මුතූගේ හරිම කතාව

අද අපේ රටට විදේශ රටකින් දායාද වූ මුතු රාජාලත් නැවතත් සක්සූරීන්ලා වී මව් රට බලා ගිහින් අවසන්ය. මේ කතාබහ සක්සූරීන් නැතිනම් මුතුරාජාට මොකද වුණේ සහ ලංකාවේ අලි ඇතුන් රැකබලාගැනීම ගැනය. ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ඇතාගේ නිදහස වෙනුවෙන් සටන් කළ පරිසරවේදිනියක් සහ, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින රෙයා සංවිධානයේ අධ්‍යක්ෂිකාව වූ පංචාලී පනාපිටිය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිනී මධූෂා පෙරේරා යි. 

තායිලන්තයේ ඉඳලා මුතුරාජායි කණ්ඩුලයි දෙන්නා එකට තමයි ලංකාවට එන්නේ. එහෙම වෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය කාලේ ලංකාවේ පෙරහරේ යන්න අලි ඇතුන් අවශ්‍ය වුණු නිසා තායිලන්තයෙන් කළ ඉල්ලීමකට මේ දෙන්නව ත්‍යාගයක් ලෙස තමයි ලංකාවට එවන්නේ. තායිලන්තයේ ඇතුන් බෝ කරන ස්ථානයක් තිබෙනවා. එයාලා බලාගන්නේ එරට ධනවත්ම පුද්ගලයෙක්. ඔහුට කිව්වාම ලංකාවට ඇත්තු දෙන්නෙක්  ඕනෑ කියලා එතැන හිටපු ලස්සනම ඇත්තු දෙන්න තමයි තෝරලා එරට රජය යටතේ ලංකාවට එවල තියෙන්නේ. ඒ දෙන්නගෙනුත් මුතුරාජාට තමයි අමුතුම ලස්සනක් තිබුණේ. මෙයාට සක් සූරීන් කියන නම ලැබෙන්නෙත් ඒ ලස්සන නිසාම තමයි. මෙයා ඉපදෙන්නේ තායිලන්තයේ සූරීන් කියන ප‍්‍රාන්තයේ. සක් කියලා කියන්නේ තායි භාෂාවෙන් ආඩම්බරය කියන එක. මෙයාගේ නමේ තේරුම සූරීන් ප‍්‍රාන්තයේ ආඩම්බරය. ඉතින් ඒ විදියට තෑගි ලෙස ලැබුණු එරට ආඩම්බරය ලංකාවට රැකගන්න බැරිවීම ගැන ඉතාම කනගාටුයි. තෑග්ගක් ලෙස ලැබුණත් ලංකාවේ වැඩිපුරම හිංසනයට පත්වුණු සතා හැටියට තමයි අද මුතුරාජාව හඳුන්වන්නේ.

ඉස්සර මේ සතුන් සමග තිබුණු සබැඳියාව අද අලි මිනිස් ගැටුම් දක්වාම දුරදිග ගිහින්. මොකද්ද ඊට හේතුව?

මුලින්ම සිද්ධ වුණේ ලංකාවේ ඉන්න අලි ඇතුන්ගෙන් භාගයක් විතර මරා දැමීම. ඉස්සරෝම ලංකාවේ අලි ඇතුන් මරන්න පටන් ගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ කරපු කෝපි වගාවත් එක්ක. එයාලා ලංකාවේ කන්ද උඩරට තෙත් කලාපයේ හිටපු අලි ඇතුන් ඔක්කොම වගේ මරලා දැම්මා. ඊට පස්සේ මහවැලි ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒකෙදී බොහෝවිට නොදැනුවත්වම මෙයාලගේ වාසස්ථාන (fragmentation) වෙනස් වුණා. එයින් එයාලා ඉන්න ආස කරපු ප‍්‍රදේශ අහිමි වුණා. ඒවගේම ගම්මාන බිහිවුණා. මේ වාසස්ථාන අහිමිවීමත් එක්ක එයාලා ආරක්ෂිත ප‍්‍රදේශවලින් දැන් පිටතට ඇවිත් ඉන්නවා. මේ ගැටුම වර්ධනය වෙන්නේ එතැන ඉඳලා. හැබැයි ඒ කාලේ බොහෝ විට මේ දේවල් වුණේ නොදැනුවත්කම නිසා. නමුත් දේශපාලනික මැදිහත්වීම් නිසා දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ දැනුවත්ව. අලියටත් මනුස්සයාටත් දෙන්නටම ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය වුණේ නැත්නම් තෙත් කලාපයට අහිමි වුණා වගේ වියළි කලාපයේ සිටින අලි ටිකත් විනාශවෙලා යනවා.

මුතුරාජා අපේ රටේදී විශාල  ලෙස හිංසනයට පත්වුණුබව අහන්න ලැබෙනවා. ඇත්තටම මුතුරාජාට මොකද වුණේ? 

විශේෂම කාරණය ඇතාගේ කකුලට දැවැන්ත පහරක් වැදිලා තියනවා. ඒ ප‍්‍රහාරය කුළු ගෙඩියකින් වැදුණු පහරක් වෙන්නත් පු`ඵවන්. මොකද අපේ රටේ අලි ඇත්තු බලාගනිද්දි එයාලා මෙල්ල කරන්න සමහරු කුළුගෙඩි යකඩ පොලූ භාවිතා කරනවා කියන එක හංගන්න  ඕනෑ රහසක් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන්ම කකුලට පහරක් වැදිලා තියනවා. ඒ කකුලට අවුරුදු ගණනක් හරියට බෙහෙතක් නොකිරීම නිසා සතාගේ කකුල වැරදි විදියට ගල්වෙලා තියනවා. දැන් ප‍්‍රතිකාර කළත් මෙයා සදාකාලික ආබාධිත සතෙක්. එහෙම තියෙද්දිත් මෙයාට ලබාදිය යුතු, විවේකය නිදහස වෙනුවට පෙරහරවලට සහ විවිධ අවස්ථා සඳහා යොදවාගෙන තිබුණා. තුවාලේ වේදනාව නිසා සිරුරේ තුවාල ගෙඩි මතුවෙලා තිබුණා. ඒවටත් හරියට ප‍්‍රතිකාරයක් කරලා නැහැ. සතාගේ සිරුරෙ තිබෙන සමහර තුවාල හෙණ්ඩු තුවාල. ඒවගේම එයා දිගුකාලීනව සිමෙන්ති පොළොවේ තියලා තිබුණු නිසා තමයි සිරුරේ එවැනි ගෙඩි සහිත තුවාල, යටිපතුල් තුවාල මතුවීම සිදුවන්නේ. දෙහිවලට ගෙනියන්න කලින් මේ සතා හිටියේ හොඳටම කෙට්ටුවෙලා. හරිහැටි පෝෂණයක් ලැබිලා නැහැ. දෙහිවලට ආවට පස්සේ එයාගේ බර වැඩිවුණා. මොකද ඊට පස්සේ තමයි එයාට හොඳ පෝෂණයක් ලැබුණේ. සාමාන්‍යයෙන් කැලේ අලියෙක් දවසට ශාක වර්ග එකසිය හැටක් පමණ ආහාරයට ගන්නවා. ඒවා අතර එයාලට අවශ්‍ය විවිධ ඔසු වර්ගත් තිබෙනවා. නමුත් අපි ඇති කරන අයට එහෙම නැහැ. 

සංස්කෘතික මංගල්‍ය සඳහා අලි ඇතුන් යොදා ගැනීම ගැන විවිධ සමාජ මතවාද තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?

හීලෑ ඇතුන් තමයි බොහෝ විට මෙවැනි අවස්ථා සඳහා දායක කරගන්නේ. නමුත් මම කැමති නැහැ හීලෑ කියන වචනෙවත් පාවිච්චි කරන්න. මේ වහල් ඇත්තු. වහල් සේවකයන්ට තමයි මාංචු දාන්නේ. මේ අයටත් මාංචු දානවා. එයාගේ නිදහස සීමා වෙලා. බොහොම කෙටි දුරක් තමයි පාද තියන්න පු`ඵවන්. අලියා කියන්නේ තද උණුසුම් සිරුරක් තිබෙන සතෙක්. එයාට ස්වාභාවිකව ලොකු කන්දෙකක් ලැබිලා තියෙන්නේ සිරුරේ උෂ්ණත්වය සමනය කරගන්න. ඒකයි එයාලා නිතරම කන්දෙක සොලවන්නේ. නමුත් සමහර අවස්ථාවල ඇතුන්ට ඇඳුම් අන්දන එකෙන් ඒ උණුසුම එයාට දරාගන්න අපහසු වෙනවා. කන් දෙකටත් ඇඳුම් අන්දලා තියන නිසා මේ උෂ්ණය සමනය කරගන්න එයා කරන්නේ හුඟක් අවස්ථාවල එයාගේ ශරීරය සොලවන එක. ඉතින් හුඟක් අය වරදවා වටහා ගන්නවා පෙරහරේ වාදනය නිසා මේ අලි ඇත්තු නර්තනයේ යෙදෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ද වෙන්නේ ඒක නෙවෙයි. ඒ ශබ්ද ඒ අයට දරාගන්න තිබෙන අපහසුතාව, වටේම සෙනඟ ගින්දර රස්නය සහ ඇඳුම් අන්දලා තිබෙන නිසා සිරුරේ රස්නය මේ හැමදේම සමනය කරගන්න එයා කරන්නේ මුළු ඇඟම සොලවන එක. එහෙම නැතුව ඒක එයා සතුටට කරන දෙයක් නොවෙයි.

ඉතිරිව තිබුණෙ කකුලේ ආබාධය සහ

ඇසේ සුද විතරයි 

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 
පශු වෛද්‍ය නිලධාරිනී මධූෂා පෙරේරා 

මුතුරාජා මේ වන විට ඉතාම නිරෝගී සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තායිලන්ත බලධාරීන්ගෙන් තොරතුරු දැනගන්න ලැබුණා. ඇතා මෙහෙන් යද්දි තිබුණු තුවාල සැරව ගෙඩි සියයට අනූවක්ම අපි සුව කළා. ඉතිරිවෙලා තිබුණෙ එයාගේ වම් කකුලේ ආබාධය සහ දකුණු ඇසේ සුද මතුවීමේ ගැටලූව විතරයි.  ඒ වගේම ඇතා මෙහෙන් අරන් යද්දි පාදයක හෝ නියපොත්තකවත් තුවාලයක් තිබුණේ නැහැ. ඒ සියලූම ප‍්‍රතිකාර අපි කළා. දෙහිවලට ගෙනාවට පස්සේ අපට ලබා දෙන්න පුළුවන් උපරිම ප‍්‍රතිකාර කළා. ඒ ගැන තායිලන්ත බලධාරීන් සතුටු වෙනවා. ඒ අය අපට ස්තූති කළා. ඇතා උද්‍යානයට රැගෙන එනවිට තිබුණු තත්ත්වයට වඩා හොඳ නිරෝගී තත්ත්වයකින් තමයි මවු රටට ගියේ. මේ වන විට එයාට වැඩිදුර ප‍්‍රතිකාර පටන් අරන් තියනවා. මුතුරාජාට ඇතිවුණ ප‍්‍රශ්නයත් එක්ක තවත් විශේෂ දෙයක් කියන්න  ඕනෑ. හුඟක් අය කියනවා ඇතාට හරියට ප‍්‍රතිකාර කළේ නැහැ කියලා. අපි උපරිමය කළා. නමුත් ඇතාගේ කකුලට සම්පූර්ණයෙන් බෙහෙත් කරන්න අවශ්‍ය පහසුකම් ලංකාවේ කොහෙවත් නැහැ. මුතුරාජා නම් මවු රටට ගිහින් හරි ප‍්‍රතිකාර ලබයි. නමුත් මේ වගේ ආබාධවලට මුහුණ දෙන ලංකාවේ අනෙක් අලි ඇතුන්ගේ තත්ත්වය ගැන කනගාටුයි. මොකද අලියෙක් කියන්නේ පුංචි සතෙක් නොවෙයි. තායිලන්තයේ අලි ඇතුන් වෙනුවෙන් පමණක් ප‍්‍රතිකාර කරන අංග සම්පූර්ණ රෝහල් පහක් තිබෙනවා. ඒ එකකට තමයි මුතුරාජව අරන් ගියේ. නමුත් එවැනි ආබාධිත අලි ඇතුන්ට ප‍්‍රතිකාර කරන්න පහසුකම් තිබෙන අංගසම්පූර්ණ ස්ථානයක් අපේ රටේත් ඉදිවෙනවා නම්, ඒ පහසුකම් අපේ රටටත් ලබාගන්න පුළුවන් නම්, ආබාධිත අලි ඇතුන්ට එය විශාල සහනයක්.      

නයනා උදයංගනී

ඡායාරූප : අන්තර්ජාලය 

 

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Previous

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Next

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

Realted Post

Leave a comment