දුරුතු පෙරහර
නුවර යුගයේ සාහිත්‍යයට අයත් ලෝකුරුනයිදේ නම් කවියාගේ "කැලණි හෑල්ල" නමැති කාව්‍යයේ සඳහන් මෙම කවිය කැලණි විහාරයටම ආවේණික වුවක් ලෙස සැලකේ. එය කැලණි විහාරයට උපහාරයක් ලෙස බෞද්ධයන් අතර ඉමහත් ප්‍රකටය.
බුදුරජාණන් වහන්සේ නාගදීප කලහය සංසිඳවීමට එහි වැඩම කළ අවස්ථාවේදී එවකට සිටි මනිඅක්ඛිත නා රජතුමා නාගදීපයේදී බුදුන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේට කළා වූ ආරාධනය අනුව බුදුන් වහන්සේ සම්බුදු පදවි ලබා වසර අටකට පසුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරා කැලණි පුරවරට වැඩි සේක.
බුදුන් වහන්සේ එහිදී කැලණි ගඟේ ජලස්නානය කොට කැලණි ගං පතුලේ ශ්‍රී පාද ලාංඡනයක් ද තැබූ බව සඳහන් වේ.
මනීඅක්ඛිත නා රජතුමා විසින් බුදුන් වහන්සේ ඇතුළු පිරිසට දන් පිළිගැන් වූ බවත් අනතුරුව බුදුන් වහන්සේ ඔවුන්ට උචිත පරිදි දහම් දෙසූ බව සඳහන් වේ. බුදුන් වහන්සේ දහම් දෙසූ තැන මනිඅක්ඛික නා රජතුමා විසින් බුදුන් වැඩ හිඳ දහම් දෙසූ මැණික් මණ්ඩපය නිධන් කොට එම ස්ථානයේ චෛත්‍යයක් ගොඩනැගීය.
කුඩාවට තැනූ එම චෛත්‍යය සැටරියන් උස්කොට ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී යඨාලතිස්ස රජතුමා විසින් ඉදි කළ බව සඳහන් වේ. බුදුන් වහන්සේ මනිඅක්ඛිත නා රජතුමාගේ ආරාධනය පරිදි කැලණි පුදබිමට වැඩම කිරීමත් සමඟ කැලණිය, ඓතිහාසික පූජනීය ස්ථානයක් බවට පත්විය. එසේ නොවන්නට අදත් කැලණිය සාමාන්‍ය විහාරස්ථානයක් වනු ඇත. එබැවින් අදටත් මනිඅක්ඛිත නා රජු සිහිපත් කරමින් කැලණි පුදබිමේ එතුමන්ගේ පිළිරුවක් සාදා දිනපතා පුද පූජා පවත්වන අතර මාසයකට වරක් විශේෂ පූජාවක් බැගින් පැවැත්වේ . වර්තමානයේ මණිඅක්ඛිත නා රජතුමා දිව්‍ය රාජයෙක් ලෙස කැලණි පුදබිම ආරක්ෂා කරන බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතී. ඒ විශ්වාසය ඇති බැතිමත් පිරිස මනීඅක්ඛිත දෙවොලට පැමිණ තමන්ගේ දුක් කරදර කියාපාමින් තමන් කැමති පරිදි භාරහාර වන අයුරු දක්නට ලැබේ . එලෙසම ඒ අරමුණු ඉෂ්ට වූ තැන තමන් කැමති පරිදි පුද පූජා පවත්වයි.
මනිඅක්ඛිත රජතුමාගෙන් ඇරඹුණ කැලණිය රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව දෙසිය හතේදී උත්තිය කුමාරයා කැලණියට නව ප්‍රබෝධයක් එක් කර ඇත. අනතුරුව 1888 දි හෙලේනා විජේවර්ධන ළමා තැනිය විසින් කැලණිය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු යළිත් ආරම්භ කරනු ලැබුවාය. කැලණිය රජමහා විහාරයේ එවකට වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 1927 දී නව විහාර මන්දිරයේ ඉදිකිරීම සඳහා පූර්ණ දායකත්වය දැරූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය හා එතුමියගේ බාල පුත් වෝල්ටර් විජයවර්ධන මහතාගේ සංවිධායකත්වය යටතේ ඓතිහාසික කැලණි පෙරහර ආරම්භ කරනු ලැබීය .
බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන සිහිපත් කරමින් උන්වහන්සේට සිදුකරන බුද්ධ පූජාවක් ලෙස මෙම පෙරහැර 1927 දි ආරම්භ වූ අතර එදා සිට මේ දක්වා දුරුතුපුර පසළොස්වක පොහෝ දින මෙම මහා පෙරහැර මංගල්‍යය වාර්ෂිකව සිදුකරයි. මෙවර පවත්වනු ලබන්නේ 95 වැනි ඓතිහාසික කැලණිය දුරුතු මහා පෙරහරයි. නව වර්ෂයක් ආරම්භ කිරීමත් සමග මෙම පෙරහර පැවැත්වීම, තුළින් ජනතාවගේ ශ්‍රද්ධාව සහ භක්තිය පෝෂණය කරගැනීමට ඉඩකඩ සැලසෙනවා.
පෙරහර ආරම්භ කළ 1927 දී එවකට විහාරාධිපතිව අපවත් වී වදාළ මාපිටිගම ධම්මරක්ඛිත නා හිමි, අනතුරුව විහාරාධිපතිකම් දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන්ද පෙරහැර මංගල්‍යය මැනවින් ඉටුකළ යතිවරු වූහ.
අපවත් වී වදාළ විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත විහාරාධිපති වහන්සේ ද මෙම පෙරහර මංගල්‍යය සාර්ථකව ඉටුකළ අතර එවකට විහාරස්ථානයේ වැඩ සිටි වත්තල සීලරත්න හිමියන් ද මෙහිදී සිහිපත් කළ යුතුමය. ඒ ඒ කාලවලදී ප්‍රධාන බස්නායක නිලමේවරුන් ලෙස කටයුතු කළ දොන් වෝල්ටර් විජේවර්ධන , ඩී සි විජයවර්ධන , උපාලි විජේවර්ධන , මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර , සාලිත විජේසුන්දර ,යන මැතිතුමන්ලා එම කාර්යභාරය මැනවින් ඉටුකිරීම නිසා පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස මේ දක්වා පවත්වාගෙන ඒමට හැකි විය . වර්තමාන කැලණිය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති , අග්ග මහා පණ්ඩිත , මහෝපාධ්‍යාය , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විහාරාධිපති ධුරය හොබවන අතර, උන්වහන්සේගේ කාලයේදී කැලණි පුදබිමට විහාර අංග කීපයක් එක්කිරීමට උන්වහන්සේ සමත්වූහ . වර්තමානයේ ප්‍රධාන බස්නායක නිලමේ වන ධම්මික ආටිගල මහතා තම කාර්ය මැනවින් ඉටුකරන අතර අනෙකුත් බස්නායක නිලමේවරුන්වන ජයරාජ චන්ද්‍රසේකර, ලලිත් හපන්ගම, සමන්ත පෙරේරා මහත්වරුන්ද , එයට පූර්ණ සහාය ලබාදෙති . විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධාන දායක සභාවේ සියලු දෙනාද, සංවර්ධන කමිටුවද මෙම පෙරහර මංගල්‍යය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි.
ඓතිහාසික කැලණි පෙරහර ආරම්භ කාලයේදී (1927) එය ධාතු පෙරහර ලෙස හැඳින්විය. පසුව මෙම පෙරහරට විභීෂණ දේවාල පෙරහර එකතු විය . අනතුරුව විෂ්ණු හා කතරගම දේවාල එකතු වීමෙන් පෙරහැර විශාල වී ඇත . ධාතු පෙරහරේ මංගල හස්ති රාජයා වර්තමානයේ කණ්ඩුල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම සිදුකර සැදැහැවත් ජනතාවගේ බොදු සිත් පහන් වන අයුරින් මංගල හස්තිරාජයා මතින් කරඬුව පෙරහරේ වැඩම කිරීම සිදුකරයි.
දේවාල පෙරහැරවල රන්සිවිගෙයි වේලායුද සහ දේවාභරණ වැඩම කිරීම සිදු කෙරේ . ලංකාවේ පැවැත්වෙන සෑම පෙරහරක ම නර්තන අංගයන්ට කාන්තාවන් දායක කරගෙන තිබුණද කැලණි පෙරහරට කාන්තා නැටුම් ඇතුළත් කර නොගැනීම විශේෂයක් ලෙස හැඳින්විය හැක. පෙරහර ආරම්භයේ සිටම මේ දක්වාම පෙරහරේ ගමන් කරනුයේ කාන්තාවන් තිදෙනකු පමණයි ඔවුන් පෙරහරේ අවසානයේ දෝලාව දෙපසින් ගමන් කරන කාන්තාවන්ය. මෙවර දුරුතු මහා පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු , ඇතුළු නැටුම් කණ්ඩායම් හතළිහක් පමණද බෞද්ධ කොඩි, පළාත්කොඩි , අලි ඇතුන් තිස්පහක් පමණද පෙරහරේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම පෙරහර කැලණි පූජා නගරය වටා සංචාරය කර පසුදා(13) අලුයම දෙකට පමණ ගෙවැදීම සිදු කෙරේ. මහා පෙරහර අවසන් වීමත් සමග කැලණි දුරුතු මහා පූජෝත්සව මංගල්‍යය නිමාවට පත්වෙන අතර වෙනත් පෙරහැරවල් වල වගේ දිය කැපීම් වැනි දෙවියන් උදෙසා පැවැත්වෙන පුද පූජා මෙම පෙරහර අවසානයේදී සිදු නොකෙරේ.
- කැලණිය ලාල් එස් කුමාර
Leave a comment