ඔබට මේ සතිය - ඔක්තෝබර් 28 සඳුදා සිට නොවැම්බර් 03 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

28 සඳුදා- පෙ:ව: 07. 27 සිට පෙ:ව: 08. 57 දක්වා
29 අඟහරුවාදා- ප:ව: 02 .57 සිට ප:ව: 04. 27 දක්වා
30 බදාදා- පෙ:ව: 11- 58 සිට ප:ව: 01. 28 දක්වා
31 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 28 සිට ප:ව: 02. 58 දක්වා
01 සිකුරාදා- පෙ:ව: 10. 28 සිට දහවල්: 11. 58 දක්වා
02 සෙනසුරාදා- පෙ:ව: 08. 58 සිට පෙ:ව: 10. 28 දක්වා
03 ඉරිදා- ප:ව: 04.28 සිට ප:ව: 05- 58 දක්වා

  • මේෂ - ආර්ථිකයේ වර්ධනයක්

ඔබට මෙම සතියේ අවසන් දින හතර තුළ තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලැබේ. තමාට උදව් උපකාර කළ අයට අවංක හැඟීමෙන් යුතුකම් ඉටුකර ප්‍රසාදයට පත් වේ. ආර්ථිකයේ වර්ධනයක්, නව ආදායම් මාර්ග ගොඩනැගීමක් සිදුවේ. ඉගෙනීම් කටයුතුවල උනන්දුවක් උද්යෝගයක් ඇතිවේ. ඔබගේ යටි සිතේ බලපැවැත් වූ වැදගත් අදහස් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසීම නිසා සිතේ ප්‍රීතිය ගෙනදේ. එසේම ඔබට මේ සතියේ මුල් දින තුන තුළදී ලැබෙන උපයන දේ අනවශ්‍ය දෙයට වියදම් කෙරේ.

  • වෘෂභ -  අවබෝධයෙන් ක්‍රියා කරන්න

ඔබට මෙම සතියේදී තම  කටයුතු විවිධ අවහිර බාධා මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින් අවබෝධයෙන් ක්‍රියා කරන්න. විශේෂයෙන් ඔබ කලබලයට තීන්දු තීරණ නොගෙන කටයුතු කරන්න. ඇසුරට ලැබෙන අයගෙන් කරදර ඇති වීමට ඉඩ තිබෙන නිසා ඥානාන්විතව ඒ කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. සුළු සුළු ගමන් සතිය පුරා  ඇතිවීම නිසා ලැබෙන මුදල් වියදම් වී යනු ඇත. නිශ්චල චංචල දේපළවලට අදාළ ගනුදෙනු වලදී අලාභ පාඩු සිදුවිය හැකි බැවින් විකිණීම් මිලට ගැනීම් වැනි කටයුතු වලදීත් කල්පනාකාරී වන්න.

  • මිථුන - අවශ්‍යතා පිරිමැසෙයි

ඔබගේ ලග්නාධිපති බුද මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මේ සතිය ශුභ ඵල හීන බැවින් කරන කියන දේ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියාකරන්න. ඔබ සැකයෙන් සාංකාවෙන් යම් යම් දේට සම්බන්ධ නොවන්න. තම දෛනික ආදායම් මාර්ගයටද යම් යම් ගැටලු ඇතිවන අතර රාජකාරිය ද සිතේ සහනයෙන් සතුටින් කරගෙන යාමටත් අසීරුවන බාහිර කරදර මතුවේ. කරන්නට තිබෙන වැඩ අතපසු වී යයි.

  • කටක - ප්‍රයෝජනවත් වැඩක් ක්‍රියාවට නංවයි

ඔබ මේ සතියේ මුල් දින හතරේදී තම අපේක්ෂා හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා එහිදී ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කළ හැකි වේ. පසුගිය දිනවල තමාගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් පැවති දුෂ්කරතා බොහෝදුරට මෙම කාලයේ අඩුවී යයි. පහව යනු ඇත. තමාගේ තත්ත්වයෙන් උසස් වීමක් හා ආදායම් මාර්ගයේ දියුණුවක් ද පෙන්නුම් කරයි. අවසන් දින තුන දෛනික කටයුතුවල සුළු සුළු අඩුපාඩු ඇති වන අතර ඒවා අර්බුදයකින් තොරව සමනය කර ගැනීමටත් ඥානාන්විත වන්න.

  • සිංහ - මූල්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂා සඵල වෙයි

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ බලයෙන් යුක්තව ගමන්කිරීම කරන හෙයින් එදිනෙදා නිරත කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. තම වැඩ කටයුතුවලට අවශ්‍ය අයගේ උසස් අයගේ ආධාර උපකාර ද ලැබේ. දූ දරුවන්ගේ අනාගත ශුභ සිද්ධිය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සැකසීමටත් ඔබ ක්‍රියාකරයි. ආදායම් තත්ත්වය සතුටුදායක බවට පරිවර්තනය වේ. විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ටිකකට කල් දැමීමට සිදුවේ. මූල්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂා සඵල වන සතියකි.

  • කන්‍යා - සිතේ සමාදානය සතුට ඇතිවෙයි

ඔබට මෙම සතියේ අවසන් දින හතර තුළ තමා කරන කියන වැඩකටයුතූ වලින් ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වස්තු ලාභ ලැබේ. බලපෑ දුක් කරදරවලින් නිදහස් වීමට විවිධ පැතිකඩ මගින් ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. කරගෙන ආ කටයුතු මෙන්ම නවීකරණයෙන් ආරම්භ කරන කටයුතු ද වැඩි දියුණුවට පත්වන සතියකි. බොහෝවිට මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක් වේ.

  • තුලා - හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය

ඔබට මේ සතිය ශුභදායී බවක් පෙන්නුම් කරන අතර හික්මුණු ගතියක් නිහතමානී ගතියක් ඔබ කෙරෙන් මැනවින් පිළිබිඹු වෙයි. පසුගිය දිනවල ඔබ කෙරෙහි පැවති කලබලකාරී ගතිය අප්‍රවේසම් සහිත ස්වභාවය පහවී ගොස් ක්‍රමවත් බවක් ගොඩනැගී පිළිවෙළක් අනුව වැඩ කටයුතුවල නිරත වී ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනී. උපයන දෙයින් ඵල ප්‍රයෝජන ලැබේ. ආදායම් මාර්ගවල වර්ධනයක් ඇති වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය හා ආධාර උපකාරත් නොඅඩුව ලැබේ.

  • වෘශ්චික- අනාගත සුබ සිද්ධිය උදෙසා වෙනසක්

ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්යය නොඅඩුව ලැබේ. මෙම කාලයේ දී තමා නිරත වන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. කෙනෙකුට යටත් නොවී ස්වාධීනව කටයුතු කරගෙන යාම සඳහා ඔබේ සිත පෙලඹේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න බොහෝ දුරට අඩුවී යන බවට හේතු පෙනේ. සැලසුම් කරන වැඩ කටයුතු මෙන්ම බලාපොරොත්තු පහසුවෙන් සඵල වේ.

  • ධනු - ස්වාමි පක්ෂයේ ප්‍රසාදය

සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්වන සතියකි. පොදු සමාජීය කටයුතු වලටත් වැඩි වශයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධ ලාභප්‍රයෝජනයන් ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කාර්්‍යය කටයුතු කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙල වේ.

  • මකර - සැලසුම් සහගතව ක්‍රියාකරන්න

ඔබට මේ සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගත වේ. තමා පදිංචි ස්ථානය, ව්‍යාපාරික ස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇති වේ. රාජකාරී කටයුතු යථා පරිදි කරගෙන යාම දුෂ්කර විය හැකිය. ඔබට මෙම කාලයේ කිසියම් ආයෝජන අවස්ථාවක් සැකසුනත්, සමාජයේ උසස් අය ආශ්‍රය කිරීමට අවස්ථාව ද සැලසුනත් ඉන් එතරම් සාර්ථක ඵලයක් ඇති නොවේ. හදිසියට කලබලයට හිතුවක්කාර ලෙසට ක්ෂණික තීරණ මත දෛනික කටයුතු නොකර සැලසුම් සහගතව අවධානයෙන් කරන්න.

  • කුම්භ - සෙම් පීඩා ආහාර විෂවීම්

ඔබට මෙම සතියේදී තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. තමා නිරත වෙළඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. සතුරු කරදරයක් හෝ නීති තර්ජනයක් හේතුවෙන් හිතේ හටගෙන තිබූ කලබලකාරී තත්ත්වය මෙම සතිය තුළද පහව නොයයි. විශේෂයෙන් ඔබ දැඩි අධිෂ්ඨානයකින් හා කැපවීමෙන් යුතුව ගෘහ ජීවිතයේ මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරයන්හි කටයුතු කරගෙන යාමට පවත්වාගෙන යාමට මෙම දිනවල ඇපකැප වන්න. එහෙත් මුදල් පිළිබඳව ලාභ ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ.

  • මීන - අවශ්‍යතා පිරිමැසෙන සතියක්

ඔබට මේ සතියේ මුල් දින හතර තුළ සුබදායක කාර්යයන් කිහිපයක් සාර්ථක කරගැනීමට  හැකියාව ලැබේ. උයෝගයක්, කාර්යශූරත්වයත් ඇති කරයි. මුදල් ලාභ ලැබේ. එසේම විවිධ ද්‍රව්‍ය ලාභයන්ද ලැබේ. තම වුවමනාවන් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලැබෙනවා ඇත. නිවාස දේපළ කටයුතු වලටත් මෙම දින හතර යහපත්ය. මෙම සතියේ අවසන් දින තුන විවිධ අවහිර බාධා, කරදර මධ්‍යයේ තම දෛනික කටයුතු කරගෙන යාමටත් පවත්වාගෙන යාමටත් සිදුවෙයි. එම දිනවල රාජකාරිය වගකීමෙන් සොයා බලා ගැටලු මතු නොවන ලෙසට කරන්න.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට Read Previous

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට

වයසට ගියත් ජීවිතේ Smart -  ප්‍රවීණ රංගනවේදිනී Anoja Weerasinghe Read Next

වයසට ගියත් ජීවිතේ Smart - ප්‍රවීණ රංගනවේදිනී Anoja Weerasinghe

Realted Post

Leave a comment