සතුට ඇත්තේ හිතේ - හෝමාගම අනුපමා මෙහෙණින් වහන්සේ
දියණියක, මවක, බිරිඳක ලෙස විවිධ වූ භුමිකාවන්හි වාසය කරමින් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඇය නිරතුරුවම ප්‍රයත්න දරයි. ඒ ප්‍රයත්න තුළ ඇය සියල්ල දරාසිටින්නේ මහ සාගරයක් ලෙසය. දුක ලෝක ස්වභාවයකි. සතුට ජීවිතේ තාවකාලික ය. අපේ ජීවිතයට නිවීමක් , සැනසිල්ලක්, සැපයක් ලෙස ඇස්වලට ප්‍රිය බොහෝ දේවල් අපි සොයාගෙන යමු. මේ සොයා යන ජීවිතයේ ලබන පරාජයන් හමුවේ බොහෝ තරුණ ජීවිත තෝරාගන්නා වැරදි මාර්ග අප කොතෙකුත් දැක ඇත. එලෙස ජීවිතේ කලකිරීම් , වේදනා පරාජයන් හා ජීවිතේ සත්‍ය සොයා දහම් මගට යන මාවතේ තරුණ වියේදීම පැවිදි දිවියට එළඹුණු මෙහෙණින් වහන්සේලා වැඩ වාසය කරන අහංගම මෙත්බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන තරුණ මෙහෙණින් වහන්සේ නමක මුණ ගැසුණි. මේ භවයේ පාරමිතා ධර්මය පූර්ණය කරගන්නට කසාවතට පැමිණි හෝමාගම අනූපමා මෙහෙණින් වහන්සේ සමගිනුයි මේ සුවිශේෂී කතාබහ.
අම්මා නැති ගෙදර වෙනස් වුණු හැටි
“ගිහි කාලේ මගේ නම පුන්සඳනි නයෝදා. මම උපන්නේ හෝමාගම මාගම්මන කියන ගමේ. පවුලේ අම්මායි තාත්තායි මමයි අයියයි,මම පවුලේ බාලයා. මගේ තාත්තා වැඩ කළේ ඉංජිනේරු සංස්ථාවේ. මට අවුරුදු 9දි හෘදයාබාධයකින් මගේ අම්මා නැති වෙනවා. අම්මාගේ වියෝවත් එක්ක එතැන් පටන් ජීවිතේ ඇරඹෙන්නේ මහා ගිනි ජාලාවක් එක්ක. මගේ තාත්තා නැවත විවාහවෙනවා. අයියාටයි මටයි අම්මෙකුගේ සෙනහසක් තියෙන්න ඕන කියලා තමයි තාත්තා විවාහ වුණේ. ඒත් වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඇය අපිව මුල් කාලේ බැලුවත් අවසානයේ තාත්තා සහ කුඩම්මා අතර විවිධ ප්‍රශ්න මතුවුණා. ඒ ගැටුම් මැද්දේ තමයි අපි දෙන්නා ජීවත් වුණේ.”
ඇය ගිහි කල රූප ස්වභාවයෙන් අගතැන්පත් ය. තරුණ වියේ කෙළිලොල් ජීවිතයේ මිහිරියාව වින්දත් ජීවිතයේ යම් යම් කාල තුළ ඇයට ගෙන දුන්නේ ඒ තාරුණ්‍යයේ මිහිරියාව තුළම මහා විෂ කටු පිරුණු ගිහි දිවියකි.
"මම හරිම ලස්සනට ඇන්දා, එන එන හැම විලාසිතාවම කළා. ඒ ජීවිතේ අතාරින්න හිතන තරම් ලේසි නැහැ. ගෙදර ප්‍රශ්න තිබුණත් නිදහස මං හරියට හෙව්වා. මගේ එකම හීනය වුණේ හොඳ රටකට ගිහින් ඉගෙනගෙන රැකියාවක් කරලා ලස්සන ජීවිතයක් ගතකරන්න. ඒ වෙනුවෙන් මම මහන්සි වුණා.
මම පාසල් තුනකට ගියා. හෝමාගම මහා විද්‍යාලය, ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය. උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. තුන් වතාවක් විභාගය ලිව්වත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබුණෙ නැහැ. ගෙදර ප්‍රශ්න මගේ අධ්‍යාපනයට දරුණුවටම බලපෑවා. උසස් පෙළ කළාට පස්සේ රැකියා දෙකක් කළා. කොරෝනා ඇවිල්ලා මගේ රැකියාවත් නැති වුණා . මේ සියලු අහිමිවීම් මැද්දෙ මේ යන විදිහ හරියන්නේ නැහැ කියලා තේරුණා.’’
සුන්දර අසුන්දර මාවත්වල ගලා යන තරුණ වියේ ප්‍රේමය ඇයට ද ගිහි කල උරුම වුවත් දෛවය ද නොසිතු ලෙස ඊටද හරස් විය.
සිහින කඩා වැටුණු ජිවිතය
"ඒ වෙනකොට අයියා විවාහ වෙලා වෙනම ජීවිතයක් ගත කළා. මටත් ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ආසාවන් තිබුණා. ප්‍රේම සබඳතාත් තිබුණා. ඒ කාලේ ගෙදර තිබුණු අපායෙන් ගැලෙවන්න ඕනැ නිසා තාත්තාටත් මාව ඉක්මනට විවාහ කරලා දෙන්න අවශ්‍ය වුණා. ඒ වෙනකොට මට ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඔහු සමග විවාහ වෙන්න ලොකු බලාපොරොත්තුවකින් තමයි හිටියෙ. මගේ ගෙදර විස්තර ඔහු දැනගෙන හිටියා. අපි විවාහ වෙමු කිව්වාම එයා ඒ වගකීම ගන්න කැමති වුණේ නැහැ.. මොනයම් හේතුවකට හරි ඒ ආදරයත් නැතිවුණා. රැකියාවයි ආදරයයි දෙකම නැතිවුණාම මම මානසිකව හුඟක්ම ඇද වැටුණා.
මම ගොඩ නගන හැම හීනයක්ම ඇස් ඉදිරියේම කඩා වැටෙද්දි ජීවිතේ හෙම්බත් වෙලා තිබුණෙ. ජීවිතේ නැති කරගන්නෙ නැතිව මේ ජිවිතේ හදාගන්න ක්‍රමයක් නැද්ද කියලා හොයමින් යන අතරේ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවක් මට අහන්න ලැබුණෙ අහම්බෙන්.
මගේ තාත්තා ඉස්සර හැම තිස්සෙම කියනවා ආගමක් දහමක් නැහැ ඔහේ ජීවත් වෙනවාට ජීවත් වෙනවා කියලා. ඇත්තටම ආගම දහමට ඇත්තටම නැඹුරුවක් තිබුණෙ නැහැ. එක දිගට ප්‍රශ්න එනකොට ඇත්තටම මට පින කියන දේ ඇත්තෙම නැද්ද කියලා හිතුනා. මොනවද මේ පිං කියන්නේ කියලා මම හෙව්වා. ඔය අතරේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ බණ දේශනා මම දිගටම ඇහුවා. ඒ ධර්ම දේශනා ඇහුවාම මේ ගිහි ගෙයි මඩගොහුරේ ඉන්නවාට වඩා කසාවත සැනසීමක් කියලා හිතුණා.’’
තාත්තාගෙන් ලැබුණු ආශිර්වාදය
‘‘කලකිරීම්වලට චීවරයක් දරාගත්තා කියලා මේ සත්‍ය සොයා යන ගමන යන්න බැහැ. චීවරයක් දාගත්තා කියලා කලකිරිම් නැති වෙන්නෙත් නැහැ. කාලයත් එක්ක කලකිරීම් දුරුවෙනවා , හිත් වෙනස් වෙනවා අපි පෘථග්ජන මිනිස්සුනේ. අනෙක් කාරණාව තමයි ගිහි ජීවිතේ කලකිරුණා කියලා ඒ හැමකෙනාම ගිහිගෙයින් යන්න කියලා කියන්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්වා දුන් දහම ප්‍රායෝගිකයි. ගිහි ජීවිතයේ සිටත් අපට ඒ ගමන යන්න පුළුවන්.
මම ප්‍රශ්නවලට විසඳුම් හොයා ගත්තේ ධර්ම දේශනා අහලා. මම කිසිම වැඩක් නොකර ධර්ම දේශනාම අහපු කාලයක් තිබුණා. ධර්ම දේශනා අහලාම ප්‍රශ්න නිරාකරණය කරගෙන යථාවබෝධයෙන් තමයි මම මේ ගමන ආවේ. මට මේ ධර්ම දේශනා අහන එක තැනකදි හිතුණා මහණ දිවියට යන්න. ඒ වෙලාවෙම මම තාත්තාට කිව්වාම තාත්තා මුලින් අකමැති වුණත් පස්සේ අවසරය ලැබුණා. මට යන්න බැරි ගමන පුතේ ඔයාවත් පුළුවන් නම් යන්න කියලා තාත්තා මට කිව්වා. ඒ වචනෙම මට ලොකු ශක්තියක් වුණා.’’
ගමනට හරස් වුණු සහෝදර ප්‍රේමය
මේ සංසාරෙන් එතෙර වෙන්න යන ගමනට පියාගේ ආශිර්වාදය උන්වහන්සේට ලැබුණත් තමන්ගේ එක කුස උපන් නැගණිය යන මේ ගමනට අවසර දීමට තරම් ශක්තියක් එකම සහෝදරයාට තිබුණේ නැත.
‘‘මගේ එකම අයියයි, එයාගේ බිරිඳයි මම මහණ වෙනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. අයියා මට ගොඩාක් ආදරෙයි. මම මහණ වෙන්න අවසර ඉල්ලුවාම මෙහෙම ගමනක් යන්න මොනවද ඔයාට අඩු ජීවිතේ කියලා ඇහැව්වා. නමුත් මම සොයා යන ගමන මොකක්ද කියලා අයියාට තේරුම් කරලා දුන්නත් යන්න එපා කියන ඉල්ලීමේ අයියා හැමදාම හිටියා.
දවස් 4ක භාවනා වැඩසටහනක් තියෙනවා අයියාට ඒකට යනවා කියලා තමයි මම මෙත් බෝ සෙවණට ගියේ. එදා මම ගෙදරින් එද්දි , මම ආයේ එන්නේ නැහැ . මම මහණ වෙන්නයි යන්නේ. මට මොනවාහරි දායාදයක් දෙන්න තියෙනවා නම් ඒවා අයියාට දෙන්න කියලා මම ලියලා ආවේ. ඒ ලියුම දැක්කාම අයියා කලබල වුණා. මම මහණ වෙන්න ආවේ කියලා දැනන් හිටියෙ තාත්තා විතරයි. ඒත් එදා මාව මෙත්බෝ සෙවණෙ දාලා ගෙදර ගියාට පස්සේ තාත්තාටත් මොකක්දෝ ලෝබකමක් දැනිලා අවස්ථා ගණනාවක් අයියායි තාත්තායි ආවා මාව නැවත එක්ක යන්න. එ් කිසිම අවස්ථාවක ගෙදර අයට මාව බලන්න දුන්නේ නැහැ. "ඔයාට සිවුරේ ඉන්න බැහැ. ඒ ජීවිතේ හරිම කටුකයි . ඉන්න බැහැ කියලා හිතුණු ඕනැම වෙලාවක ගෙදර එන්න තාත්තායි මමයි බලා ඉන්නවා කියලා අයියා අන්තිම වතාවටත් ස්වාමීන්වහන්සේ කෙනෙක් අතේ පණිවිඩයක් කියලා එවලා තිබුණා
මම මහණ වෙන්න ගත්ත තීරණයත් එක්ක මගේ අයියා සෑහෙන්න ඇඬුවා. එ් අවස්ථා මම දරාගත්තෙත් බොහොම අමාරුවෙන්. අවසානයේ අයියා පොලීසිත් ගියා මාව බලෙන් තියාගෙන ඉන්නව කියලා ලොකු හාමුදුරුවන්ට විරුද්ධව. පස්සේ මම අයියාට තේරුම් කළා මම තෝරා ගත්තේ මගේ ජීවිතේ යා යුතු ගමන. ඒකට මට උදව් කරන්නැයි කියලා.’’
සැනසීමක් දැනුණු දවස
‘‘ඇත්තටම මට ජීවිතේ ලොකුම සැනසීම දැනුණේ මගේ හිස භූ ගාපු දවසේ.. පීඩාවෙන් හිටපු මනසට එදා පුදුම විදිහට සැහැල්ලුවක් දැනුණා.’’
ඉන්පසු දසසිල් මාතාවක්ව හිස භූ ගා සුදු වතින් සැරසී සිටි උන් වහන්සේට ධර්ම මාර්ගයේ ගොස් කසාවතක් ඇඟ දවටන්නට වසර දෙකක් ගතවිය.
"සමහර අය එනවා පැවිදි වෙන්න කියලා මංගල ඇඳුමින් සැරසිලා. ඒ එන සමහරු ඉන්නේ මාස හයයි හතයි. හැම කෙනෙකුටම සිතූ පමණින් කසාවතක් පොරවන්න බැහැ. ඒකට සසරේ කරපු යම් පුණ්‍යකර්මයක් තිබියි යුතුමයි. මමත් වසර දෙකක්ම සුදුවතින් සැරසිලා ධර්මය ඉගෙන ගත්තා. අවුරුදු 26දි තමයි මම පැවිදි වෙන්නේ. තාත්තාගෙයි අයියාගෙයි තාම හිත් වේදනාවයි, තරහයි ඇති කියලා හිතලා මගේ මහණ පිංකම ගෙදර අයට නොදන්වා ඉන්න තීරණය කළා. කවදාහරි දවසක අයියයි තාත්තා මගේ ගමන තේරුම් අරන් ඒවි කියන විශ්වාසයේ මම හිටියා. පස්සෙ මම යන ගමන තේරුම් අරගෙන අයියයි තාත්තායි ඇවිත් කතා කළා. දැන් ඉඳහිට අයියා මාව බලන්න එනවා. ඒත් එයා තාම දුකින් ඉන්නේ කියලා මට දැනෙනවා. ගිහි කාලේ මම පාවිච්චි කරපු සියලු දේවල් එයා තවමත් ආරක්ෂා කරලා තියාගෙන ඉන්නවා කියලා තාත්තා කියනවා.
අද මගේ හිත හරිම සතුටින්
"එදා මේ ගත් තීරණය ගැන ලොකු සැනසීමක් දැනෙනවා. මම දැනට ධර්මය ඉගෙන ගනිමින් සිටිනවා. විපස්සනාව පුහුණු කරනවා. සිත ගැන ගවේෂණය කරනවා. ධර්මය තුළින්ම තමයි මම ජීවිතේ නැති කරගන්න තැනින් මිදුණෙ. එහෙම මාර්ගයක්වත් මට මුණ නොගැසුණා නම් මම සියදිවි හානි කරගන්න තිබුණා. ඒත් අද මම ධර්ම මාර්ගයේ ගමන් කරමින් සතුටින් සිටිනවා.’’
Leave a comment