ජීවිතයට දහම් සතුට ගෙනත් දෙන මුතුගල මහමෙව්නා අසපුව

කාන්තාවන් යනු බොහෝ විට ඉතා ශක්තිමත්,  දරාගැනීමේ ශක්තිය ඇති  අයයි. එහෙත් යම් මොහොතක දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය විටකදී නිවැරදි නොවන  විකල්ප මාර්ගවල ගමන් කිරීමට ද සිදු වේ. මේ සෑම මාර්ගයක් තුළම ගමන් කිරීම  තාවකාලික මාර්ග වන අතර ජීවිතේ ගැටලුවලට ස්ථිර සාර විසඳුමක්  වන්නේ නැත. ජීවිතයේ තාවකාලික සුවය අත්විඳීමට වෙර දරන පුහු ආටෝප ලද්දන් අතරින් ජීවිතයේ ස්ථීර සාර සහන මගක් සොයා අද අපි , සිරිකත ත් සමග ගියේ අසීමාන්තික සහනයකින් යුත් පුදබිමකටය. ඒ පින්බිම, මුතුගල මහමෙව්නා අනගාරිකා අසපුවයි.

මුතුගල මහමෙවුනා අනගාරිකා අසපුවට පැමිණීමට කැමති ඔබට කොළඹ 05 පාරේ පැමිණෙන විට නාරම්මල හා දඹදෙණිය  අතර මුතුගල හමුවේ. එම මුතුගල හන්දියේ  මුතුගල මහමෙවුනා අනගාරිකා අසපුවට පැමිණීමට පහසුවීම සඳහා නාම පුවරුවක්  සවි කර තිබේ.  එම නාම පුවරුවේ මහමෙව්නාව අනගාරිකා අසපුව ලෙස යන මාර්ගය සඳහන් කර තිබේ. එම නාම පුවරුව ඔස්සේ අසපුවට පැමිණීමට පාර සොයාගත හැකියි.


මහමෙව්නාවේ සදහම් ප‍්‍රචාරයත් සමග ගිහි ගෙයින් නික්ම ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරනු කැමති කුල දියණියන් පිරිසක් සඳහා  පූජ්‍ය  කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත ”මහමෙව්නාව අනගාරිකා අසපුව” ඉදිවී තිබේ. ඒ දැනට වසර 20කට පෙරයි. මෙම අසපු භූමියට අනගාරිකා අසපුව නමින් නම් ලබා තිබෙන්නේ, අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා සිත පහදවා ගත් කුල දියණියන්ට ගිහි ගෙයින් නික්ම බුද්ධ ශාසනයේ පැවිදි පිළිවෙත් පුරන්නට, සීලාදී ගුණ දම් පුරන්නට තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමේ හැසිරෙන්නට බිහිවුණු තපෝ භූමිය නිසාවෙනි.  මුලින්ම එක අසපුවකින් ආරම්භ වූ මේ අනගාරිකා අසපුව මේ වන  විට වර්තමානයේ ලංකාව පුරා අසපු එකොළහක් ලෙස ව්‍යාප්තව තිබේ.අසපු එකොළහේම ප්‍රධාන මූලස්ථාන අසපුව පිළිබඳවයි අද අපේ මේ කතාබහ.
වර්තමානය වන විට අනගාරිකා අසපු සංචිතය තුළම මෑණියන් වහන්සේලා 150  ක් පමණ වැඩ වාසය කරනු ලැබේ. ඒ වගේම පැවිදි දිවියට පිළිවෙත් පුරන, පැවිදි වීමට හුරුවන දියණිවරු 20 ක් පමණ වර්තමානයේ සිටිති. ඒ අතරින් මේ මුතුගල අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේලා 60 නමක් වැඩ වාසය කරති.
ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයට එනවා කියන එක හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.  විශේෂයෙන්ම කාන්තාවක්. කාන්තාවක් ගිහි ජීවිතයට සමුදී පැවිද්දට එන්නට විශේෂ හේතු කාරනා බලපෑ හැකියි.

ඒ පිළිබඳව අපි මුතුගල මහමෙව්නාවේ අනගාරිකා අසපුවේ   වැලිමඩ චාපා ලොකු මෑණියන් වහන්සේගෙන් විමසා සිටියෙමු.

‘‘කාන්තාවකගේ සිත පැවිද්දට නැවෙන්න ඇයට මුලින්ම ලැබෙන්න ඕන සත්පුරුෂ ඇසුරක් සහ  භාග්‍යවතුන් වහන්සේ වදාළ පිරිසුදු ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබෙන්න ඕනෑ.   තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ඇසෙද්දී   සිත තුනුරුවන් කෙරෙහි පැහැදීමක් ඇතිවෙනවා. මේ දහම් මගේ මූලික පියවරම ශ්‍රද්ධා ඇති වන්නේ ධර්මය ශ්‍රවණයත්  සමග. ඒ උතුම් බුද්ධ රත්නය,  ධම්ම රත්නය සහ සංඝරත්නය කෙරෙහි පහන් සිතක් ඇතිවුණාම  ඒ පැහැදුණු සිතත් ඇතිව ඔහු සීලවන්ත කෙනෙකු බවට පත්වෙනවා. එම පුද්ගලයා මේ වන විට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකු නම්, අපි මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ මේ යන ගමන කෙළවරවීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ  දහමේ හැසිරීම තමයි ජීවිතයට තිබෙන පිහිට, පිළිසරණ. මේ ධර්මය තුළින් එම පුද්ගලයා තේරුම් ගනු ලබනවා. 

අපි දැන් මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණාට පසු නිරයට, තිරිසන් ලෝකයට, ප්‍රේත ලෝකය ආදී සතර අපාය කරා යන ගමනක් අපට උරුමව  තිබෙනවා. මේ සතර අපායෙන් අත් මිදෙන්නට ඉතාම පහසුවෙන් දහමෙහි හැසිරෙන්නට පුළුවන් මගක් තමයි පැවිද්ද. ඒ ධර්මය අහන කෙනා ඒ දහම තුළින් තේරුම් ගනු ලබනවා. ගිහිගෙයි තිබෙන කාමය පිළිබඳව ඇලීම නැති කරගන්නා  හැටි පිළිබ‌ඳව. බොහෝ දෙනකු ගිහි ගෙයට  කාමයට, භවබෝග සම්පත්, හිතමිතුරන්ට බොහොම ඇලීමෙන් වාසය කරනවා.  නමුත් ඒ සත්පුරුෂ සේවනය සමග  තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම ඇසෙන විට කාමය කෙරෙහි නොඇලී තුනුරුවන් කෙරෙහි පහන් සිතක් සමග කාමය අත හැරෙන්නට තරම් ලොකු ශක්තියක් ලොකු චිත්ත ධෛර්යයක් සිතේ ඇතිවෙනවා. ඒත් සමග තමයි යම් කෙනෙකු පහසුවෙන් මේ දහමෙහි හැසිරෙන්න, පින් පුරා ගන්න, නිදහස් ජිවිතයක් ගත කරන්නට මේ පැවිද්ද තෝරා ගන්නේ.
මේ වන විට මේ මුතුගල අනගාරිකා අසපු පින්බිමෙහි භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේලා, ඒ වගේම නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාද, නිරන්තරයෙන් පූජෝපහාර ලබමින් වැඩ සිටින සොඳුරු ධාතූන් මන්දිරයකින් සමන්විතයි. ඒ වගේම  භාග්‍යවතුන් වහන්සේට සෙවණ සලසා දුන් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සමග  දඹදිව ආනන්ද බෝධීන් වහන්සේගේ   ශාඛාවක්   රෝපණය කර තිබෙනවා. බෝධීන් වහන්සේලා දෙනමක්ම එකම බෝධි මණ්ඩපය තුළ වඩා හිඳුවා ඇති ඉතාමත් සොඳුරු බෝධි මණ්ඩපයක් ඉදිවී තිබේ. ඉතාමත් සොඳුරු, මනරම් , යශෝධරා මහ රහත් උත්තමාවියගේ ප්‍රතිමා වහන්සේ  රන්වන් පාටින් දිලිසෙමින් මේ අසපු භූමියේ ශ්‍රී යශෝධරා තෙරණි විහාර මන්දිරයක්ද   තිබේ. ඒ වගේම  භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඉතාමත් සොඳුරු සෑ රජාණන් වහන්සේ වැඩ සිටිති.  වර්තමානය වන විට ඒ වගේම සැදැහැවතුන් බොහෝ පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීම පිණිස ධර්ම ශාලා පරිශ්‍රයක් ද ඉදිවී තිබේ. මෙලෙස ඉතාමත් පූජනීය අංගයන්ගෙන් යුක්තව සැදැහැවතුන්ට වන්දනාමාන කර ගැනීම පිණිස බොහෝ ස්ථාන තිබෙන අසපු භූමියක් තමයි මේ මුතුගල මහමෙව්නා අනගාරිකා අසපු භූමිය.


මේ අසපු පින්බිමේ සෑම මසකම ධර්ම ප්‍රචාර කටයුතු සිදු වේ. ඒ ආකාරයටම මේ පොසොන් මාසය පුරාවටත් මේ ධර්ම ප්‍රචාරක කටයුතු සිදුවෙයි. සෑම පුන් පොහෝ දවසකම උදෑසන හයේ සිට රාත්‍රී දහය දක්වා දහම් වැඩසටහන් පැවැත්වේ. ඊට අමතරව විවිධ පුණ්‍ය කටයුතු රැසකින් සමන්විතව ආගමික වතාවත් වල නියැළීමට පැමිණෙන ඔබ කාටත් හැකියාව තිබේ.
මේ අසපු පින්බිමට පිටස්තර ඕනෑම අයෙකුට පොහොය දිනයන්හිදී පැමිණිලා පොහොය දින පුරාම තිබෙන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න හැකියාව තිබේග ඒ සඳහා ස්ත්‍රී, පුරුෂ ලෙස භේදයක් නැත. ඒ වගේම සෙනසුරාදා ඉරිදාට තිබෙන විශේෂ බෝධි වන්දනා, ධාතු වන්දනා, යශෝධරා තෙරණි වන්දනා යනාදි වන්දනා කටයුතු වලට විශාල සැදැහැවතුන් පිරිසක් සහ සම්බන්ධ වෙයි.දිනපතාම සවස බුද්ධ වන්දනා තිබෙනවා ඒවාට සහ සම්බන්ධ වීමේ හැකියාවද තිබේ. ඒ වගේම ඕනෑම උපාසක පින්වතෙකුට දහම් කරුණක් අසන්නට,  ජීවිතයේ ඇතිවන ගැටලු සඳහා ධර්මානුකූල උපදෙස් පතන්නට අසපුවට පැමිණෙන්නට හැකියි. විශේෂයෙන්ම මෑණියන් වහන්සේලා වැඩ වාසය කරන බැවින් උපාසක පින්වතෙකුට යම් දහම් කරුණක් දැන ගැනීමට අවශ්‍ය නම් උපාසිකා පින්වතියක් සමග පැමිණිම හුඟක් වටී.    මෙහි සඳහන් කළ යුතු විශේෂම කාරණය වන්නේ කාන්තාවන්ට පමණක් වෙන් වුණු භාවනා වැඩසටහනක් මෙම අසපුවේ තිබේ. මෙය මහමෙව්නා අනගාරිකා අසපුවේ පැවැත්වෙන සති භාවනාව වැඩසටහන ලෙස නම්කර තිබේ. ඕනෑම කාන්තාවකට සතියක් නේවාසික වී මේ ස්ථානයේ පිළිවෙත් පුරමින්, වත්පිළිවෙත් කරමින් උදෑසන සවස බුද්ධ වන්දනාව කරමින් මෑණියන් වහන්සේලාගේ ධර්මය අහමින් ජීවිතයේ තිබෙන ගැටලු වලට උපදෙස් ලබා ගනිමින් සතියක් මේ පුණ්‍ය භූමියේ නේවාසිකව ඒ භාවනා වැඩසටහන් සම්බන්ධ වෙන්න පුළුවන්.  ඒ සඳහා කලින් දැනුම්වත් කිරීමක් කිරීමෙන් අනතුරුව අවිවේකී පරිසරයෙන් වෙන් වෙලා නිරාමිස සතුටක් ලබමින් පින්වත් මෑණියන් වහන්සේලාගේ සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරේ ධර්මය අසමින් ඉතාමත්ම සොඳුරු සතියක් ගත කිරීමට අවස්ථාව තිබේ. ඒ නිසාම අනගාරිකා අසපුව වැඳපුදා ගනිමින් ඔබේ සිත පහන් කරගැනීමට කටයුතු කරන්න.


තරුණ බවට නොතේරුම්කමට යම් ප්‍රශ්නයක් මේ වන විට ඇති වී තිබෙනවා නම්, නිරපරාදේ  ජීවිතය නාස්ති කරගන්න සිත් පහළ කර ගැනීමෙන් වළකින්න.     සිදිවි නැතිකරගන්වත්, මත්ද්‍රව්‍යවලට බිලිවන්නවත් එපා. පිහිටක් ඇවැසි ඕනෑම අයෙකුට මුතුගල මහමෙව්නා අනගාරිකා අසපුවේ පිහිට පැතිය හැකියි. සංසාරේ කළ කී පින් කුසලයට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා.  

 

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Next

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

Realted Post

Leave a comment