මේ සතිය ඔබට - සැප්තැම්බර් 30 සඳුදා සිට ඔක්තෝබර් 6 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

30 සඳුදා - පෙ:ව: 07. 29 සිට පෙ:ව: 08. 59 දක්වා

01 අඟහරුවාදා - ප:ව: 02 .58 සිට ප:ව: 04. 28 දක්වා

02 බදාදා - පෙ:ව: 11- 58 සිට ප:ව: 01. 28 දක්වා

03 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 28 සිට ප:ව: 02. 58 දක්වා

04 සිකුරාදා - පෙ:ව: 10. 28 සිට දහවල්: 11. 58 දක්වා

05 සෙනසුරාදා - පෙ:ව: 08. 58 සිට පෙ:ව: 10. 28 දක්වා

06 ඉරිදා - ප:ව: 04.28 සිට ප:ව: 05- 58 දක්වා

  • මේෂ - හිතවතෙකුගේ ආධාරයක්

ඔබට මෙම සතියේ මුල් දින දෙකට වඩා අවසන් දින පහ තුළ හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙල වේ. උරුම හිමිකම් ප්‍රශ්න, හෝ යම් යම් අය සමග කළ ගනුදෙනු හේතුවෙන් ඇතිවන ප්‍රශ්න යනාදිය හේතුවෙන් වන්නට ගිය ගැටලුවක් ද නිරාකරණය වේ. මතු යහපත වෙනුවෙන් අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. ඔබ මෙම සතිය තුළ සෑම විටම අලුත් සිතුම් පැතුම් ඔස්සේ අලුත් යමක් ක්‍රියාත්මක කිරීමට යොමු වේ.

  • වෘෂභ - සුළු සුළු ද්‍රව්‍ය ලාභ

මෙම සතියේ මැද දින තුන තුළ සතුරන් නිසා සිතට බය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමටත් එහිදී සිදු වේ. ස්ථාන හෝ කටයුතුද වෙනස් විය හැකියි. සෙසු දිනවලදී නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ලැබෙන්නට පුළුවන. වැඩිහිටි ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමටද අවස්ථාවක් උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට වැඩි කාලයක් යොදවන බවක් පෙනෙයි.  ප්‍රභූ ඇසුරකට අවස්ථාව සැකසෙන සතියකි.

  • මිථුන - හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක්

ඔබට මෙය ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබට මෙම සතියේ මුල් දින තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙස කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න. අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙන දේ. තමන්ට ඉතා හිතවත් ප්‍රයෝජනවත් හිතවතුන්, හිතවතියන් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය එක්තරා ප්‍රමාණයකින් වැය කිරීමටත් සිදුවෙයි. හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලට යොමුවීමට මෙය ශුභදායක සතියක් වේ.

  • කටක - ස්වාමි පක්ෂයේ ප්‍රසාදය

සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට හැකි සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභ ප්‍රයෝජන ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාර ආදියේ  කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්  හැකියාව ලැබේ. කෘෂිකාර්මික කටයුතු, වෙළඳාම, බ්‍රෝකර් කටයුතු මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැළෙන්නන්ට මේ සතිය  සුබය.  

  • සිංහ - රැකියාවේ තනතුරු වෙනසක්

ඔබට මෙය ශුභඵලදායී අයුරින් ගතවන සතියකි. තමා අදහස් කළ පරිදි, සැලසුම් කළ ආකාරයට දෛනික වැඩ කටයුතු කරගෙන යාමට මිල මුදල් අතට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්, විවේකය විනෝදය ගැන නොබලා ඉපැයීම් මාර්ග කෙරේ වැඩිපුර යොමු වේ.  රැකියාවේ තනතුරු වෙනසක් සම්බන්ධ කටයුත්තක් සිදුවන අතර පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ට අමතර වගකීම් සහගත අවස්ථාත්ගොඩනැගේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන සතියකි.

  • කන්‍යා - උසස් අයගේ ආධාර උපකාර

තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. දූ දරුවන්ගේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වයක් පහවී ගොස් සැනසිලිදායකබවක් ගොඩනැගේ. විශේෂයෙන් දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට  පුළුවන.

  • තුලා - අවශ්‍ය දෙයට මුදල් ලැබේ

ඔබට මෙම සතියේ මුල් දින තුනත් අවසන් දින දෙකත් ශුභඵලදායී අයුරින් ගත වේ. අධ්‍යාපන, රැකියා ව්‍යාපාර මෙන්ම ඉපැයීම් මාර්ගවලට අදාළව පසුගිය දිනවල බලපෑ දුෂ්කර තත්ත්ව කිහිපයක් සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. යටපත්ව පැවති දක්ෂතා ඉස්මතු වේ. සිත සන්සුන්ව තබා ගැනීමටත්, කරන කියන දෙයින් ලාභ ප්‍රයෝජන සලසා ගැනීමටත් හැකිවන තත්ත්වයට කරුණු සැලසෙයි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට මුදල් ලැබේ.

  • වෘශ්චික - විනෝද හෝ සංචාරක ගමන්

මුල් දින පහේදී කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල අත්වීම නිසා සිතේ සතුට ප්‍රීතිය ඇති කරයි. ප්‍රයෝජනවත් හිතවත් ඥාති මිතුරු සබඳකම් ඇතිවේ. විශේෂයෙන් ඔබ තමන්ගේ පරිපාලන වගකීම් යටතේ පවත්නා කටයුතු සාර්ථක කර ගැනීමට මහත් ඕනෑකමකින් උනන්දුවකින් ක්‍රියා කරයි. විනෝද හෝ සංචාරක ගමන්, ප්‍රීති උත්සව අවස්ථා යනාදියට සහභාගිවීමටත් ඉඩ ලැබේ. මුල් දින දෙකට වඩා අවසන් දින පහේදී ඔබට අධ්‍යාපන, රැකියා, විවාහ වැනි කේෂේත්‍රවල අනාගතයට වැඩදායී සැලැස්මක් සකස්කර ගැනීමට හැකියාව ද ලැබේ.

  • ධනු - තනතුරුවල වෙනසක්

රැකියාවේ හා ඉපැයීම් මාර්ගයන්ට අදාළ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කරගන්නා සතියක් බව කිව යුතුයි.  එමෙන්ම තනතුරුවල වෙනසක් සිදුවෙයි. ස්වයං රැකියා කටයුතුවලින් අමතර වාසි සහගත අවස්ථා සැකසේ. එමෙන්ම ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහෝමයක් යටපත් වී යන සතියකි.

  • මකර ලග්නය - උපයන දෙයින් ඵල ප්‍රයෝජන

ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර හික්මුණු ගතියක් නිහතමානී,ගතියක් ඔබ මගින් මැනවින් පිළිබිඹු වෙයි.. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. ඔබට මේ සතියේදී පවුලේ සමගිය තහවුරු වන දෑ සිදු වේ. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගවල  වර්ධනයක් ඇති වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.

  • කුම්භ - නිෂ්ඵල ගමන් අධික වියදම්

ඔබට මෙම සතිය සුබාසුබ මිශ්‍රපල ගෙනදීමක් පෙන්නුම් කරයි. වරින් වර ප්‍රීතිමත් ගමන් ඇති වේ. විනෝදයට සිත ඇදී යයි. එහෙත් ඔබ මෙහිදීි කරන කියන බොහෝ කටයුතූවලින් සිත් සතුට ගෙන නොදෙයි. ගෞරවයට හානිවේ. මෙවැනි ප්‍රතිඵල මධ්‍යයේම නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කිරීමට පුළුවන. දුර බැහැර පළාත්වලට යාමට සිදු වේ. සමහරවිට ඒ පිට පළාත්වල පදිංචියට හෝ වැඩ කටයුතුවලට බැඳීමට සිදු වේ.

  • මීන - අනුන්ගේ වැඩ තමාට බිය ගෙනදෙයි

ඔබට මෙම සතිය එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරයි. නියම වේලාවට නියම ක්‍රමයට කෑම බීම් ආදිය ගැනීමට රාජකාරී කිරීමටත් ඉඩපහසුකම් ඇති නොවේ. කරදර සහිත දවස් වෙති. සිදුවන ක්‍රියා හේතූවෙන් කනගාටු සහිතව කාලය ගත වේ. අනුන්ගේ වැඩ තමාට බිය උපදවයි.  සුනඛ සර්ප ආදීන්ගෙන් පීඩා ගෙනේ. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවී වැඩට සිත අධෛර්ය වීමද සිදු වේ. ඉවසීමෙන් සිතා බලා වගකීම් නිසිපරිදි ඉටුකරන්නට උත්සාහ ගන්න.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ Read Previous

අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සැලසුම් Read Next

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සැලසුම්

Realted Post

Leave a comment