රවීන්ද්‍රගේ සිනමාවට වසර 50 යි

සිරිකත අද කතාබහ වෙන්වන්නේ කලා ලොවේ නිතරම කතාබහට ලක්වෙන අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන හෙළ සිනමාවේ වීරයකු ගැනයි. එහෙමත් නැත්නම් ජනප්‍රියතම තරුවක් ගැනයි. ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඔහු 1970 සහ 1980 දශක වලදී ලංකාවේ ඉතාම ජනප්‍රිය තලයක සිටී අතර වසර කිහිපයකදීම ඔහු සරසවිය සම්මාන උ​ෙලළේදී හොඳම නළුවා සම්මානයටද පාත්‍රවිය. රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ මේ අසහාය රංග පෞරුෂය ගැන කතා නොකරම බැරිය. 1972 වසරේ දී ඔහු රඟපෑ ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ දෑස නිසා චිත්‍රපටයෙන් වඩාත් ජනාදරයට පත්වෙමින් සිනමාවට යුග මෙහෙවරක් කළ ඔහුගේ සිනමා ජීවිතයට දැන් වසර පනහකි.

  • රවීන්ද්‍රගේ සිනමාවට දැන් වසර 50ක්. කොහොමද ඒ ගැන දැනෙන්නේ?

වසර පනහක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. දීර්ඝ කාලයක්. ශතවර්ෂ භාගයක්. හුඟක් දුර ආවා. ඇත්තටම මම ආව ඒ ගමන ගැන හරිම තෘප්තිමත්. කලාව ජීවිතේ කරගෙන වෘත්තියක් වශයෙන් කලාව තෝරාගන්නවා කියලා හිතලා කලාවට ඇතුළුවුනු කෙනෙක් නෙවෙයි මම. අහම්බෙන් වගේ පාවෙලා ආව කෙනෙක් කිව්වත් වැරදි නැහැ. නමුත් සිනමාවට පැමිණි දා පටන් මම සිනමාවට ආදරේ කළා. හරිම උනන්දුවෙන් චිත්‍රපටි බලපු කෙනෙක්. හරිම ආදරෙන් මම ඒක වැලඳ ගත්තා. එතනින් පස්සේ මම ඒ අවුරුදු වෙනුවෙන් කැපකලා කිව්වොත් හරි. මොකද සිනමා රංගනය කියන එක මතු පිටින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හුඟක් තේරුම් ගැනීමක්, කැපකිරීමක් සහ පුදුමාකාර ඇල්මක්, ආදරයක් තියෙන්න ඕනි. මේ අවුරුදු 50 තුළම තියෙන්නේ ඒ අත්දැකීම තමයි.

  • වසර 50ක් ඔබ සිනමාව වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ජූනි 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙන උපහාර උලෙළ ගැනත් කතා කරමු?

මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ අවුරුදු 50 වෙනුවෙන්. මේ අදහස මුලින්ම ඉදිරිපත් වුණේ සුනිල් ආරියරත්න මහාචාර්ය තුමා, ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය, සුනිල් ෆොන්සේකා මහත්මයා සහ තවත් ඉතාම සමීප හිතවත් කිහිප දෙනකුගෙන්. ඒ අය කිව්වේ ඇත්ත වශයෙන්ම අවුරුදු 50ක් ගතවෙලත් මෙතුමාට කිසිම උපහාරයක් අපේ රටේ සිනමාවෙන් ආපසු දීලා නැහැ කියලා. කොහොම හරි ඒ නිසා එයාලම සහයෝගයෙන් එකතුවෙලා රවීන්ද්‍ර රන්දෙණිය පදනම කියලා සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ සංවිධානය තුළින් තමයි මේ ප්‍රසංගයේ සියලුම කටයුතු සංවිධානය වෙන්නේ. නවීන ප්‍රවීණ නැතුව මේ සඳහා නව පරපුරේ කලා කරුවන් රැසක් එකතුවෙලා ඉන්නවා. හුඟක් කලාකරුවෝ ඉන්නවා. ව්‍යාපාර අංශයෙත් බොහෝ දෙනෙක් සහයෝගය දක්වනවා. ඒ වගේම මේ පුවත දැනගත්ත මොහොතේ ඉඳලා මාධ්‍ය තුළිනුත් විශාල උනන්දුවක් සහ සහයෝගයක් ලබා දෙනවා. ඉතින් මේ සියලුම දේවල් ගැන මට පුදුම සතුටක් තියනවා.       

  • වසර 50ක අත්දැකිම් එක්ක එදා සිනමාව සහ අද සිනමාව ගැන ඔබට තිබෙන අදහස?

සිනමාවට ප්‍රේක්ෂකයන්ගේ තියන සම්බන්ධතාවයත් එක්ක බැලුවහමත් එදා සහ අද තත්ත්වය වෙනස්. එදා ප්‍රධාන විනෝදාස්වාදය සහ රස වින්දනය වෙලා තිබුණේ සිනමාව. ඒ කාලේ ඕනි වෙලාවට ෆිල්ම් එකක් බලන්න මොබයිල් ෆෝන් ළඟ තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ චිත්‍රපටයක් බැලීම කියන බැඳීම තදින් තිබුණා. ඒක සාමාන්‍යයෙන් හදිසියකට හන්දියකට දුවලා එනවා වගේ දෙයක් නෙවෙයි. පොදු ප්‍රේක්ෂක ජනතාව චිත්‍රපටයකට සම්බන්ධවෙන්න ආයාසයකින් පෝලින්වල ඉ‍ඳලා තෙරපිලා ආදරෙන් චිත්‍රපටය නරඹලා එනවා. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න විශාල පරිත්‍යාගයක් කළා. ඒ අය චිත්‍රපටවලට සෑහෙන්න ආදරය කළා. ඒ නිසා එදා සිනමාව හරි ප්‍රබල විදියට අදට වඩා ජන ජීවිතවල රැඳී තිබුණා. ඉතින් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. 

  • එදාවගේ නෙවෙයි අද ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට යන ප්‍රමාණයේ යම් අඩුවීමක් දකින්න ලැබෙනවා නේද?

ඇත්තටම ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම දකින්න ලැබෙන දෙයක්. හැබැයි ඉන්දියාව හැරෙන්න. මොකද ඉන්දියානු ජනතාවට එදාවේල නොකා හිටියත් චිත්‍රපටියක් බලන්න ඕනෑ. ඒක හොඳ හෝ නරක හෝ බලන්න ඕනෑ. කොහොම වුණත් ලෝකේ පුරාම සිනමා ශාලාවල්වලට සෙනඟ පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. එ්කට එක හේතුවක් තමයි ඉස්සර සිනමා ශාලාවකට ගිහින් හැරෙන්න චිත්‍රපටයක් නරඹන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. අද විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඒකට අවස්ථාව ලැබිලා තියනවා. නමුත් සිනමා නිර්මාණය ඇතුලේ ප්‍රෙක්ෂකයව තනිකරලා සිනමාවක් නැරඹීමේ ආශ්වාදය ලැබෙන්නේ නිදහස ලැබෙන්නේ සිනමා ශාලාවක් ඇතුළෙදී පමණයි. ඒ වගේම සමාජ ආර්ථික පසුබිම, මිනිස්සු අද ගෙවන කාර්යබහුල ජීවිතේ යන සියලු කාරණාත් ඒකට අදාළ වෙලා තියනවා.

  • මේ වන විට සිනමාවේ උන්නතිය වෙනුවෙන් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ලැබිලා තියන සහයෝගය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

කොහෙත්ම නැහැ. සිනමාව වෙනුවෙන් දක්වන මේ ඇල්මැරුණු උදාසීන ආකල්පය ගැන මට තේරුම් ගන්න බැහැ. මට ඒ ගැන කතා කරන්න පුළුවන්.සිනමාව වෙනුවෙන් අඩුම වශයෙන් පසුගිය අවුරුදු විසිපහ ඇතුළත මම ඉතාම උනන්දුවෙන් දැඩිව මැදිහත් වුණු කෙනෙක්. ක්‍රමයෙන් පිරිහීම දකිද්දි අපි ඒ ගැන උනන්දු වුණා. මෙහෙම ගියොත් සිනමාවේ අනාගතය සුබ නැහැ කියන එකගැන අපි කතාකළා. බොහෝ දුරට රජයේ බලධාරීන් සමග, දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන් සමග මේ පිළිබඳ කතාබහ කළා. වාද විවාද කළා අවුරුදු ගණන්. නමුත් ඒ කිසිම දේක ප්‍රතිඵලයක් නැහැ. මීලඟට අපි දැකපු තවත් දෙයක් තමයි සිනමාව සිනමා කරුවන්ගෙන් මිදිලා සිනමා ව්‍යාපාරිකයින් අතට යෑම. නමුත් ඇත්තටම සිනමාව කියන්නේ විශාල ලෙස ආයෝජනය කරලා නිර්මාණය කරන්න ඕනෑ කලාවක්.

 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment