දක්ෂතාව හොයාගෙන තමන්ගෙම ගමනක් යන්න
ලෝකේ කොහේහරි අපටත් ඉඩක් තියෙනවා
ලෝකයේ එන්න එන්නම දියුණුවෙන වගේම මිනිස්සු හුඟක් ආදරය කරන විෂයක් තමයි විලාසිතා කියන්නේ. ඒ නිසා විෂයක් විදියට විලාසිතා නිර්මාණය පුළුල් පරාසයක විහිදී ගිය විෂයධාරාවක්. කාලයට ගැළපෙන සාර්ථක විලාසිතා නිර්මාණවේදියෙකුවීම ලේසි පහසු කටයුත්තක් නම් නොවෙයි. ඒ වෙනුවෙන් ඉගෙන ගන්න, දැනුවත් වෙන්න දේවල් බොහෝමයක් තිබෙනවා. ඒ ගැන උපාධියක් හදාරා විෂය ගැන සම්පූර්ණ දැනීමක් ලැබූ පමණින් ඔහු සාර්ථක විලාසිතා නිර්මාණවේදියෙක් වෙන්නේ නැහැ. ෆැෂන් කියන්නේ හැමෝම ආදරය කරන උන්න්දුවක් දක්වන විෂයක් වගේම මේ වන විට මේ ක්ෂේත්රය වෘත්තිය කරගන්න පිරිස වැඩි නිසාම, ඒ ගැන කතාබහ කරන්න අපි හිතුවා. විලාසිතා නිර්මාණකරුවෙකු කියන්නේ කවුද? හොඳ විලාසිතාවක් බිහිවන්නේ කොහොමද? මේ ගැන කතාබහ කරන්නේ වෘත්තීය නිපුනත්වයක් ඇති ප්‍රවීණ ඇඳුම් මෝස්තර ශිල්පී ප්‍රණීත් රණවීරයි.
ලෝකය කියන්නේ දවසින් දවස අලුත් වෙන තැනක්. තරුණයින් කියන්නේ ඒ වෙනස්වෙන ලෝකය අලුත් අදහස්වලින්, නව නිර්මාණවලින් සරසන පිරිසක්. ඒ නිසාම තමන්ගේ වෘත්තිය තෝරා ගැනීමේදී, සාම්ප්‍රදායික තලයෙන් බැහැරව සමාජයට වැඩිපුරම අවශ්‍ය දේ, කාලයට ගැළපෙන දේ, සහ ඉදිරියේදී තමන්ගේ වෘත්තියට හිමිවන තැන ගැන අවබෝධයකින් තෝරාගැනීම් කරන්නට හැකි නම් සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට අසීරු නැත.
අපි මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කතා කරමු
මම වෘත්තියෙන් ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ගම මාතර. ගමෙන් කොළඹට ඇවිත් ජීවිතේ වෙනස් කරගත් කෙනෙක්. උසස් පෙළ කළේ විද්‍යාව විෂය ධාරාවෙන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මට හිතුණා මගේම වෘත්තියක් කළොත් හොඳයි කියලා. එහෙම තෝරාගද්දි මම බැලුවේ මම තෝරාගන්නා රැකියාවට ඉදිරියේදී තිබෙන සමාජ තත්ත්වය. විලාසිතා කියන්නේ දවසින් දවස ඉල්ලුම වැඩිවෙන දෙයක් වගේම මම පුංචි කාලේ ඉදලම ආස කරපු විෂයක්. ඒ නිසා මම මේ වෘත්තිය තෝරාගත්තා. විලාසිතා නිර්මාණවේදය උපාධියක් කළේ ඊ්ට පස්සේ. අද වන විට මේ වෘත්තියේ හොඳ ගමනක් ඇවිත් තිබෙනවා. මේ ක්ෂේත්රය තරුණ අයට හොඳ තෝරා ගැනීමක්.
මේ වෘත්තිය ඇතුළෙ මේ වනවිට සාර්ථක ගමනක් ඇවිත් තිබෙනවා. ඒ අනුව 2021 මිස් ශ්‍රී ලංකා ව(ර්)ල්ඩ්, 2021 මීළඟ ටොප් මොඩල්, ටීන් ශ්‍රී ලංකා 2021, හිරු ටීවී අවුරුදු කුමරා කුමරිය 2022, ක්න් අවුරුදු කුමරා කුමරිය 2022, යන උත්සවවල නිල මෝස්තර නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා සහයෝගීතා පදනමෙන් මාව ඇගයීමට ලක්කරලා දේශ ශක්ති ලංකාපුත්‍ර මෝස්තර නිර්මාණ කලාශූරී” කියන ගෞරව නාමයද ලබා දුන්නා.
දක්ෂ, නිර්මාණශීලී ඇදුම් නිර්මාණ ශිලිපියෙක් කියන්නේ මොනවගේ පුද්ගලයෙක්ද?
මෑත කාලයේදී නම් ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන් බොහෝ පිරිසක් දැකගන්න පුළුවන්. ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් කියන්නේ තවත් කෙනෙක් ලස්සන කරන, ලස්සන දකින්න පුළුවන් නිර්මාණශීලී ඇසක් තිබෙන පුද්ගලයෙකුට. මෙය විෂයක් විදියට ඉගෙන ගත් පමණින්, ආකෘතියකට ඇඳුමක් කපා මහපු පමණින් ඔහු මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙකුගේ ඇඟේ හැඩය, වර්ණය, අනුව එම තැනැත්තාට ගැළපෙන්න වගේම, ඔහුගේ ප්‍රතිරූපයට හානියක් නොවෙන්න, තිබෙන පෙනුම තවත් වැඩිකර පෙන්වන්නට හැකිවෙන ලෙස ගැළපෙනම නිර්මාණය කරන්න ශිල්පියෙක් දක්ෂ වෙන්න ඕනෑ. ඇඳුමක් නිර්මාණ කිරීම සම්බන්ධයෙන් සෑම අතින්ම දැනුම තියෙන්න ඕනෑ. එහෙම නැතිව මේ වෘත්තියේ දක්ෂයෙක් වෙන්න අමාරුයි.
මේ වෘත්තියේ ප්‍රවීණයෙක් වෙන්න නම් නිර්මාණ ශිල්පියෙක් විදියට එකතු කරගත යුතු දේවල් මොනවද?
මේ වෘත්තිය දවසින් දවස අලුත් වෙන වෘත්තියක්. ඒ නිසා නිර්මාණශීලී වෘත්තිකයෙක් විදියට ලෝකයේ විලාසිතා ගැන හොඳ අවදියකින් ඉන්න වෙනවා. අලුත් දේවල් හොයන්න, අත්හදා බලන්න වෙනවා. රටින් රටට, ආගම්, සමාජ තත්ත්වයන්, සංස්කෘතීන් අනුව විලාසිතා විවිධාකර වෙනවා. ඒ ගැනත් ශිල්පියාට හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. කොහොම වුනත් මේ වෘත්තිය සෑම කෙනකුටම ගැළපෙන්නේ නැහැ. ඔහුට හැකියාවක් තියෙන්නත් ඕනෑ. වර්ිවලදී වුනත් මූලික වර්ණ කියන කොටස පමණක් අදාල වෙන්නේ නැහැ. නම්වලින් කියන්න බැරි වර්ණ දහස් ගණනක් තියෙනවා. ඉතින් ඒ වර්ණ ගළපා ගැනීම් ගැන ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් සතුව හොඳ අවබෝධයක්, හැදෑරීමක් අවශ්‍යයි. ප්‍රධාන දේ තමයි මේ වෘත්තිය ඉගෙනගෙන අවසන් කරන්න බැහැ. දවසින් දවස අලුත්වෙන කලාවක් නිසා ඉගෙන ගන්න දේවල් හුඟක් තිබෙනවා. ඉතින් සාර්ථක ගමනක් යන්න නම් මෝස්තර නිර්මාණ ශිල්පියෙක් මේ ගමන යන්න ඕනෑ. එහෙම වුනොත් තමයි ඔහුගෙන් හොඳ විලාසිතාවක් නිර්මාණය වෙන්නේ.
නිර්මාණශීලී හැකියාවක් ඇති තරුණ තරුණියන් ඕනෑ තරම් මේ රටේ සිටිනවා. නමුත් සමහරු තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්නේ නැතිව දියුණුවෙන්න වෙනත් ක්‍රම සොයනවා. අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ අනෙක් රටවලත් විශාල පිළිගැනීමක් තිබෙන මෝස්තර නිරූපනය කියන්නේ උසස් වෘත්තියක්. ඒ නිසා මේ වෘත්තියට හොඳ සමාජ පිළිගැනීමක් වගේම රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙනවා.
නයනා උදයංගනී
Leave a comment