නිකිණි පුර සඳ දිලෙන මේ වස්සාන කාලයයි
වස්සාන සමය ජූලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විහාරස්ථාන තුළම රැඳී සිටිති. සමහර භික්ෂූන් වහන්සේලා වස්සාන කාලය භාවනාව සඳහා යොදා ගනිති. ඒ වගේම සමහර බෞද්ධ බැතිමත්හුද මේ කාලය තුළ මස් මාංශ හා මධ්‍යසාරවලින් තොරව කටයුතු කරති. ඒ වගේම තායිලන්තය වැනි රටවල වස්සාන සමයේ සමහරක් ගිහියෝ තාවකාලික පැවිද්ද ලබා ගනිති. භික්ෂුවක් පැවිදි ජීවිතය ගත කළ කාලය මැන බැලෙන්නේ ගත කළ වස් කාල ගණන අනුවය.
බුදුන් වහන්සේ විසූ කාලයේදී, සංචාරක දිවියක් ගත කරන ලද භික්ෂූන් වර්ෂා සමය පිළිබඳව තැකීමක් නොකර ධර්ම චාරිකාවේ නිරත වූ අතර, එම කාලයේ ඉන්දියාවේ සිටි බොහොමයක් ශාස්තෘවරුන්ගේ අනුගාමිකයෝ වර්ෂා කාලය ආරම්භ වීමත් සමග සංචාර දිවිය අත්හැර එක්තැනකට වී වර්ෂා සමය අවසන් වන තුරු රැඳී සිටීමට හුරුව සිටියහ. ඔවුන් ඒ සඳහා හේතුව ලෙස සඳහන් කරන්නේ වර්ෂා සමයත් සමග කුඩා සතුන් මෙන්ම නැවුම් තෘණ ශාකවලට ජීවය ලැබෙන හෙයින් කුඩා සතුන් හා අලුතෙන් හටගන්නා තණපත් පෑගීම තමන් විසින් පිළිපදින අවිහිංසාවාදී දර්ශණයට පටහැනි බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ බුදු හිමියන් ප්‍රමුඛ සංඝයා පමණක් මේ පිළිබඳව තැකීමක් නොකර වර්ෂා කාලයේද ධර්මය දේශනා කරමින් සංචාරය කිරීම නිසා ජනතාව අතර අප්‍රසාදයක් හටගත්තේ ය. එය සමනය කිරීමට බුදු හිමියන් විසින් වස් විසීමේ නීතියක් භික්ෂු සමාජයට පැනවූ බවට ශාසන ඉතිහාසය තුළ සඳහන් වේ.
වස් විසීමේ අරමුණු ලෙස බුදුන් වහන්සේ විසින් සඳහන් කරන්නේ නව මසක් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා භික්ෂූන් ගත කරන සංචාරක දිවිය නිමකර තුන් මසක් එක් තැනක සිට තමන්ගේ අාධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනා ආදියේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙසය.
තවද මෙම කාලය තුළදී භික්ෂූන්ගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීමෙන් ගිහි-පැවිදි සම්බන්ධතාව වර්ධනයවීමද අපේක්ෂා කරනු ලබයි. තවද භික්ෂූන් තම ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගෙන් අවවාද උපදෙස් ලබාගෙන ඒ අනුව තම දිවිපෙවත හැඩ ගසා ගැනීමටද අවස්ථාවක් මේ තුළින් උදා වේ.
මෙම කාලය තුළදී විහාරස්ථාන වලදී නිරතුරුවම ධර්ම සාකච්ජා වැනි ප්‍රතිපත්ති පූජා ද, බෝධි පූජාමය පිංකම් වැනි ආමිස පූජා ද වැඩි වශයෙන් දකින්නට පුළුවන්.
භික්ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට මෙන්ම වෙනත් විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලාට ද ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායකයෝ බුදුන් වැඳ භික්ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති.
වර්තමානයේ ආරාමික ජීවිතයකට භික්ෂුන් වහන්සේලා හුරු වී සිටින බැවින් මෙම සියලු කාර්යයන් අවශ්‍යතාවන්ට වඩා හුදු චාරිත්‍රයක් බවට පත්වී තිබෙන බව දක්නට පුළුවන. එහෙත් මෙම ක්‍රියාවලිය මඟින් ගිහි පැවිදි කොටස් දෙකේම අාධ්‍යාත්මික සංවර්ධනයක් මෙන්ම මනා සම්බන්ධතාවක් ගොඩනැගෙයි.
පිංකම් කර මේ ආනිසංස ලබාගන්න
වස් කාලය ආරම්භයත් සමග අවසානය දක්වා යෙදෙන පින්කම් අනුව ද කඨින පින්කම අනුවද ලැබෙන ආනිසංස මෙසේ ය.
ඉතාමත් සුවසේ සිතූ පැතූ වෙලාවට උතුම් නිර්වාණය කරා ගමන් කළ හැකිවීම
චක්‍රවර්ති රජ සම්පත් සහ දෙව්ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජ සම්පත් ලැබීම
යන යන තැන කිසි දෙයකින් දෙවැන්නෙක් නොවී අග්‍රස්ථානය හිමිවීම
සසර වසනතුරු උප උපන් තැන යන යන තැන අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවටම ලැබීම
සක්විති රජ දරුවන් හට ගිය ගිය තැන අවශ්‍ය පරිදි සිතූ පැතූ සම්පත් ලැබීම
නිවන් දක්නා තුරු වස විස ශරීර ගත නොවීම
කවර ආකාරයේ ආහාරයක් වුවද අමෘත මෙන් රසවත් ප්‍රත්‍ය ආහාරයක් බවට පත්වීම
නිරෝගී දීර්ඝායු ඇති ආරෝග්‍ය පරිණාහ සම්පන්න භාග්‍යවන්ත ආත්මවල උත්පත්ති ලැබීම
නිවන් දක්නා තුරු සුගති ලෝකවල උපදින අතරම ධනය ධාන්‍ය යස ඉසුරු සම්පත් අප්‍රමාණ ලෙස ලැබීම
මහා පරිවාර සම්පත් ලැබෙන අතරම සුවිනීත පරිවාර සම්පත් හිමිවීම
Leave a comment