සිංහල හින්දු අලුත් අවුරුද්ද, සාහිත්‍යය සහ සමාජය

 
 
සිංහල දෙමළ අලුත් අවුරුද්ද තරම් කිසිදු උත්සවයක් හෝ දිනයක් මිනිසුන් තුළ උද්‍යෝගයක් සතුටක් ඇති කරන්නෙ නැති තරම්. එමෙන්ම සංස්කෘතිකාංග රාශියක් පිළිබඳ සමාජ කතාබහක් ඇති වන සමයකි. සංස්කෘතිය පිළිබඳ සාකච්ඡාවක දී අලුත් අවුරුද්ද විශේෂයෙන් කතාබහට ලක්වෙයි. කලාව, සාහිත්‍යය සහ සංස්කෘතිය විවිධාකාරයෙන් මිනිසාගේ ආශාවන් හා චිත්තවේගයන් ලිහිල් කරමින් සතුට, සැනසුම මිනිසා වෙත ළඟා කරවයි. සාහිත්‍යය යනු හුදෙක් ම සත්‍ය ලෝකයෙන් වියුක්ත වූ මනඃකල්පිතයක් නොව සැබෑ ම මානව ජීවිතයත්, ලෝකයත් අපූර්වාකාරයෙන් පිළිබිඹු කරන්නකි. සාහිත්‍යය, නිර්මාණ අධ්‍යයන පරමාර්ථෙයන් ඔබ්බට ගොසින් සාකච්ඡා කිරීමේ දී සමාජීය සාහිත්‍ය අධ්‍යයනයක් බවට පත් වේ. ඒ අනුව අලුත් අවුරුද්ද පිළිබඳ සාහිත්‍යයේ සාකච්ඡාව කෙබඳු ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ යි.
 
 
සොබාදහම අවුරුදු උදාව පිළිබඳ ඉඟි කරන්න පටන් ගන්නෙ හරි අපූරුවට. කොළ හැලී මලානික ව තිබුණු ගස්වැල්වල ද දලු කොළ වැඩී මල් පිපී මුළු පරිසරය ම ආලෝකවත් වේ. පරිසරයත් අලුත් වන මේ වසන්ත කාලයේ බක් මාසයේ බාල, මහලු, තරුණ සියලු දෙනා ම අවුරුද්දට සූදානම් වෙනවා. අද මෙන් කෘත්‍රිම දේවල් ඇසුරෙන් විනෝදය සොයා නොගිය මිනිසා අතීතයේ ස්වාභාවික පරිසරයේ පිබිදීම් මගින් ඇතිවූ චමත්කාරයෙන් සතුටට පත් විය. එච්.ආර් ජෝතිපාල සහ සුජාතා අත්තනායක ගයන මේ මියුරු ගීතයේ එදවස සොබා දහමේ අවුරුදු සිරිය මනාව කියාපායි.
 
කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්.. අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා..
ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ
ආවා වගේ.. ගමින් ගමේ
සිංහල අවුරුද්ද ලබන්නා..
රන් රඹුටන් ගස් යායේ වළි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා..
උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා..
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා
දම් පාටින් කජු පුහුලන් බරවී නැමීලා
පැහිලා නැමීලා..
අවුරුද්දේ ගම්මානේ නාරං ඉදීලා..
 
 
කොවුලා, කොහා එහෙමත් නැත්තම් කෝකිලයාගේ නාදය අවුරුද්ද ළං වෙද්දි නිතර ඇහෙනවා. කොහා කියන්නේ මේ රටට ආවේණික කුරුල්ලෙකු නොවුණත් මාර්තු, අප්‍රේල් මාසවල දී එන සංක්‍රමණික කුරුල්ලෙක්. මේ කුරුල්ලගේ ‘කුහු කුහූ’ නාදය අලුත් අවුරුද්ද ළඟ බව අපට මතක් කරල දෙනව. ඒ වගේ ම මාර්තු, අප්‍රේල්, මැයි මාස වෙද්දි ඒ කියන්නේ වසන්ත කාලයට ගස් වැල් මල් ඵල බර වෙනවා. අප්‍රේල් මාසයට පිපෙන විශේෂ මල් වර්ගයක් තමයි එරබදු මල්. ජම්බු ගස් රතුපාටින් වැහිල යන්නේ කජු ගස් කජු පුහුලමින් අලංකාර වෙන්නෙ මේ කාලෙදි. 
 
කුසුම් පිපී තුරු මතේ- සුවඳ හමයි දස අතේ
කෝකිල කූජනය නැගේ -ලිය ගොමු අතරේ
 
මධුර වසන්තේ සෝමතිලක ජයමහ ගායනා කරන මේ ගීතය ද සොබා දම් අවුරුදු සිරිය මැනවින් කියාපායි. ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහ ගයන ‘ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...... අන්න හිනා වෙනවා” ගීතය,නෙලූ අධිකාරි විසින් ගැයෙන ‘එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි- යළි අවුරුදු ඇවිදින් රටට ම සිරියාවයි’ ආදි බොහෝ ගීත ප්‍රමාණයක් අවුරුදු සිරිසර නෙත් මානයේ මවාපානවා.
 
පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා
දොළොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
මල් වරා තිබූ දලු මල් බරින් පිරේ
රන් ගොයම් ද කිරිවැදී සැලී
බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ
කෝල ලදුන් පුරන රබන් සුරල් සේ
 
අතීතයේ පුංචි පැලත් අවුරුදු කාලෙට මාලිගාවක් වගේ. නිකම් මාලිගාවක් නෙමෙයි රජ මාලිගාවක් වගේ. එදා අවුරුදු සැමරීම සශ්‍රීකත්වය මුල් කරගෙන සිදු වුණේ. අතීතයේ දී ඇත්තට ම මේ රටේ මිනිස්සුන්ට සශ්‍රීකත්වය තිබුණා. කෘෂිකාර්මික රටක් නිසා හැම ගෙදර ම වගේ අස්වනු නෙළල ගෙට ගන්න කාලය මේ. ඒ හින්දා අලුත් අවුරුදු සැමරීමට ප්‍රායෝගික ව මිනිස්සුන්ට අවශ්‍ය වටපිටාව සකස් වුණා. කැවුම්, කොකිස් ආදි කැවිලි පෙවිලි හදන්න අවශ්‍ය හාල්, පොල්, තෙල් වගේ ම දර ගින්දර වුණත් තමන්ගෙ වටපිටාවෙ ම තිබුණා. ඒ නිසා ඒ කාලෙ දි චාරිත්‍රයක් විදිහටත් වඩා, අස්වනු කපලා තමන්ගෙ අතට මිල මුදල් ලැබුණ ම සරල ජීවිතයක හුරුවෙලා හිටිය මිනිස්සුන්ට විවේකය, මානසික නිදහස තිබුණ අවුරුදු සමරන්න. ඉතින් ජීවිතේ අලුත් වීමේ ඇත්තම සතුට සමරන්න ඒ මිනිස්සුන්ට පුළුවන් වුණා. 
 
‘කෝල ලදුන් පුරන රබන් සුරල් සේ’ යන ගී පදයෙන් කියවෙනව වගේ දසතින් රබන් පද ඇහුණා. තවත් අවුරුදු ගීතවල ‘ටිකිරි සිනා සද්දේ ගම් මැද්දේ රබන් සුරල් නද දේ’, ‘රබන් සුරල් හඬ පරදයා රතිඤ්ඤා වෙඩි සද්දේ’ යනුවෙන් වර්තමානයේ අපට කලාතුරකින් දකින්න ලැබෙන අවුරුදු සංස්කෘතිකාංගය ගැන කතා කරනවා. කණු තුනක් හෝ හතරක් උඩින් බංකු රබාන තියල ඒ යටින් ගිනි කබලක් තබා රත් කිරීමෙන් වඩා මිහිරි නාදයක් ලබා ගැනීමට පැරැන්නෝ පුරුදු ව සිටියහ. 
 
කිරි ඉතිරේවා නව වසරේ//
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ//
දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න මතුකරමින් මල් හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
බත බුලතින් අඩු නොවී සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
 
සැබෑ සාහිත්ය නිර්මාණකරුවාට සිය සාහිත්‍ය නිර්මාණයෙහිලා නිරතුරුව පාදක වන්නේ මනුෂ්‍ය ජීවිතය හා මනුෂ්‍ය සමාජයයි. 
 
... රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන
සිටුවරුත් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවනට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා...// 
ගායනය : කරුණාරත්න දිවුල්ගනේගේ 
 
ගී පද : රජී වසන්ත වෙල්ගම 
 
මේ වචන ඇසෙද්දී අතීතයේ නිවෙස්වල අවුරුදු කාලයේ ලිප ආසන්නයෙන් හෝ දුමේ නූලකින් එල්ලා තිබුණ කෝඳුරු කැවුම අපට සිහි ගන්වයි. මුලින් ම හැදෙන කැවුම, මෙසේ එල්ලා තබන්නේ කෝඳුරුවන් උදෙසා ය. මේ කැවුම “කෝඳුරු කැවුම” යි. ගෙදර තෙල් තාච්චියක් ලිපේ තියල කැවුමක් හදල ඒ කැවුම නූලක ගැට ගහල කෝන්දුරුවො වගේ සත්තුන්ට කන්න වහළේ පැත්තක එල්ලනව දැකපු අවසාන පරම්පරාව අපි වේගෙන යනවා. අවුරුදු කාලයට ගස් යට කොස් අඹ වැනි දෑ ඉදී බිම වැටී ඇති නිසා කෝඳුරුවන් ආදි කෘමි සතුන් බහුල නිසා මෙයට පිළියමක් ලෙස කෝඳුරුවන්ට පළමු කැවුම මෙසේ එල්ලා තැබීම ගැමි සම්ප්‍රදායකි. 
 
අවුරුදු කෑම හදද්දි අපේ වැඩිහිටියෝ අපිට පුදුම තරම් ඉවසීම පුරුදු කළා. හාල් පෙගෙන්න දාලා පිටි කොටලා මිශ්‍රණය අනලා කැවුම් වගේ ම අනෙකුත් කැවිලි වර්ග හදනකම් ඒ සුවඳ විඳ විඳ රස බලන්න ඉවසීම පුරුදු කළා. ගෙදර පුංචි ළමයි එකතු වෙලා දඩබ්බරකමට මේ කැවිලි හදන තැන්වලින් හොරෙන් රහ බලන්න උපක්‍රම යෙදුවා. මාර්ටින් වික්‍රමසිංහ ‘නරක් වූ පිටි බඳුන’ කෙටි කතාවේ මේ ගැන අපූරුවට ඉදිරිපත් කරනවා.
“දොළොස් මාසයකට යන දවසේ ගෙදර පුංචි ඈයන්ට කෑමට කැවිලි ටිකක් නහද කොහොමද? පුංචි ඈයො නාහෙන් අඩ අඩ ඉන්නවා...”
 
“හ්ම්..” කියමින් සීමන් මුදලාලි තම බිරින්ද දෙස බැලුවේ අප - ට මොන - අව් - රුද් ද - ද් ද ?
“අපට අවුරුද්දක් නැතත් පුංචි ඈයන්ටවත් මොනවාවත් හදලා දෙන්න එපායැ. අහළ පහල උදවියගේ ළමයි අවුරුදු පවත්වන කොට අපේ පුංචි ඈයො නිකම් ඉඳීවියැ.”
 
ඉහත කී ගෘහය පිටිපස ආලින්දයෙහි ලිග්ගල් තුනක් උඩ තබන ලද තෙල් හට්ටියක් ඉදිරියේ, පැතළි යකඩ හැන්දක් දකුණතින් ද අඟල් දොළහක් පමණ දික් වූ පොල් ඉරටු කැබැල්ලක් වම් අතින් ද ගත් ස්ත්‍රියක් වාඩි වී උන්නා ය. ඈ ගිනි උදුනෙහි වූ තෙල් හට්ටියේ පිටි හැන්දක් වත් කොට ටික වෙලාවක් තෙල් ඉසිමින් සිට, නැවතත් ඒ පිටි උඩ පිටි ස්වල්පයක් වත් කොට තෙල් ඉස, ඉරටු කැබැල්ල ඒ මත සිටුවා කරවමින් දකුණතින් ගත් හැන්දෙන් නැවත් තෙල් ඉසින්නට වූ වා ය. කැවුම් පිසමින් උන් සෙලෝහාමි හිස ඔසවා බැලුවා ය.
 
  ‘මොකද බොල ආවේ ?”
‘කැවුම් පිහනවා බලන්න ආවා නෙව.”
 
අත් සෝදාගත් ඔවුන් සාලයට කැඳවාගෙන ගොස් ගෙබිම අතුරන ලද පැදුරක වැඩි කරවා අනන ලද පිටි බඳුනක් තබා මුංගෙඩි ගුළි කරන්ට අණ කළා ය. වැඩිමලා ටික වේලාවක් මුංගෙඩි ගුළි කොට, වටපිට බලා මුංගෙඩිවලට අනන ලද පිටි අහුරක් කටෙහි දමාගත්තේ ය. (නරක් වූ පිටි බඳුන –මාර්ටින් වික්‍රමසිංහ)
සාහිත්‍යය යනු සමකාලීන සමාජයේ පිළිබිඹුවක්. එදා සහ අද බිහිවන සාහිත්‍ය කෘතිවලින් වඩාත් හොඳ කුමක්ද යන්න විමසීමට වඩා වැදගත් වන්නේ සාහිත්‍යය නිර්මාණයේ අන්තර්ගතයෙන් ලබා දෙන පණිවිඩය අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමයි. අද මෙන් වෙළෙඳපොළෙන් කැවිලි මිල දී අරගෙන අවුරුදු සමරන සිරිතක් අතීතයේ නොවී ය. අවුරුදු කෑම පිළියෙල කර ගන්නේ නිවෙස්වල ම.  බොහෝ විට අවුරුද්දට ආසන්න සඳුදා, බ්‍රහස්පතින්දා, ඉරිදා වගේ දවසක තෙල් තාච්චිය ලිප තැබීමට පැරැන්නෝ පුරුදු ව සිටියහ. ඒ දිනයක තාච්චිය ලිප තබා තෙල් හැන්ද සහ තෙල් කූර කතිරයක් වන සේ තාච්චිය කොටස් හතරක් වන සේ තබා ඒ අතුරින් කතා නොකර තෙල් වත් කරයි. මෙමඟින් “ සිවු දෙසින්  එන අපල උපද්‍රව වළකා දේවාරක්ෂාව ලබා හතර වරිගයට, බෙදන්න කැවුම් මුට්ටිය පිරෙන්න කැවුම් බැඳේවා”යි ප්‍රාර්ථනා කරමින් කැවුම් පිසීම ආරම්භ කරයි. 
 
අපෙ අම්මා පිටි කොටනවා -දඩිං බිඩිං ඩෝං
අපෙ අක්කා පිටි හලනවා
මොනවද නැන්දේ මොකද කරන්නේ
මෙතන තමයි අපි කැවුම් බදින්නේ
හැන්ද නටයි කූර නටයි තාච්චියේ කැවුම නටයි
 
එදා මිනිසුන්ට මේ ආකාරයෙන් අවුරුදු සැමරීමට අවශ්‍ය වටපිටාව හිතකර ආකාරයෙන් සකස් වුණා. ගෙදර ඉන්න හැමෝම අවුරුදු වෙනුවෙන් විවිධාකාර වැඩවල නිරත වුණා. කැවිලි වර්ග ගෙදර ම හදා ගත්තා. ඒත් වර්තමානය වෙද්දී මිනිස්සු ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්නේ. එදා වේල සරි කර ගන්න වෙහෙස මහන්සි වෙන පුදුමාකාර තරගකාරි ජීවන රටාවක ඉන්නේ. හැමෝගෙම ජීවිතවලට අනවශ්‍ය වේගයක් එකතු වෙලා. ඒ නිසා මාධ්‍යවලින් තමයි මිනිස්සුන්ට අවුරුද්ද මතක් කරන්නෙ. කැවිලි හදන හැටි උගන්වන්නේ. ඇඳුම් පැලදුම්, ආහාරපාන අඩු මිලට ගන්න පුළුවන් තැන් ගැන දැනුවත් කරන්නේ. දැන් අවුරුදු ගැන ඇහෙන ගීත අතරේ මේ ඛේදාන්තය ගැනත් කියවෙනවා. රත්න ශ්‍රී විජේසිංහ කවියාගේ ‘සුබ උදෑසන’ කාව්‍ය සංග්‍රහයේ හමු වන මේ පැදිය පසු කලෙක ගයන්නේ සුනිල් එදිරිසිංහ යි. 
 
රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳසරා කුමරිය ඇවිත් කන්දට
අතවනා කියයි මට ගමට එන්නට සකිසඳේ ඇඬුම් මිස බැරිය සීපද
වැඩපළේ වහල උඩ අඬන කොවුලනී
මොකද මේ තොපට නැතුවා ද බඩගිනී...
එනතුරා පැළට අවුරැද්ද දුක නැති
මග බලාන දොරකඩ පුංචි දුව ඇති
පඩි අරන් හෙට උදේ ගමට යන සකි
නුඹ අතේ ම මට මගෙ කඳුළු යැව්වැකී
සුරිය සංක්‍රාන්තිය කියන අපලයේ
තේරුම ඇයි බ්‍රහස්පතිලාට නොපෙනුණේ.  . .
 
අත්දැකීම් සියල්ලක් ම කවියා සාහිත්‍ය නිර්මිතයෙහි බහා තබන සැටියෙහි ඇත්තේ අපූර්වත්වයකි. මේ කථකයාගේ පුංචි දියණිය දොරකඩ රැක මග බලා හිඳින්නේ වසරකට වරක් දුක නිමා කර සතුට ළඟා කරන අවුරුදු සිරි අරන් තාත්තා ගෙදර එන තෙක් ය. නමුත් කථකයාට මග බලන් සිටින පුංචි දියණියගේ හිත සතුටින් පුරවන්න තරම් වත්කමක් නැත. ඒ නිසා ඔහු පවසන්නේ හෙට උදෑසන ගමට යන යහළුවා අත කදුළු යවන්න පුළුවන් යනුවෙනි. ධනවාදී ආර්ථික රටාව මිනිසුන් අජීවි යන්ත්‍ර බවට පත් කර ඇති සේ ය. ස්වයංපෝෂිත ආර්ථික රටාවෙන් විවෘත ආර්ථික රටාවට මාරු වීමෙන් වාණිජකරණය වූ දිවියක නොසතුට කදුළ වේදනාව මැනවින් කියාපායි. ඔහු අවුරුදු උදාව හඳුන්වන්නේ ‘සූර්ය සංක්‍රාන්තිය කියන අපලය’ යනුවෙනි. අවුරුදු සරුදැයි යමෙකුගෙන් ඇසුවොත් ‘අපි අවුරුදු කනව නෙමෙයි. අවුරුද්ද අපිව කනව’ යනුවෙන් පිළිවදන් දෙන බොහෝ අයටත් සූර්ය සංක්‍රාන්තිය අපලයක් ම යැයි හැඟෙනු ඇති.
 
අවුරුදු චාරිත්‍ර ද බොහොමයක් වර්තමානය වන විට අභාවයට යමින් පවතී. රෝහණ බැද්දගේ ගායනා කරන සූර්ය මංගල්‍යය තේමා ගීතයේ දැනට අභාවයට යමින් පවතින අවුරුදු චාරිත්‍රයක් ගැන සඳහන් වේ.  
 
තුන් හෙළේ හැඩ අලුත් කරන්නයි 
එන්නෙ අවුරුදු කුමරු බලන්නයි
සූරිය මංගල්ලේ
නැන්දේ කළු කුණු මුත්ත පුදන්
සූරිය මංගල්ලේ
 
පරණ අවුරුද්ද දවසේ ගේ දොර අතු ගාලා පිරිසිදු කරනවනේ. මේ ඉස්සර කාලේ ඉඳල ම කරගෙන එන චාරිත්‍රයක්. අතීතයේ කුණුමුත්තා පිදීම කළේ පාන්දර ඉඳි කොළ අතුවලින් හැදුව ඉලපතෙන් ගේ අතු ගාලා එකතු කරපු කුණු ඒ අවුරුද්දේ පාවිච්චි කළ කුල්ලට දමා අවුරුද්ද දවසට පිසින ආහාර හා කැවිලි වට්ටියක දමා කුල්ලේ කුණු උඩ තබා වත්තේ කෙළවරක තැන්පත් කිරීමයි. මේ ආකාරයට ගෙදර දොරේ ඉතුරු වෙන කුණු රොඩු සේරම එකතු කරලා, කුල්ලකට දාලා නිවසින් එළියට විසි කරන මේ චාරිත්‍රය හැඳින්වුණේ “කුණු මුත්තා පිදීම” කියලයි. ඒ වෙනතුරු ගෙදර තිබුණු ගෙවිලා ගිය ඉලපතත් මේ එක්ක ම බැහැර කරනවා. ‘කුණු මුත්තා පිදීම චාරිත්‍රයක් වුව ද එක්තරා පූජාවකි. විශේෂයෙන් සත් කෝරලයේ මෙම පූජාව හැටේ දශකය වන තෙක් ම දක්නට ලැබුණ බව පී. ඇම්. සේනාරත්න ඔහුගේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද කෘතියෙහි සඳහන් කරයි. 
 
වර්තමානය වන විට මේ චාරිත්‍ර සිදු කිරීමට අවශ්‍ය වුව ද ප්‍රායෝගික ව යම් යම් ගැටලුවලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද නැත්තේ නොවේ. සාහිත්‍යයෙන් හුදෙක්ම සත්‍ය ලෝකයෙන් වියුක්ත වූ මනඃකල්පිත නොව සැබෑම මානව ජීවිතයත්, ලෝකයත් අපූර්වාකාරයෙන් පිළිබිඹු කරන අවස්ථා හමු වේ. සාහිත්‍යය සමාජ සම්බන්ධතාවල ප්‍රකාශනයක් බව මේ කවි පන්තියෙන් පැහැදිලි වේ.
 
ගෙයක අවුරුදු සමරනා හැටි - නාට්ටියකින් කරල පෙන්නා
අලුත් අවුරුදු සිරිත් පාඩම - පාසලේ අද කියල දුන්නා...
නිවසෙ එක එක චරිත විදිහට - පන්තියේ අපි ළමයි උන්නා
අම්මටයි තාත්තටයි හිටියේ - අවිශ්කයි ලෝචනියි දෙන්නා
හුණු පිරියම් කර නිවසේ - ගොම මැටි ගා දර ලිප වට
කිරි උතුරා සෙත් පැතුවා - ගිනි මොළවා සුබ නැකතට
ඒ දැක්කම නම් අම්මේ - ලොකු පැනයක් ඇති උන මට
ගෑස් ලිපෙන් ඔය දේවල් - කරන්නෙ කොහොමද එතකොට
මැටි කළයක් උකුලෙ තියන් - අම්ම ගෙයින් පිට වූවා
පඬුරක් දා දිය මත්තට - ළිඳට කෙළෙහිගුණ පෑවා
වැඩ අල්ලන සුබ නැකතෙදි - අඹ පැළයක් හිටවූවා
කුලී ගෙදර කොහොමද අපි - කරන්නෙ අම්මේ  මේවා
සැමට තුටු සිනා නගමින් - කිරිබත් මුට්ටිය ඉදුණා
මේසය පුරවා තව තව - කෑම ජාති ගොඩ රැඳුණා
තාත්තගේ අතින් අනා - සැමට සමාන ව බෙදුණා
අම්මේ එතකොට නම් මට - ඇඬෙන තරම් දුක හිතුණා
කැවිලි බඳුන් ගොඩක් තිබුණ - ගෙවල්වලින් ගෙන දැමූ
දැනුත් ආස හිතෙනව මට - සුවඳට ඒවගෙ හැමූ
මෙදා සැරෙ කෙසෙල් ටිකක් - විතරක් කඩයෙන් ගමූ
අනේ අම්මෙ කැවුම්, කොකිස් - ගෙදරම හදලා කමූ
බුලත් දීල වැඩිහිටියන් - හට වැඳ ගනුදෙනු කරන්න
තිබුණ අපිට නාට්ටියේ - පොදි බැඳ නෑගමුත් යන්න
කොහොමින් හරි මේ අවුරුදු - නිවාඩුවට අම්මෙ ඔන්න
තරහ නැති කරන් යමු අපි - අත්තම්මව බලල එන්න
 
ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
 
මිනිසුන්ගේ ජන ජීවිතවලට එබී බැලීමෙන් ඔවුන් හා කතා කිරීමෙන් හොඳ සාහිත්‍ය නිර්මාණයකට අවැසි විශ්ව සාධාරණ වූ අගය ලැබෙන බව නොරහසකි. අතීතයේ සෑම නිවසකට ම හුනු පිරියම් කරල ගොම මැටි ගාලා අලුත් සිරියක් ලබා ගන්නවා. ඒ වෙනුවෙන් විශාල මුදල් වැය කිරීමක් අවශ්‍ය නොවීය. පවුලේ සියලු දෙනාට ම අලුත් ඇඳුම්පැලඳුම් ලැබෙනවා. පරණ හිත් අමනාපකම් අමතකර කරල දාලා ජීවිත අලුතින් පටන් ගන්නවා. අවුරුදු චාරිත්‍ර ළිඳ, මුළුතැන්ගෙය සහ ගෙවත්ත ඇසුරු කරගෙන සිදු කළේ. නමුත් වර්තමානයේ නාගරික ව ජීවත්වන බොහෝ අයට ඇතැම් චාරිත්‍ර අලුත් මුහුණුවරකින් සිදු කිරීමට සිදු වී ඇත. එහෙත් පාසල් හෝ වෙනත් ආයතන ආශ්‍රිතව පැවැත්වෙන අලුත් අවුරුදු චාරිත්‍ර සාම්ප්‍රදායික ක්‍රමයට සිදු කරනවා. එවන් අවස්ථාවක දරුවෙකුගේ සිතක් ක්‍රියාකරන ආකාරය මේ පැදි පෙළෙන් මනාව සටහන් කර ඇත.  
 
මාධවී ශිල්පාධිපති ගයන මේ ගීයෙන් වර්තමානය වෙද්දි කැවුම් කොකිස් වැනි අවුරුදු කැවිලි පෙවිලි සකසා ගැනීමට ඇති දෑතේ හුරුව ගැන ප්‍රශ්න කරනවා. දැන් දරුවො දකින්නේ අවුරුද්දට වෙළෙඳපොළෙන් ගෙනන කැවිලි ජාති. අතීත දරුවන් වගේ මේවා හදන විදිහ දකින්න නෑ. දරුවෝ ඒ වගේ වැඩවලට හවුල් කරගන්නෙ නෑ. ඒ වෙනුවට නවීන ආහාර වර්ග ඔවුන් අත්හදා බලනවා. 
 
හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ 
කාටත් බැරි කොණ්ඩ කැවුම් නැන්ද උයනවා... 
හැඩ කර කර හැඩ කර කර කොණ්ඩෙ ගන්නවා
කොණ්ඩෙ බඳින ගැටිස්සියෝ බලා ඉන්නවා අගේට
බැන්ද කොණ්ඩෙ හැඩ බැලුවට හැඩ කර තාලෙට නැටුවට 
අපේ කාලෙ අයත් එක්ක හැරෙන්නවත් බෑ උඹලට
කොණ්ඩ කැවුම් බැරි වුණාට කේක් උඩින් හැකිය අපට. ..
 
මිනිසා සංස්කෘතික සත්වයෙකි. ලෝකයේ ජීවත් වන සියලු ජීවීන් අතුරින් සංස්කෘතියක් ගොඩනඟා ගත්, සංස්කෘතික සම්බන්ධතා තුළ ජීවත් වන එක ම සත්වයා ද මිනිසා ය. සංස්කෘතික පැවැත්ම රඳාපවතින්නේ පවතින කාල රාමුව තුළ නිරන්තරයෙන්ම සිදුවන වෙනස්කම් මත ය. සාහිත්‍යකරුවා නිර්මාණයෙන් මතු වුව ද ඒ අද්දැකීම අත්විදීම පිළිබද පැහැදිලි චිත්‍රයක් සහෘදයාගේ මනසේ සිත්තම් කරයි.
 
සාහිත්‍යය සහ සංස්කෘතිය යනු ද මිනිසා ජීවත්වන සමාජය යි. මිනිසාගේ වෙනස්වීම් සංස්කෘතියට ද සංස්කෘතියේ ඇති වෙනස්වීම් සාහිත්‍යයට ද බලපාන බව විශේෂයෙන් කිව යුතු නොවේ. සංස්කෘතිය අඛණ්ඩව වෙනස්වෙන බව අවබෝධ කරගත යුතු කාරණයකි. සාහිත්‍යය බිහිවන්නේ සමාජයෙනි. සාහිත්‍යකරුවා සමාජයේ නියෝජනයකි. සමාජය හා සාහිත්‍යය අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් පවත බවත් මානව ජීවිතය සාහිත්‍යය සහ සංස්කෘතිය සමඟ බද්ධ වී ඇති බවත් අවුරුදු සාහිත්‍ය පිළිබඳ විමර්ශනයක දී මෙසේ සාකච්ඡා කළ හැකි ය.
 
අතීතයේ අවුරුදු මිනිසාට එකතු කළේ පුදුමාකාර සතුටක්. නමුත් කෘත්‍රිම ලෙස අටු කොටු පුරවා ගැනීමට, ධනය රැස්කර ගැනීමට මෑතක සිට අපේ රටේ ජනයාට සිදුව තිබේ. මතුපිටින් සතුටට කරුණක් සේ හඟවතත් ඉහත සඳහන් අන්දමට සිංහල අලුත් අවුරුද්ද සඳහා ප්‍රමාණවත් ධනයක් සපයා ගැනීමට නොහැකි බොහෝ දෙනෙකු අද සිංහල අලුත් අවුරුද්ද හමුවේ දුක් සුසුම් හෙළන බව සමාජයේ බොහෝ දෙනකු දන්නා ප්‍රසිද්ධ රහසකි. එසේ ම අදත් “කොහොමද මෙදා අවුරුදු සරු ද?“ යනුවෙන් දසතින් නැගෙන පැනවලට “ඔව්, සරුයි“ යනුවෙන් පවසනුයේ සත්‍ය වශයෙන් ම නොවන බව හැමෝම දන්නවා. ගමෙන් නගරයට ආව හුදකලා අවිවේකි දිවි පෙවතක් ගෙවන අය තමන් උපන් ගම් බිම්වලට ගිහිල්ල මව් පිය නෑදෑයන් හමුවෙලා අවුරුදු සැමරීම සුලබ ව නොවුණත් අදටත් අපට දකින්න පුළුවන්. මේ අවුරුද්ද වෙනුවෙන් සිදුවන රාශි මාරු වීම අපට නොපෙනුණාට ඒ වෙනුවෙන් මිනිසුන් සූදානම් වෙන ආකාරය, අවුරුදු සමරන ආකාරය, අවුරුදු සැමරීම වෙනුවෙන් වෙහෙසෙන ආකාරය අපට ඇහැට දකින්න පුළුවන්. සාහිත්‍යය සහ සංස්කෘතිය යනු ද මිනිසා ජීවත්වන සමාජය ම යි. මිනිසාගේ වෙනස්වීම් සංස්කෘතියට ද සංස්කෘතියේ ඇති වෙනස්වීම් සාහිත්‍යයට ද බලපාන බව විශේෂයෙන් කිව යුතු නොවේ. එනිසාම සංස්කෘතිය අඛණ්ඩ ව වෙනස්වෙන බව අවබෝධ කර ගෙන ජ්‍යෝතිෂ කාරණයට එහා ගිය මේ සංස්කෘතික කාරණය වටහාගත යුතු යැයි  විශ්වාස කරමි.
 
 
 
 
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්‍යාණි විජේසුන්දර
සිංහල අධ්‍යයන අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
 

සිරි දළඳා වන්දනාවට සමගාමීව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාවක් Read Previous

සිරි දළඳා වන්දනාවට සමගාමීව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාවක්

සිරි දළඳා වන්දනාවට සමගාමීව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාවක් Read Next

සිරි දළඳා වන්දනාවට සමගාමීව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාවක්

Realted Post

Leave a comment