රූපලාවණ්‍ය එකලු කළ පහන් සිල නිවී ගිය හැටියක්
"දුකෙන් ඉපිද ජීවිතය දිනූ
ප්‍රේම් ශ්‍රී හෙවත් ප්‍රේමසිරි හේවාවසම්."
"කටුමැටි ගහපු පොල් අතු සෙවිලි කළ ගොම මැටි ගාපු ගෙයක් තමයි අපිට තිබුණේ.ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා රබර් වත්තක රොටි කරකවන්න ගියා.මට හිටියේ අක්කලා දෙන්නයි,අයියයි,නංගියි.මට අවු 04 දී අපේ තාත්තා නැතිවුණා.එදා ඉදන් අපෙ අම්මා නොවිදිනා දුක් වින්දා අපිව උස්මහත් කරන්නන"
එදා ප්‍රේමසිරිගේ කුඩා කළ ගැන මෙදා ප්‍රේම් ශ්‍රී මතකය අවදි කොට තිබුණේ එලෙසය.
"
එකපාරක් මම ඕලෙවල් කරලා එලෙවල් කරන්නවිදියක් නැතුව ඉද්දී අපේ ලොකු අම්මා කෙනෙක් අපේ ගෙදර ආවා.දරුකමට හදාගන්න කියලා මාව ඒ ගෙදර එක්කගෙන ගියා.ඒත් මට කරන්න වුණේ වැඩකාරකම"
මැහුමට තෝතැනක් වූ ඒ ගෙදර රෙදි ගෙන ඒමට පාන්දර පමුණුවට දෙපයින් ම ගැටුවේ මේ කොලු ගැටයාය.පමුණුවේ බෝ සමිදු අදටත් ඒ දින මතක් කරනවා වන්නට ඇත.නමුත් ඔහු මේ සියලු විදුමන් දුටුවේ ඔහුගේ ජීවිතයේ මල් ඇතිරූ මාවතක් ලෙසින් ය.
"
අදටත් ඒ දෙවල් මතක් වෙද්දි ඇස් දෙකට කදුළු උනනවා.ඒත් මම ඒ දේවල් ගැන දුක් වෙන්නේ නැහැ.අදටත් මට පයින් යන්න පුළුවන්.බිම නිදාගන්න පුළුවන්.පොල්සම්බලුයි බතුයි කාලා ඉන්න පුළුවන්.අද ගොඩක් අය ඒ දුක විදලා නැහැ.රෝස මල් යහනාවක්මනේ හොයන්නේ.දුක දන්න මිනිහට ජිවිතේ සාර්ථකත්වයට අනිවාරෙන්ම යන්න පුළුවන් මම දකින විදියට."
පොළවේ පය ගසා ඒ මිනිසා ඒ දෙඩූ වදන් පමණක් මිහිමත ඉතිරි කොට ඔහු අද නික්ම ගොසිනි.ජීවිතේ පෙරයම ඔහුට දුක ඉගැන්නූවේය.ජීවිතයේ පැසුළුයම ඔහුට සාර්ථකත්වය එළි කරදුන්නේය.එළි කර දුන්නාට වඩා ඔහු එය එළිකරගත්තේය.නමුත් ඔහු මැදියමට ළං වුවා පමණි.හැට හතර වියැති ඔහු මෙලොව හැර ගියේය.
වැඩකාරකමට රෙදි කර ගසා ගෙන ගිය ඔහු අහම්බෙන් හැඩකාරකම සිය උරුමය කොට ගත්තේය.ජාතික තරුණ සේවා සභවෙන් සිය කුළුදුල් කලාව උපද්දවා ගත් ඔහු රූපලාවණ්‍ය හා කේශ කල්‍යාණ ශිල්පයට පැමිණ ලෝකය ජයගත් මිනිසෙකු ලෙස ලෝකය දකින්නට හැකි වීම පිළිබද උදම් ඇනූ හ.ඔහු ඒ පිළිබඳ වරෙක පවසා සිටියේ මෙවැන්නකි.
"
මම මහරගම පමුණුවේ ලොකු අම්මලගේ ගෙදර ඉන්න කොට මට අවස්ථාවක් ලැබෙනවා ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජයට එකතු වෙන්න .ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා තමයි සමිතියට යන්නෙ.ලේකම් දක්වා ගියා ගොඩක් අය අදුර ගත්තා.එතනදි අපිට අවස්ථාවක් ලැබුණා නායකත්ව පුහුණු වැඩසටහනකට ජපානේ යන්න ."
පොල් ගස් රබර් සෙරෙප්පු දෙක පැළඳි සිංහල පමණක් කතා කළ ප්‍රේමසිරි ජපන් ගියේ එසේය.එහිදී ඕනම කට්ටක් කෑමේ හැකියාවක් ඔහු සතුව තිබුණි.ඔහු සමඟ ජපන් ගිය අනෙකුත් දාහත්දෙනා ද, ඔහු ද රැකියාවක් ඉල්ලා සිටියද ඔවුන්ට ලබාදුන් වීසාවට රැකියාවක් ලබා දීමට නොහැකි නිසා ඔවුන් සදහා පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන්නට යෙදුණි.පාඨමාලාව තෝරා ගැනීමට තුණ්ඩු උඩ දැමිනි.Hair and Beauty ප්‍රේමසිරිගේ තුණ්ඩු ව විය.නමුත් ඔහු බලාපොරොත්තු වූයේ computer science ය. දෛවය අරුමපුදුමය.ජපානයේ කිමෝනව අන්දන ආකරාය ඉගෙන ගෙන මෙහි පැමිණි ඔහු අම්මාගෙන් සාරිය අදින සැටි අසාගෙන ගොස් පන්තියේ ඉගැන්නුවේ ය.අවුරුදු 05 ක් මෙලෙස රූපලාවණ්‍ය පන්ති පැවැත්වූ ප්‍රේමසිරි තමාගේම රූපලාවණ්‍යාගාරයක් ඇරඹුවේ ඉන් පසුවය.පිරිමියෙකු කාන්තාවක් හැඩගැන්වීම විහිළුවක් වූ කාලයක ජීවිතේට අහලවත් නැති විෂයක් ඔහුගේ ජීවන සරිය බවට පත්වූයේ එලෙසය
අවු41ක් පමණ එම ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් අති දක්ෂ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් වගේම ශිල්පිණියන් ලොවට දායාද කිරීමේ නොමසුරු උත්සහයක ඔහු යෙදුණේ කිසිදු ගුරු මුෂ්ටියක් නොතබාය.මනමාලියන් එළි දැක්වීම්,රූපලාවණ්‍ය පිළිබඳ වැඩමුළු බොහෝමයක් ඔහු විසින් සිදුකොට තිබුණි.
නමුත් ඔහුට අරමුණක් තිබුණි .ඒ ගමේ සැලූනය ද නගරයේ සැලූනය ද එකක් කිරීමය.සිරිකත තරුණි පුවත්පත් හරහා ලොවටම සිය දැනුම විදාලූ රූපලාවණ්‍ය පහන් සිළක් එලෙස නිවී ගිය ද ඔහු නැමැති පහන් සිළෙන් දැල් වුණු දස දහස් ගණන් පහන්සිළු තවමත් හුස්ම ගනු ඇසේ.එය වනාහි ඔහුගේ සදාතනික තෘප්තියය .වේතනය ය.
සටහන -නෙත්මි තෂාරා
Leave a comment