ”

සංඝබෝධි හිමින්ගේ දකුණත දිගු වූයේ පහත දෙසටය.

  ගුවනත සිසාරා විහිදෙන්නට වෙර දරනා චෛත්යරාජයාණන් වහන්සේ එසැණින් නෙත ගැටෙන්නට විය.ගල් බොරළු ඇනී ගත් දෙපයට වාලූකාරාමයක් වූ කුරුන්දි පුද බිමෙහි උඩ මලුව නිවනක් විය.කබොක් ගලින් නිම වූ ලංකාවේ ඉදි වූ එකම චෛත්යය යැයි සැලකෙන සර්වඥ ධාතූන් වහන්සේලා පස් නමක් ද මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා 16 නමක් ද තැන්පත් කොට ඇති මෙය අනුහසින් ගහණ ස්ථානයකි.බොහෝ කළක්  පොළෝ මස්තකයට සැඟව ගිය චෛත්‍ය පාදම මත පේසා වළලු සංස්පර්ශනය වූ   මන්ද  මාරුතය ගැබ්නි මව්වරුන්ට පිරිතක් 

මහා වනස්පති පාමුල සුවිසාල තුඹස් ද ඊට සාක්ෂි දරනුයේ ධාතු සෑයක් යැයි තුඹසකට වැද නමස්කාර කොට ගත් පිනෙන් මරණින් මතුව දෙව්ලොව උපත  ලැබූවා යැයි ශාසන වංස කතාවෙහි සඳහන් වන නිසාවෙනි.රහතන් වහන්සේලා වැඩ සිටියා යැයි පැවසෙන මෙම පින් බිම මත එකල පිරිවනක් පැවතියා යැයි ද සඳහනක් වේ.එහි  විශාලත්වය කොතෙක් ද යත් තුන්වන මිහිඳු රජු මෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ගව් තුනක පොල් උයනක් පූජා කිරීමෙන් මනාව ඒත්තු ගැන්වේ.

චෛත්‍යය රාජාණන් වහන්සේ පසු කොට මඳ දුරක් ඉදිරියට ඇදුණ පසු  පොහොය ගෙය ,බෝධිඝරය හා පිළිම ගෙය පැවති බවට හමුවන නටබුන් පද්ධති විහාර සම්ප්‍රදායට අයත් විහාර සංකීර්ණක් අතීතයේ දී මෙහි වූ බවට  සාධක  වේ.පයට පෑගී යන කොළ රොඩු තට්ටු දෙපයට එලූ සුවපහසු පාවඩයක් ම විය  
සංඝබෝධි හිමියන් පැවසූ ආකාරයට මෙහි පොහොය ගෙය දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පවතින්නට ඇතැයි සිතිය හැක.ඊට හේතුව එහි ගල් කණු තරමක් පුළුල් ව ඉදිකොට තිබීම යි ඒ ගල්කුණු මතින් පඬු පැහැති සිවුරුති නිවුණෑතී භික්ෂූන්ගේ රූපකායන් මනැසෙහි හොල්මන් කරන්නට වූයේ එසැණනි.
ස්තූපයට බටහිර දෙසින් මීටර සියයක පමණ දුරින් බිඳී ගිය ගල් බැමි මතින් යාන්මින් හිස ඔසවන්නේ පියැසති අතීත පිළිම ගෙයක අවශේෂ බවට හඬගාමින් ය නිදන් හොරුන්ගේ ග්‍රහණයට මෙය හසුව ඇති බව එහි මධ්‍යයට ගිය විටෙක පෙනී යන කරුණයි
මෙම ඉදිකිරීම් සතර උඩු මලුවෙහි වන අතර ඊට පහතින් වන්නේ පහත මළුව හෙවත් දෙවැනි මලුවයි.එම මලු දෙක වෙන් කිරීමට කබොක් ගලින් ප්‍රකාරයක් ඉදිව තිබෙන්නට ඇතැයි සිතිය හැක. දෙවනි මලුවෙහි පොකුණක්  දෙවනි මලුවෙහි විශාලතම ගොඩනැගිල්ල බවට පත්වන්නේ ද එයය. මහ වනය අරක්ගත් තුන්වන මලුවෙහි මහරතන් වහන්සේලා වැඩ සිටියායැයි පැවසෙන ආවාස කුටි 27 ක් පමණ සොයාගෙන ඇත.

මීට අමතරව සඳකඩ පහණ,කොරවක්ගල් බොහෝ ප්‍රමාණායක් වන අතර ඒවා දුටු සැණින් මැවෙනුයේ ඉපැරණි විහාරාරමයක් ය. වංශ කතාවල සඳහන් වන පරිදි එය වනාහී සද්ධාතිස්ස රජුගේ තෙවන පුතු වූ බල්ටානාග ඵීසින් අරඹන ලද්දකික්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ අවසන් භාගයේ විහාරයක් ලෙස ඇරඹි මෙය ක්‍රිස්තු වර්ෂ 06 හෝ 7 වන සියවසයන්හිදී පබ්බත විහාරයක්  ලෙස වර්ධනය ව ඇත යන්න බොහෝ දෙනෙකුගේ අදහසයි’ 

”මේවා මේ අනුරාධපුරයේ ඉදලා 7,8 සියවස් දක්වා සැරින් සැරේ  ඇතුළත් වුණ කොටස 
සංඝබෝධි හිමියන් යළි ද හඬ අවදි කරනු ලැබී ය
වනය පීරගෙන නටබුන් සොයා යෑමේ නොහිම් පෙරුත්ත හද කොනක වූව ද අවරට යන හිරුගේ රුස් ගස් දෙබලි අතරින් රිංගා දැල් මෙන් විසුරුණේ  ඉන් එහා භමිය තහනම් ප්‍රදේශයක් බව ඒත්තු ගන්වමින් ය අතීතය පිළිසකර කොට අනාගතයට පුද කිරීමේ හෙට දවසක් ළඟ ළඟම බව කියාපමින් කුරුදුමලය කන්ද මත සළපතල මලුවේ මහා චෛත්‍ය නොසැල්වී බලා  හිඳිනු පෙනිණි  

සටහන-නෙත්මි තෂාරා

සුපෙම් සුළගක්  - මුහුරත් උළෙල Read Previous

සුපෙම් සුළගක් - මුහුරත් උළෙල

උමංදාවෙන් රජයට ගිලන්‍ රථ Read Next

උමංදාවෙන් රජයට ගිලන්‍ රථ

Realted Post

Leave a comment