මේ සතිය ඔබට - ඔක්තෝබර් 14 සඳුදා සිට ඔක්තෝබර් 20 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

14 සඳුදා - පෙ:ව: 07. 27 සිට පෙ:ව: 08. 57 දක්වා
15 අඟහරුවාදා - ප:ව: 02 .57 සිට ප:ව: 04. 27 දක්වා
16 බදාදා - පෙ:ව: 11- 57 සිට ප:ව: 01. 27 දක්වා
17 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 27 සිට ප:ව: 02. 57 දක්වා
18 සිකුරාදා - පෙ:ව: 10. 27 සිට දහවල්: 11. 57 දක්වා
19 සෙනසුරාදා - පෙ:ව: 08. 57 සිට පෙ:ව: 10. 27 දක්වා
20 ඉරිදා - ප:ව: 04.27 සිට ප:ව: 05- 57 දක්වා
  • මේෂ - සිතට ප්‍රිතියද සැනසීමද ලාභ ප්‍රයෝජන 

ඔබට මෙම සතියේ මුල් දින දෙකත් අවසන් දින තුනත් යන දින පහ බොහෝ සෙයින්ම සිත් සතුටට කරුණු සැලසේ. එයට කලින් දිනවල තිබුණාට වඩා හොඳ තත්ත්වයකට හැරෙයි. හොඳ දෙයට සිත යොමු වේ. දියුණුවට කටයුතු සැලසේ. වාසනාවන්ත දවස් වෙයි. කරන කියන බොහෝ කටයුතු වලින්ම සිතට ප්‍රීතියද සැනසීමද ලාභ ප්‍රයෝජනද ලැබේ. සෙසු දින දෙක සිත් තැවුල් කනගාටු ඇති කරයි. අවනම්බු ලැබෙන්ට පුළුවන. වියදම් අධික වෙයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි.

  • වෘෂභ - උසස් අය සමග ආශ්‍රය ඇති වේ

ඔබට මෙම සතියේ මුල් දින පහ උත්සාහ කරන රැකීරක්ෂා කටයුතුවලින්  ප්‍රයෝජන ලැබේ. ගෙදර දොර පදිංචියට අදාළවන තැනක බර වැඩක් කර ගැනීමට හැකිවෙයි. උසස් අය සමග ආශ්‍රය ඇති වේ. එසේම පවුලේ වැඩිහිටියන් සමග ආශ්‍රය හා ගනුදෙනුද ඇති වේ. ගොවිතැන්වලින්ද ලාභ ප්‍රයෝජන ලැබේ. වෙළඳ ව්‍යාපාර ගෙන යන අයට මේ දිනවලදී වැඩි ලාභ ලැබෙනු ඇත.  ස්ත්‍රීන් උදෙසා කරන වෙළඳාම්වලින් ලාභ වැඩි වේ. අවසන් දින දෙක විශේෂයෙන් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සහ ගනුදෙනු කිරීමේදී නොයෙක් වැරදීම්,මුළාවීම් සිදුවිය හැකි බැවින්  පරෙස්සම් විය යුතුයි.

  • මිථුන - සුළු සුළු වස්තු ලාභ

ඔබට මෙම සතියේ ආරම්භක දින දෙක සිත් තැවුල්, සිත් කනගාටුවට හේතුවන දේ සිදුවෙයි. ශරීරයෙහි දුර්වල ගතියක් දැනේ. සෙසු දින පහ ගෙදර දොර හා ජීවනෝපායට අයත්  කටයුතුවලින් සැනසිලිදායී ස්වභාවයක් ලැබෙනවා ඇත. සුළු සුළු වස්තු ලාභද ලැබෙන්නට පුළුවන. අන්සතු වස්තු පවා ලැබෙන්නට හේතු යෙදේ. අපේක්ෂිත පහසුකම්වලට අදාළ ලාභද ලැබෙනවා ඇත.  කලකින් නොදුටු ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව   සොයාගෙන එයි.

  • කටක - ශරීර සනීපය ගැන හිතන්න

ඔබට මෙම සතියේ මුල් දින හතර තුළදීආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මලමුත්‍ර පහවීමේ බාධාවක් වැනි රෝගී ස්වභාවයක් මතුවන සැටියක් පෙන්නුම් කරන හෙයින් ආහාර පාන කෙරෙහි සැලකිලිමත් වන්න. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් හටගනීි. මේ දිනවලදී නඩුහබ වලට යාමට සිදුවුවහොත් තමාට තර්ජන විඳීමට සිදු වේ. නැතහොත් වැඩිහිටියෙකුගෙන් හෝ තර්ජනයක් ලැබෙන්නට පුළුවන. අවසන් දින තුන අනුන්ගෙන් ගරු සැලකිලි ලැබෙනවා ඇත. විරුද්ධ ලිංගිකයන් සමග එකට සහභාගි වී කරන කටයුතු හා කතාබහ ඇති කරයි.

  • සිංහ - මුදල් අතින් අගහිඟකම්

මුල් දින තුන මිත්‍රයන් හා ආශ්‍රය ඇති වේ. සැප පහසු ඇතිව රාජකාරිය කිරීමටත් සතිය ගතකිරීමටත් තැන් ලැබේ. තමා නිදා ගන්නා තැනම වුවත් වෙනදාට වඩා සුවපහසුවට නිදාගන්නට ලැබේ. ස්ත්‍රීන්ගෙන් සැප ලැබේ. ප්‍රීතිමත් ගමන් ඇති වේ. සති මැද දින තුන කනගාටු සහිතව කාලය ගත වේ. අනුන්ගේ වැඩ තමාගේ බියට හේතු වේ. නිෂ්ඵල ගමන් අධික වියදම් ඇති කරන්නට පුළුවන. එහෙත් අවසන් දින දෙක පිනට දහමට ආශාව, ආගම දහමට භක්තිය ශ්‍රද්ධාව ඇති කරයි. නමුත් මුදල් අතින් අගහිඟකම් ඇති වේ.

  • කන්‍යා - විනෝදයට සිත ඇදී යයි 

මෙම සතියේ මුල් දින හතර සුළු සුළු වස්තු ලාභ ලැබේ. තරග විභාගාදියෙන් ජය ලැබේ. ගෙදර දොර ජීවිතය වාසනාවන්ත වේ. ශරීර සනීපය ඇතිවේ. සැප පහසුව ලැබේ. හොඳ ආහාරපාන වර්ග ලැබේ. ගරු සැලකිලි ලැබේ. විනෝදයට සිත ඇදී යයි. කටයුතුවලින් සිත් සතුට ගෙන දෙයි. තමා කෙරෙන් පැවති ගෞරවය වැඩි වේ. දියුණුවද ඇති වේ. අවසන් දින දෙක අවුල් වියවුල් සහිතය. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට සිත නොයෙදෙන අතර අධෛර්ය වීමද හදිසි මිල මුදල් වියදම්ද සිත් තැවුල්ද ඇති කරයි.

  • තුලා - හදිසි ලාභ ගෙනදෙයි

ඔබට මෙම සතිය සුබ අසුබ මිශ්‍රපලදායී වනු ඇත. වරින් වර සිතට කිසිම ප්‍රීතියක් විනෝදයක් නොවන දේ ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ටවීම කල් යයි. ආදර බන්ධනවලින් සිත් තැවුල් ඇති වේ. ශරීර අසනීප ගති සාදයි. සිත් වේදනාවක් උන්හිටි ගමන් ඇතිකරයි. බාහිර කරදර මතු වේ. අවසන් දිනතුන සතුරන් පහළ වැටේ. නොයෙක් දේ ලැබෙන්නට පුළුවන. අදහස් ඉෂ්ට වේ. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදු වේ. ලෙඩෙක් ගැන හෝ ලෙඩක් ගැන කෙනෙකු ඔබ සමග පවසයි. අමුතු කටයුතු ගැන අදහස් මතු වේ.

  • වෘශ්චික - අරමුණු ජය ගනී 

මෙම සතියේ අවසන් දින තුන තුළදී ඔබ ශක්තිමත්ව ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කරයි. එසේම මෙහිදී ඔබ තම අරමුණු සපුරා ගැනීම සඳහා ක්‍රියාශීලී වන අතර අරමුණු ජය ගැනීමේ ඉලක්ක සාර්ථක ලෙස මෙහෙයවයි. මුල් දිනවල වරදක් කළේ නම් එයට දඬුවම් ලැබේ. කරගෙන යන කටයුතුවල කරදර මතු වේ. අධික වියදම්ද ධන හානිද ඇති කරයි. රක්තවාත ආබාධ ඇති අයට මේ දිනවල එය උත්සන්න වේ.

  • ධනු - සංචාර, කෙටි ගමන්

අධ්‍යාපන රැකියා ව්‍යාපාර ආදී කටයුතු තම සිතැඟි පරිදි ඉටුවන බැවින් සතුටක් දැනේ. විදේශගත වීම්, සංචාර, කෙටි ගමන් විදේශගත සම්බන්ධතා තුළින් කරන කටයුතු ආශ්‍රිතව සාර්ථක ප්‍රතිඵල උදාකරන සතියකි. කෙනකු සමග දියුණුව පිළිබඳ කතාවක් හෝ යෝජනාවක්ද ඇති වේ.  ශරීර සනීපයටද හොඳය. මිත්‍ර ආශ්‍රය හෝ අමුත්තන්ගේ පැමිණීමද සිදුවෙයි. ධෛර්යයෙන් වැඩ කරයි. හිතවතුන් හා ආශ්‍රයෙන් හෝ ඔවුන්ගෙන් ඈත් වීමක්ද සිදුවිය හැකි සතියක් ද බැවින් ඇසුරුකිරීම් වලදී කල්පනාකාරී වන්න.

  • මකර  - රැකී රක්ෂා අංශයේ දියුණුවක්

ඔබට මෙම සතියේ මුල් දින පහ ශුභ ඵලදායී අයුරින් ගතවෙයි. ඇතැම් අවස්ථාවල පසුගිය දිනවල බලපෑ දුක් දොම්නස් කරදර මෙහිදී ක්‍රමයෙන් පහවී යයි. ඔබට මව් පස නෑයෙකුගෙන් වාසි ගෙන දෙන කරුණක් සඳහා දුර ගමනක් යෑමට සිදු වේ. නව නිවෙසක් හෝ වාහනයක් මිලදී ගැනීම සඳහා පසුබිම සැකසේ.  එසේම මෙම දින පහ තුළ රැකීරක්ෂා අංශයේ දියුණුවක් ඇති වේ. පොදුවේ ඔබට මෙම සතියේ අවසන් දින දෙක තම කටයුතු පසෙක දමා අනුන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ . එමෙන්ම මෙය දුර දිග නොබලා කරන කතාවලින් ද වැළකිය යුතු කාලයකි.

  • කුම්භ - නව සැලැස්මක් ක්‍රියාවට නංවයි

සඳු ග්‍රහයා මේ සතිය තුළ ගමන් කරන විලාසය මත සසඳා බලන විට මෙම සතිය ඔබට ශුභ පලදායී අයුරින් ගත වේ. ඔබ තමාගේ හිමිකම අයිතිවාසිකම් මෙන්ම බලය සම්බන්ධිත නව සැලැස්මක් යටතේ තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නට අදහස් කරනු ඇත. ඉගෙනීම් කටයුතුවල නිරතවන්නන්ට, වෘත්තීය කටයුතුවල නියුතු වූවන්ටත් එම අංශවල දියුණුවක් සැලසේ. විවාහ අපේක්ෂිත ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයටම යුග දිවිය පිළිබඳ විශේෂ තීන්දු තීරණවලට එළැඹීමටත් ඉඩ ලැබේ. ගෙදර දොර හා රාජකාරියට අදාළව කරන කියන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් පැන නොනගී.

  • මීන -  බලාපොරොත්තු රහිත මාර්ගයකින් වාසියක් 

මෙම සතිය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඬගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබුණත් වෙහෙස ඇති දුර ගමන්ද යෙදේ. පොදුවේ ඔබට මෙය සතුටුදායක ආරංචි ලැබෙන සතියක් ද බැවින් කරන කියන දේ ඉෂ්ට සිද්ධ වන්නේය. අනපේක්ෂිත හෝ බලාපොරොත්තු රහිත මාර්ගයකින් යහපත් දෙයක් ද මෙහිදී සිදු වේ. මුල් දින දෙක උසස් අයගෙන් ස්වාමියන්ගෙන් කරදර ඇති වේ.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්. Read Previous

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්.

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්. Read Next

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්.

Realted Post

Leave a comment