’ආච්චිට හාල් ගරපු ගම’ බලන්න කෝච්චියෙන් නුවරට

භාණ්ඩ ප‍්‍රවාහනය, මගී ප‍්‍රවාහනය මෙන්ම ලොව පුරා අකර්ෂණීය සංචාරක ප‍්‍රවාහන සේවයක් බවටද දුම්රිය පත්ව තිබේ.

අප රටේද සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු කොටසක් දුම්රිය සේවයට හිමිව තිබේ. විශේෂයෙන්ම උතුර හා කඳුරට ප‍්‍රදේශවලට යන දුම්රිය ගමන් වාර වැඩි වශයෙන් පිරී යන්නේ සංචාරකයන්ගෙනි.

මහා මාර්ගයෙන් ගමන් කරනවාට වඩා දුම්රිය මාර්ගයේ සංචාරයෙන් රටේ සොබා සිරිය හොඳින්ම විඳගැනීමට හැකිබවට බොහෝදෙනාගේ විශ්වාසයක් පවතියි. මේ නිසාම මෙවර අපි කොළඹ සිට කෝච්චියෙන් මහනුවරට යන්නෙමු.

දේශගුණික වෙනස්වීම්වලට වගේම සොබා දහමේ කදිම නිමැයුම්, මිනිස් ශ‍්‍රමයෙන් කළ අපූරු නිර්මාණ ද ඔබට මේ ගමනේදී දැකගත හැකි වනු ඇත.

කොටුව - මහනුවර දුම්රිය අතරින් උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි කුමාරි ප‍්‍රසිද්ධ දුම්රිය ගමන්ය. මෙම ගමන්වාර අතර දේශීය හා විදේශීය සංචාරකයන් අතර වඩාත්ම ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ උදෑසන ශීඝ‍්‍රගාමී දුම්රිය ගමන්වාරය යි. එමෙන්ම මෙහි ටිකට්පත්වලට ඇත්තේද ඉහළ ඉල්ලූමකි. මේ නිසා දින කිහිපයකට පෙර ටිකට්පත් වෙන් කරවා ගැනීමට මගීන්ට සිදු වේ.

මෙයට ප‍්‍රධාන හේතුව නැරඹුම් මැදිරිය සඳහා වූ විශාල ඉල්ලූමයි. දුම්රිය ගමනේ සුන්දරතම අත්දැකීම විදගැනීමට නම් නැරඹුම් මැදිරියේ ගමන් කළ යුතුය.

උදෑසන හතට කොටුවෙන් ගමන් අරඹන මෙම මහනුවර නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රිය පැය 2 - 3 කාලයක් ඇතුළත මහනුවරට ළඟාවෙයි. එය නවත්වන්නේ ගම්පහ පේරාදෙණිය හා මහනුවර ය. කොටුවෙන් පිටත්වන අවස්ථාවේ බොහෝ දිනයන්හිදී ආරම්භයේ සිට යම් දුරක් යනතෙක් මීදුම සහිත දේශගුණයක් දැක ගැනීමට හැකිය. දුම්රිය මාර්ගය දෙපස මුඩුක්කු පැල්පත් හා අක‍්‍රමවත්ව ඉදිවූ නිවාස දැකිය හැකි නමුත් ක‍්‍රමයෙන් නගරය පසුකරමින් රාගම, ගම්පහ වැනි ප‍්‍රදේශවලට ළඟාවෙද්දී කෙත්වතු සහිත සරුසාර පරිසරයක් වගේම නෙතට දැකුම්කලූ පරිසරයක් දැක ගැනීමට ලැබේ.

මෙසේ ඉදිරියට ඇදෙන දුම්රිය රඹුක්කන පසු කිරීමත් සමග දුම්රිය මාර්ගය කඳු සහිත ගමන් මාර්ගයකට අවතීර්ණ වේ. පැමිණි වේගය අඩුවී වංගු සහිත වෙනස්ම වූ පරිසරයකට ඇතුළු වේ. මෙතැන් සිට දුම්රිය ගමනේ නැවුම් අත්දැකීම විඳගැනීමට ඔබට හැකි වනු ඇත.

රඹුක්කනින් පසුව හමුවන දුම්රිය ස්ථාන අතරින් කඩිගමුව, යටවන්දෙණිය, ගංගොඩ, ඉහළ කෝට්ටේ, බඹරගල, මහකෙහෙලවල, බලන, බොරළුගොල්ල, කඩුගන්නාව, පිළිමතලාව, කිරිබත්කුඹුර, පේරාදෙණිය හංදිය, සරසවි උයන, රජවත්ත, සුදුහුම්පොළ, මහනුවර යන දුම්රිය නැවතුම් පොළවල් සහ තවත් කුඩා දුම්රිය ස්ථාන කීපයක් ද හමු වේ.

මෙම ගමනේ දී හමුවන ‘උමං මාර්ග’ සංඛ්‍යාව 18 කි. මෙම උමං මාර්ගවල දුම්රිය පිවිසීම පුංචි දරුවන්ට නම් කදිම අත්දැකීමකි. සමහර සංචාරකයෝ සැම උමං මාර්ගයකදීම ‘හූ’ හඬ නගයි. මෙය කාටත් විනෝදයකි. මෙය හුදෙක්ම විනෝදජනක වී ඇත්තේ තමන්ගේ හඬ නැවත දෝංකාර දෙමින් ඇසෙන නිසා ය.

නුවර ප‍්‍රධාන මාර්ග හා ඉන් එහා ඈත කඳු පංතිද අපූරු දසුන් මවයි.

මහනුවර දුම්රිය සංචාරයේ හමුවන ‘බලන’ විශේෂ දුම්රිය ස්ථානයකි. කන්ද උඩරට රැකගැනීමට ප‍්‍රධාන මුරකපොල්ලක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇත. බලන දුම්රිය පොළ අසලින් බලන ගම්මානයට යාමට මාර්ගයක්ද ඇත. නුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයේ සිටම බලන ගමට මාර්ගයක් ඇත. බොහෝ සංචාරකයෝ මෙම මාර්ගයේ ඉහළටම පැමිණෙති. ඉහළ කෝට්ටේ ඉතා කුඩා නැවතුම් පොළකි. අවට කඳුවලින් වටවූ ලස්සන පරිසරයක එය පිහිටා තිබේ. මෙම දුම්රිය ස්ථානය උමං මාර්ගයක් ආසන්නයේම පිහිටා ඇත. මුල් යුගයේ දුම්රිය මාර්ග තිබී ඇත්තේ ගලට පිට පැත්තෙනි. මෙම ස්ථානයේ ඉහළින් මීයන් ඇල්ල පිහිටා තිබේ. වැසි කාලයට ඇල්ලේ වතුර රේල් පාරට ගලාගෙන එයි. වරක් හාල් පටවාගෙන ගිය දුම්රියක් මෙහි දී අනතුරට පත්ව තිබේ. ඉන්පසු මාර්ගය වෙනස් කර වර්තමානයේ දකින අයුරින් සකස් කර ඇත.

මෙම දුම්රිය ස්ථානය සංචාරකයන් අතර ප‍්‍රසිද්ධ මීයන් ඇල්ල නිසාය. එහි යාමට ඇත්තේ උමං මාර්ග ඔස්සෙයි. මඳක් දිග උමං මාර්ගයක් නිසා දුම්රිය පැමිණෙන වෙලාව දැනගෙනම මෙහි සංචාරය කළ යුතුය. නැතිනම් උමං මාර්ගය පසු කිරිමට පෙර දුම්රියක් පැමිණියොත් කීමට තවත් කිසිවක් නැත.

ගැමියන් අතර මෙම දුම්රිය ස්ථානය සම්බන්ධව ජනප‍්‍රවාද ද ඇත. මෙහි පෙරළුණු දුම්රියේ තිබූ හාල් ගැමියන් විසින් එකල රැුස් කළ බවත් හාල්වලට වැලි මිශ‍්‍රව තිබූ නිසා හාල් ගැරීමට සිදුවූ බවත් කියැ වේ. තරුණ පිරිස්ද ගමේ ආච්චිලාගේ උදව්වට ගොස් ඇත. ඒ යන ගමනේදී ඔවුන් තව කෙනෙකු හමුවූ පසු පවසා ඇත්තේ ‘‘ආච්චිට හාල් ගරන්න යනවා’’ කියාය. එය අදත් ජනවහරේ පවතී.

දුම්රිය ගමනේදී හමු වූ තවත් නවාතැන්පොළක් වන්නේ ගංගොඩ දුම්රිය ස්ථානය යි. එය අලගල්ල කඳුවැටිය පාමුල පිහිටා ඇති කුඩා නැවතුම්පොළකි. ඉංග‍්‍රීසි පාලන සමයේ නැවතුම් පොළක් ලෙස මෙය භාවිත කර ඇත. කඳු තරණය සඳහා ‘ගංගොඩ’ ඉතා ප‍්‍රසිද්ධියක් උසුලයි. කොටුව - මහනුවර දුම්රිය ගමනේදී හමුවන කඩුගන්නාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටා තිබේ. සංචාරකයින්ට ටිකට් පතක් ලබාගෙන එය ද නැරඹීමට හැකිය.

කඩුගන්නාවට අමතරව පේරාදෙණිය සරසවි උයන විශේෂයි. බදුල්ල හා මාතලේ දක්වා යන දුම්රිය පීලි මාරු කරන්නේ පේරාදෙණිය සරසවි උයනේදීය. කොළඹ සිට 46 වැනි දුම්රිය නැවතුම් පොළ පේරාදෙණියයි.

පේරාදෙණිය සරසවියට යාමට සිසුන් දුම්රියෙන් බසින්නේ සරසවි උයන නැවතුම් පොළෙනි.

ඔබත් එක් දිනක් හෝ දරුවන්ද කැටුව කොටුවේ සිට මහනුවර දක්වා දුම්රියේ ගමන් කරන්න. එය වෙනස්ම සහ අපූරු අත්දැකීමක් වනු ඇත.

 

                            සටහන : ශාන් බන්දු වීරසිංහ                              

 

 

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Previous

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Next

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

Realted Post

Leave a comment