කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

 2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා
 කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා 
 කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට වෙනම කොමිසමක් 
 ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කරනවා 
  ජනපති
දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 
2006 වසරේ ඉදි කරන ලද  කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි.
අද විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.
කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
එසේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ඊට පාර්ලිමේන්තුවේ කිසිවෙකු එරෙහි නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය
2017 වසරේ යහපාලන රජය යටතේ ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වුණා. නමුත් අද එය සාර්ථකව නිමා කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. 
අද කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මේ ප්‍රදේශ දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. 
ඒ වගේම මෙම ප්‍රදේශයේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙනවා. කිලිනොච්චියේ ද එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා. 
මෙම ප්‍රදේශවල තිබෙන ඉඩම් ගැටළු මෙන්ම අතුරුදන් වු පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. 
අද විවෘත කළ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ විශිෂ්ට කාර්යයක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ පියවර රැසක් අප මේ වන විට ගෙන තිබෙනවා. 
අපේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම් පදනම් කර ගනිමිනුයි. ඒ නිසා අප දැන් කාන්තාවන් වෙනුවෙන් නව කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 
කාන්තාවන් බල ගැන්වීමේ පනත  යටතේ කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කරනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද කෙටුම්පත මෙම ජූනි මාසය අවසානයට පෙර සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එම කෙටුම්පත දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර එම කටයුතු අවසන් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට කිසිවෙකු විරුද්ධ වනු ඇතැයි මා සිතන්නේ නැහැ. 
කාන්තා ආයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප  කැපවී කටයුතු කරනවා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානවලදී උසස්වීම්, ස්ථාන මාරුවීම්වලට අදාළව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි. 
කාන්තා අයිතිවාසිකම් නීතිගත කිරීමට  අප අපේක්ෂා කරන අතර ඒ සඳහා එම නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නිවසේදී කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. මෙම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත් මේ වන විටත් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත් කියවා බලන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අප අපේක්ෂා කරනවා.  
  • ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා
අද කිලිනොච්චියේ සහ ඊයේ යාපනයේ විවෘත කෙරුණු ගොඩනැඟිලි මඟින් ජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව තිබෙනවා. මෙම පහසුකම් ලබා දීම පිළිබද උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම යාපනය රෝහල ජාතික රෝහලක් බවට උසස් කිරීමේ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා. 
 2005 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එතුමාට සහයෝගය ලබා දුන්නා නම් එයින්  දෙමළ ජනතාවට විශාල වාසියක් අත්වෙන්න තිබුණා.පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහි වගකීම භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව මුහුණ දුන් පෝලිම් යුගය , භාණ්ඩ හිඟය, ඉන්ධන හිඟය ඇතුළු ගැටලුවලට කෙටි කාලයක් තුළ විසඳුම් ලබා දුන්නා. අප එතුමාට තවත් කාලය ලබා දී එතුමා සමඟ ඉදිරියට ගියහොත් මේ රට ගොඩනැගීමට හැකියාව තිබෙනවා. 
  • උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය
මීට වසර දෙකකට පෙර රටේ ජනතාව ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියදී ඛේදජනක ලෙස සමහරු මිය ගියා. ඔවුන්ගේ ජන ජීවිත කඩා වැටුනා. මෙවැනි තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් රෝහල් ගත කිරීමටත් සිදුවුණා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම පුවත ඇසීමෙන් මහත් කම්පාවක් ඇති වුණා. රටේ පවතින දරුණු තත්ත්වය හමුවේ අපගේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් අපගේ සුවදුක් විමසා සිටියා. නමුත් අද අපි ඒ අතීතය අමතක කර තිබෙනවා. 
අද රටට අවශ්‍ය වන්නේ ලෝකය පිළිගත් නායකයෙක්. වත්මන් ආර්ථික අර්බුදය අභ්‍යන්තර ප්‍රයත්නයන්ගෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍යයි. අපේ වත්මන් නායකයාට තිබෙන ගෝලීය පිළිගැනීම සහ නායකත්ව ගුණාංග නිසා මේ අර්බුදයෙන් රට යහමගට ගැනීමට සමත් වී තිබෙනවා. 
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට අප ස්තුතිවන්ත වෙනවා.  සෞඛ්‍ය සේවාව ඕනෑම ප්‍රජාවක පැවැත්මේ මූලික අංගයක් වන අතර, මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් කැපවු සියලුදෙනාට මගේ අවංක ස්තූතිය පිරනමනවා. 
සෞඛ්‍යය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර රජයේ බලය සම්පූර්ණයෙන්ම බෙදා හැරිය යුතු ක්ෂේත්‍ර දෙකක් බව අප දන්නවා. එසේම අර්ථවත් බලය බෙදා හැරීමක් පිළිබඳ අප උනන්දුවකින් කටයුතු කරන බවද සඳහන් කළයුතුයි. ජනතාවට ඉඩම් අයිතිය ලබාදී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිතුමා දරන උත්සාහයට උතුරේ ජනතාවගේ ප්‍රාණමය එතුමාට හිමි වෙනවා. 
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර් ථන් මහතා
ප්‍රදේශයේ කාන්තාවන්  වෙනුවෙන් විශේෂ  ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙය ඉතා ප්‍රමිතියෙන් උසස් ව්‍යාපෘතියක් බව සඳහන් කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, වත්මන් ජනාධිපති ලෙසත් මෙම කටයුතු වෙනුවෙන් සිදු කරන කැපවීමට මම ස්තුතිවන්ත වෙනවා.
  •  ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් මහත්මිය
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම පිළිබඳ පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. 
මෙම ව්‍යාපෘතිය නෙදර්ලන්තයේ VAMED සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් ලෙස පෙන්වාදිය හැකියි. 2018 ජුනි 12 වන දින විධිමත් කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල නවීනතම රෝහල් හතරක් ඉදිකිරීමට සැලසුම් කළා. 
ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදලින් 75%ක් නෙදර්ලන්ත රජයෙන් පිරිනමනු ලබන සහන ණයක් ලෙසත් ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙසත් ලබාදීමට කටයුතු කළා. 
පසුව ඇතිවූ COVID-19 වසංගත තත්ත්වය සහ 2022 දී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් නෙදර්ලන්ත රජයේ ප්‍රදානය, මුළු මුදලින් 35%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවද සඳහන් කිරීමට කැමතියි. 
පූජ්‍ය පක්ෂය ද, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ජනාධිපති මාධ්‍ය අංශය
2024-05-25

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Previous

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

යකඩ ගැහැනියක් වෙන්න... Read Next

යකඩ ගැහැනියක් වෙන්න...

Realted Post

Leave a comment