සසුනඹර අඳුරු කර අවරඹර පත් සරාසඳ

මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ  අනුනායක අතිපූජ්‍ය  නැදගමුවේ විජයමෛත්‍රභිධාන යතීශ්වරයාණන් වහන්සේ.... 

කිසියම් පුද්ගලයෙකු පරිපූර්ණත්වයට පත් කෙරෙන සුපැහැදිලි මාර්ගය වන්නේ ඔහු ලබන ජීවන අද්දැකීම් ය. යමෙකු පරිපූර්ණ අයෙකු නො වන බව පසක් කොට ඔහු සාර්ථකත්වයට රැගෙන යන්නේ ද එසේ අසාර්ථක වීමට හේතු වන කරුණු සදයානුකම්පාවෙන් පෙන්වා දෙන අනතිමානී අයෙකු නිසා ම ය. ලොකු කුඩා, උස් පහත් කිසිදු භේදයක් නො සලකා කාහටත් ආත්ම ශක්තියෙන් සහ ආත්ම විශ්වාසයෙන්  සමාජයට අවතීර්ණ වන්නට අත්තුක්කංසනයෙන් හා පරවම්භනයෙන් තොර මාර්ගෝපදේශකයන් අතර අසමසම ධී ගුණෝපේත චරිතයක් ලෙස, කීර්තිභාවශේෂෝපගත මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රභිධාන යතීශ්වරයාණන් වහන්සේ අවිවාදිත ව හැඳින්විය හැකි ය.

පුද්ගල පෞරුෂය වාචික ව විස්තර කළ හැක්කක් නො වේ. පෞරුෂය මැනීමට නොයෙකුත් මිනුම් දඬු හෝ නිර්ණායක පැවතියත් පුද්ගලයාගේ පෞරුෂීය දත්තයන් බොහෝමයක් නිර්වාචික ය. ගමන බිමන, ඇවතුම් පැවතුම්, කතා බහ, භාව ප්‍රකාශන, සංවේදී බව ආදි නා නා විධ නිර්වාචික සාධකයෝ පුද්ගල පෞරුෂයේ ප්‍රතිමානයෝ වෙති. බුදු දහමෙන් ඇගයෙන්නේ ධනාත්මක පෞරුෂ සංවර්ධනයකි. එහි දී වංචා සහගත බව, බියසුලු බව, අධිතක්සේරුව, අත්තුංකංසනය ආදි සාධකයෝ නිශේධනීය වෙති. පඤ්චශීල ප්‍රතිපදාවෙන් ඇරඹි පූර්ණ පෞරුෂ සංවර්ධනය සඳහා වන මාර්ගයක් බුදු දහමින් දේශිත අතර විශේෂයෙන් ම පුද්ගලයාගේ ධනාත්මක මෙන් ම සෝත්තුංග පෞරුෂය සඳහා පුරාකෘත කුසල කර්මයන් බෙහෙවින් බලපානු ඇත. 

එවන් අසදෘශ පෞරුෂයකින් හෙබි යතිගුණෝපශෝභිත සංඝපිතෲන් වහන්සේ නමක හමු වන්නේ සාතිශය කලාතුරකිනි. පූර්වෝක්ත ගුණ කදම්බයන්ගෙන්  සුභූෂිත යතීශ්වරයාණන් වහන්සේ නමක ලෙස අතිපූජ්‍ය විජයමෛත්‍රභිධාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හැඳින්වීම අතිශයෝක්තියක් නො වේ. 

1951 සැප්තැම්බර් මස 12 දින මිනුවන්ගොඩ නැදගමුවේ දී ජන්ම ලාභය ලද  විජයමෛත්‍රී නාහිමියෝ දොළොස් වැනි වියෙහි දී උතුම් වූ ප්‍රවෘජ්‍යා දිවියට පත් වූහ. රත්නපුර, ඇහැලියගොඩ ශ්‍රී සුමන පිරිවෙණින් මූලික අධ්‍යාපනයත්, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙණින් ද්විතීක අධ්‍යාපනයත් ලද උන් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලබා ගුණ නැණ බෙලෙන් පරිපෝෂිත වූහ.
1976 වසරේ දී ඇහැලියගොඩ ශ්‍රී සුමන පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා 1987 වසරේ සිට 2011 වසර වන තෙක් ම සිය ධර්ම ශාස්ත්‍රීය සේවය ගම්පහ, ඉඳිගොල්ල විද්‍යාවංස මහ පිරිවෙණට ලබා දුන්හ. තම කෘතහස්ත සේවය ලාංකේය පිරිවෙන් ක්ෂේත්‍රයට ම ප්‍රදානය කරමින් 2004 වර්ෂයේ සිට සමස්ත ලංකා පිරිවෙන් උපදේශක තනතුරට පත් විජයමෛත්‍රී නාහිමියන් මේ වන තෙක් ම පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද අනුපමේය සේවයක් ඉටු කළහ.
1990 වසරේ සිට මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභික, 1996 වසරේ සිට කාරක සංඝ සභික තනතුරට ද පත් උන් වහන්සේ තත් නිකායික අනුවිජ්ජක, ජ්‍යේෂ්ඨ අනුවිජ්ජක ධුරයට ද පත් වූ අතර ස්වකීය සේවය අගය කරමින් නිකායේ සංවර්ධන සභාවේ සභාපති ධුරය ද උන් වහන්සේට ප්‍රදානය කරන ලදී. තව ද 2011 වසරේ මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුරට ද පත් නා හිමිපාණන් වහන්සේ 2021 වසරේ සිට එම නිකායෙහි අතිපූජ්‍ය අනුනායක ධුරයටත් උපරිමානුවිජ්ජක පදවියටත් පත් වූයේ උන් වහන්සේගේ ශාසන ශෝභන යශෝකදම්බය නිසා ම ය.

එදා මෙදාතුර රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට ද නො මඳ දායකත්වයක් සැපයූ අප අනුනාහිමිපාණන් වහන්සේ, 1991 වසරේ සිට 2002 වසර තෙක් මිනුවන්ගොඩ සමථ මූල මණ්ඩලයේ සභාපති  ලෙසත්, 1993 වසරේ සිට 2015 වසර තෙක් ජනමාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, වසර හතක කාලයක් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සිය කෘතහස්ත සේවය ලබා දී ඇත්තේ දේශයේ මුර දේවතාවන්වහන්සේ නමක් ය යන්න වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ප්‍රතීයමාන කරමිනි.

අත්‍යුදාරතර ජාතික, අධ්‍යාපනික, සමාජීය සහ ශාසනික සේවාවන් රාශියක් සඳහා දිවිහිමියෙන් කැපවූ පරමාදර්ශී යතීන්න්ද්‍රයණන් කෙනෙකු රට දැය සමයට අහිමි වීම කිසි දා කිසිවෙකුට සපිරිය නො හැකි සුවිශාල අඩුවකි. කීර්තිභාවශේෂෝපගත, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රභිධාන යතීශ්වරයාණන් වහන්සේට අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා යි ධර්ම සංවේගයෙන් ප්‍රාර්ථනා කරමි. 

පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි,
විශ්‍රාමලත්, පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Previous

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

යකඩ ගැහැනියක් වෙන්න... Read Next

යකඩ ගැහැනියක් වෙන්න...

Realted Post

Leave a comment