රාවණා රජු සීතා කුමරිය සැඟවූ ගුරුළුපොත සීතා කොටුව මාළිගය

 

රාවණා රජතුමා ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී චරිතයකි. රාවණා රජතුමා පිළිබඳ බොහෝ වැදගත් කරුණු ඉතිහාසයේ සඳහන් වේ. රාවණා රජු පිළිබඳ ඉතිහාස තොරතුරු අතර හෙළ වෙදකම කැපී පෙනෙයි. හෙළ වෙදකම පැවත එන්නේ රාවණා රජු දවස පටන්ය.

රාවණා රජතුමා ගැන ඉතිහාසයේ සඳහන් ජනප‍්‍රිය කරුණු අතරින් ඉන්දියාවේ රාම කුමරුන්ගේ බිරිඳ සීතා කුමරිය පැහැරගෙන ලක්දිවට පැමිණීම විශේෂ ය. රාවණා රජුගේ නැගණියට රාම කුමරුගේ සොයුරු ලක්ෂ්මන් විසින් කළ හිරිහැරවලට පළිගැනීමක් ලෙස සීතා කුමරිය පැහැරගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙසේ ලක්දිවට පැහැරගෙන පැමිණි සීතා කුමරිය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සඟවා තැබූ අතර එම ස්ථාන වර්තමානයේ ජනප‍්‍රිය සංචාරක ප‍්‍රදේශ බවට පත්ව ඇත. මෙවර අප යන්නේ රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන විත් සඟවා තැබුණේ යැයි කියැවෙන එවැනි ස්ථානයක් නැරඹීමට ය.

මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව පසුකර හසලකට පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 04 ක් පමණ ගමන් කළ පසු හමුවන ‘ගුරුළුපොත’ ප‍්‍රදේශයේ මෙම ස්ථානය පිහිටා තිබේ. ගුරුළුපොත මධ්‍යම පළාතට අයත් දර්ශනීය සුන්දර ගම්මානයකි. කඳු වළලූවලින් වට වූ, ගොවිතැනෙන් ජීවත්වන ජනතාවක් වෙසෙන සශ්‍රීක ගම්මානයකි.

මහනුවර - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ ගුරුළුපොත රජයේ තානායම අසලින් වැටී ඇති මාවතේ කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු හමුවන රාවණ රජු සම්බන්ධ ඉතිහාසය නැවත මතක් කරවන මෙම ස්ථානය සීතාකොටුවයි.

ගුරුළුපොත රාවණා රජුගේ දඩුමොණරය අලූත්වැඩියා කළ ස්ථානය වූ බැවින් රාවණා රජු මෙහි ගැවසෙන්නට ඇතිබවත්, ඒ නිසා සීතා කුමරිය මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවත් මතයක් පවතී.

එමෙන්ම තවත් සඳහන් වන කරුණක් වන්නේ සීතාකොටුව ලෙස හඳුන්වන මෙම මාළිගය සීතා කුමරිය වෙනුවෙන් හැදු මාළිගයක් නොව රාවණා රජතුමාගේ බිසව මන්දෝදරී සඳහා ඉදි කළ මාළිගයක් බවයි.

මෙම මාළිගයෙහි නටඹුන් අදටත් දැක ගැනීමට හැකිය. මෙහි සක්මන් මළු දෙකක් තිබූ බවට සාක්ෂි අදටත් ඉතිරිව ඇත. සීතා කොටුවට යා යුත්තේ ගුරුළුපොත තානායම මාර්ගයෙන් වුවත් එදා මාලිගයට පිවිසීමට ප‍්‍රධාන පිවිසුමක් තිබී ඇති බවට සාක්ෂි ඇත. මෙම මාළිගය විශාල නොවූ බවට නටඹුන්වලින් සනාථ වේ. වර්තමානයේ මාළිගය දැක බලා ගැනීමට යාමට ඇත්තේ ගස් වැල්වලිින් ගහන අඩිපාරකිනි. එය තරමක දුෂ්කර මාවතකි. තරමක් වැඩිහිටි අයකුට නම් මෙම මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ තවත් අයෙකුගේ සහායෙනි.

කෙසේ වුවද මෙම ගමන හරිම විනෝදජනක ගමනක් බව නම් පැවැසිය යුතුමය. සශ්‍රීක වූ වනපෙත ඒ අතරින් දිවයන වල් ඌරන්, රිලවුන් හා කුරුලූ විශේෂ, සමනලූන්, රැුහැයියන්ගේ නාදය නිසා ගමන් වෙහෙස නොදැනෙයි. සීතා කොටුව නැරඹීමට දේශීය සංචාරකයින්ට වඩා විදේශිකයින්් දැඩි උනන්දුවක් දක්වන බව අපට සංචාරය සංවිධාන කළ මවුන්ට් ඒජ් හෝටලයේ සභාපති නිශාන්ත මහතා පැවසුවේ ය.

‘සීතා කොටුව’ මාළිගයේ නටඹුන් අතර පියගැටපෙළ දෙකක් තිබූ බවට සලකුණු දැක ගත හැකියි. සීතා දේවිය ස්නානය සඳහා අසල පිහිටි දිය ඇලිවලින් සෑදුණු පොකුණ වෙත යෑමට ඇයට ගමන් කිරීමට පියගැටපෙළ තනා තිබෙන්නට ඇතැයි පැවසෙයි. අද වන විට දියඇලි හා පොකුණු දැක ගැනීමට තරමක් දුෂ්කර වූ මාවතක් දිගේ යා යුතුය.

සීතා කුමරිය මෙහි සඟවා තබාගෙන සිටින අතරතුර රාම කුමරු ඒ පිළිබඳ සැල වී කුමරිය හමුවීමට උත්සාහ ගෙන තිබෙන බවත් එය දැනගත් රාවණ රජු කුමරිය වෙනත් ප‍්‍රදේශයකට (වර්තමානයේ නුවරඑළිය සීතා එළිය) රැගෙන ගිය බවත් කියැ වේ. නුවරඑළිය හග්ගල සංචාරය කිරීමේදි සීතා එළිය ප‍්‍රදේශයේ හමුවන සීතා අම්මාන් කෝවිල පිහිටි ස්ථානය එය බව සැලකෙයි. සීතා කුමරිය පිළිබඳ ඉතිහාස කතන්දරවල මෙම ස්ථානය පිළිබඳවත් සඳහන් ය.පවුලේ සංචාරකයකට ගුරුළුපොත සීතා කොටුව මාළිගාව නැරඹීමට ගියොත් අතීත පිළිබඳව මෙන්ම සොබාදහම පිළිබඳවත් බොහෝ දේ ඔබට දැන කියා ගන්නට ලැබෙනු ඇත.


සටහන/ඡායාරූප- : ශාන් බන්දු වීරසිංහ


යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

ඔබේ  Nude photo එකක් share  වුණොත් මොකද කරන්නේ Read Next

ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

Realted Post

Leave a comment