මේ සතිය ඔබට - ඔක්තෝබර් 21 සඳුදා සිට ඔක්තෝබර් 27 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

21 සඳුදා - පෙ:ව: 07. 27 සිට පෙ:ව: 08. 57 දක්වා
22 අඟහරුවාදා - ප:ව: 02 .57 සිට ප:ව: 04. 27 දක්වා
23 බදාදා - පෙ:ව: 11- 57 සිට ප:ව: 01. 27 දක්වා
24 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 27 සිට ප:ව: 02. 57 දක්වා
25 සිකුරාදා - පෙ:ව: 10. 27 සිට දහවල්: 11. 57 දක්වා
26 සෙනසුරාදා - පෙ:ව: 08. 57 සිට පෙ:ව: 10. 27 දක්වා
27 ඉරිදා - ප:ව: 04.27 සිට ප:ව: 05- 57 දක්වා
  • මේෂ - අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට

මේ සතියේ අවසන් දින හතරට වඩා මුල්දින තුන තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඉඩ ඇත.  මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියා කරන්න. අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර සමස්ථයක් ලෙස ඔබට විවිධ ආදායම් මාර්ග එළිපෙහෙළි වන සතියක්ද වේ. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු  යනාදිය මේ සතියේ විසඳේ. එහෙත් උරුම හිමිකම් අයිතිවාසිකම් මෙන්ම පදිංචිය පිළිබදව ගැටලු මතුකරයි.

  • වෘෂභ - රැකියා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රගතියක්

කරන කියන අරඹන වැඩ වලින් ඵල ප්‍රයෝජන සැලසෙන්නේය.  ඔබ පහසුවෙන් මිල මුදල් උපයන්නට උත්සාහ කරන උනන්දුවන සැටියක් පෙන්නුම් කරයි. තමාගේ දක්ෂතා මතු වේ. විශේෂයෙන් මේ සතියේ මුල් දින පහ තුළ ඔබගේ ඉපැයීම් මාර්ග, ජීවනෝපාය කටයුතු අධ්‍යාපන කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකිවනු ඇත. එසේම ඔබ තමා නියුතු රැකියා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සිත වැඩි වශයෙන් යොමු කරයි.

  • මිථුන - අවශ්‍යතා පිරිමැසෙයි

 මේ සතිය ශුභදායී අයුරින් ගතවන අතර එහිදී ඔබට තම අවශ්‍යතා පිරිමසා ගැනීමට අතට මිල මුදල් ලැබේ. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම කෙරෙහි සිත යොමුවන සතියකි. පොදුවේ ඔබට මේ සතිය පුරාවට අධික ගමන් යෙදුණත් වෘත්තීය ජීවිතයේ අඩුපාඩු පිරිමසා ගන්නට පුළුවන් වේ. තම දෛනික කටයුතු හා ජීවන පරිසරය පිළිබඳව බලපෑ අසහනකාරී හැඟීම්, අවිනිශ්චිතතා, පහව යන නිසා ඔබට තම මානසික සංයමය ද රැක ගැනීමට හැකි වේ. සතිය ගතවීමට පෙර හිතවතකුගෙන් ආදර සංග්‍රහයක් ද ලැබේ. මෙය අවශ්‍යතා පිරිමැසීමට කෙසේ හෝ මිල මුදල් ලැබෙන සතියකි.

  • කටක - ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද

කටක ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ තම දිවියේ දියුණුවට කටයුතු සැලසුනත් මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ මෙන්ම ස්ථාන තනතුරු නිලතල ලාභ ප්‍රයෝජන හා වරප්‍රසාද ගෙනදුන්නත්, විශේෂයෙන් කිවයුතුවන්නේ සතිය ආරම්භක දිනතුන ඔබට සැකයෙන් අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන්නටත් සිදුවේ. පොදුවේ ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවන දෑ සිදුවේ.  ඒත් සමගම ඔබට මෙම සතිය තුළ විශේෂ ත්‍යාගයක් හෝ උදව්වක් ලැබේ. සුඛෝපභෝගී දිවියට අවශ්‍ය දෙයක් ද ලැබේ.

  • සිංහ - දියුණුව පිළිබඳ අලුත් සැලසුම්

 ධෛර්යයෙන් වැඩ කරයි. එසේම ඔබට මෙය ආත්ම ශක්තියෙන් කටයුතු කිරීමටත් හැකි වන සතියකි. මුදල් පිළිබඳව පැවැති බලාපොරොත්තුවක් ඉටු වේ. ඊට සම්බන්ධ සැලසුම් යනාදිය ද සාර්ථක වේ. රැකී රක්ෂා කටයුතුවල නිරත වන ඔබට දියුණුව පිළිබඳ අලුත් සැලසුම් ඇති වේ.  රැකියාවට හා රාජකාරියට රහස් සතුරන්ගෙන් බලපෑ සාධකයක් ද මඟ හැරී යයි. කරගෙන ආ කටයුතුද අලුතෙන් භාරගෙන හෝ ආරම්භ කර හෝ පටන් ගන්නා කටයුතුද වැඩි දියුණුවට පැමිණෙයි.

  • කන්‍යා - සිත් කලකිරීමක් පහව යයි 

විශේෂයෙන් ඔබ අරඹන හා නිරත වන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි.  වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදා වේ. රැකියාවෙන් උසස් වීමට කටයුතු පිළිවෙළ වේ. තරග විභාගවලින් ජයග්‍රහණද අත් වේ. දුර බැහැර ගමන් බිමන්වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජන අත්වන සතියකි. සිත් කලකිරීමක් පහව යයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. දියුණුවට කටයුතු සැලසේ. සම්පත් ලාභ, මිල මුදල් ලාභ, අලංකාර වස්තු ලාභ ,රෙදිපිළි ඇඳුම් පැලඳුම් ලාභ ලැබෙන සතියකි.  ආදර බන්ධනවලින් ප්‍රීතිය ද සැනසීමද ඒවා දියුණුවට යාමද ස්ථිරවීමද සිදුවෙයි.

  • තුලා - රාජකාරි කටයුතු ක්‍රමවත් වෙයි

බොහෝ විට ඔබගේ රැකියා ක්ෂේත්‍රයේ මතු දියුණුවට අමතර වැඩ කොටසක් ද මෙහිදී සැකසෙන්නේය. ඔබගේ සිත තුළ දින කිහිපයක් තිස්සේ පැවති බලාපොරොත්තුවක් ඉටුවෙයි. අනපේක්ෂිත මුදල් අතට ලැබේ. රාජකාරි කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකි වන්නේය. ව්‍යාපාර කටයුතු සැලසුම් කළ පරිදි කරගෙන යා හැක. වෙළඳ ව්‍යාපාරික කටයුතුවලින් දියුණුව හා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. සාමාන්‍යයෙන් දියුණුවට හොඳ සතියකි.

  • වෘශ්චික - ආයෝජන අවස්ථා ගොඩනැගෙයි

මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව අතට ලැබෙන මුදල් බලාපොරොත්තු රහිත වියදම් යෙදීමෙන් නාස්ති වී යයි. බොහෝ විට මෙම සතියේ සමාජයේ ආශ්‍රය කරන අය සමග ඇතිවන ගනුදෙනු කථාබහ ආදියේදී නොසැලකිලිමත්කමින් නොයෙක් කරදර පැටලිලි ඇතිකර ගනී. එනිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ.

  • ධනු - නව මිත්‍ර සම්බන්ධතා

මේ සතිය සුබ අසුබ වශයෙන් ගතවනු ඇත. සතිමැද දින තුන කරදර බාධා ප්‍රශ්නකාරී ගති මතුකරයි. කෙසේ නමුත් මෙය ඔබ ආරම්භ කරන කටයුතු හා කරගෙන ආ කටයුතු දියුණු කර ගත හැකි සතියකි.  මෙය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින අයට නව ව්‍යාපාරයන් සඳහා ආයෝජනය කිරීමට මුල් දින තුන තුළ ඉඩ සැලසේ. එසේම මෙම දින තුන තුළ නව මිත්‍ර සම්බන්ධතා නිසාවෙන් ඔබගේ කටයුතු වලට නොයෙක් ආකාරයේ උදව් උපකාර ලැබේ.

  • මකර - හිතවතුන් සමග විනෝද ගමන්

සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතියේ මුල් දින පහ තුළ වැදගත් කටයුතූ කිහිපයක් සාර්ථක කරගැනීමට පිළිවන. පොදුවේ ඔබට මෙම සතිය පැහැදිලි ශුභ ඵල රැසක් ගොඩ නැගේ. උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින් කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට හැකි වන්නේය.  ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම සතිය ශුභදායක වේ. මිත්‍රයන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාරදද ලාභද තෑගිද ලැබෙන සතියකි. හිතවතුන් සමග විනෝද ගමන් යාමට ද අවස්ථා සැලසේ.

  • කුම්භ - දෛනික වැඩ සැලකිල්ලෙන් කරන්න

ඔබට මේ සතිය තරමක් ශුභඵල හීන බැවින් ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ඔබ මේ දිනවල මිල මුදල්වලට මුල් තැනක් නොදී කටයුතු කරන නිසා තමාට ලැබෙන ආදායම අඩුවී යයි. මෙය ඔබ යුතුකම් ඉටුකිරීමට හා වෙනත් වැඩවලට සම්බන්ධ වීමටත් යොමුවන සතියක් නිසා ගෙදර දොර පවුලේ අයගෙන් හා රේමවන්තයා ,ප්‍රේමවන්තියගේ චෝදනා අපවාදයන්ට ලක්වන අවස්ථා ඇත. එනිසා තමාගේ රැකියාව ව්‍යාපාර මෙන්ම තමාගේ වැඩවල නියුතුවන්ට උත්සහ ගන්න.

  • මීන - සිත නිතර චංචල නොකර ගන්න

තමා නිරත රැකියා ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළට උනන්දුවෙන් වගකීමෙන් යුතුවම කරන්න. ඒවායේ නියැලෙන්න. නැතහොත් මේවා අවුල් සහගත වනු ඇත. කල්ගත වූ විවාහ යෝජනා මෙන්ම සම්මුඛ පරීක්ෂණාදී කාර්යයන් සඳහා දින කාලවකවානු නියමවීමත් පෙම් කරන්නන් අතර පසුගිය දිනවල හටගෙන තිබූ අමනාපකම් ඉවතලා සමගිය ඇතිවීම අවසන් දින තුන තුළ ඉටුවීම පෙන්වයි.  සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද වල පැටලීමත් මෙහිදි නුසුදුසුයි.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

පාසැල් යන ඔබට Read Previous

පාසැල් යන ඔබට

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට  මම හරි ආසයි - Radin Randiv Read Next

සිංහබාහු චිත්‍රපටයේ චරිතයට මම හරි ආසයි - Radin Randiv

Realted Post

Leave a comment