මේ සතිය ඔබට කොහොමද ? ජනවාරි 13 සඳුදා සිට ජනවාරි 19 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,  බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු  කාලය

13 සඳුදා- පෙ:ව: 07. 56 සිට පෙ:ව: 09. 26 දක්වා
14 අඟහරුවාදා- ප:ව: 03 .27 සිට ප:ව: 04. 57 දක්වා
15 බදාදා- පෙ:ව: 12- 27 සිට ප:ව: 01. 57 දක්වා
16 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 57 සිට ප:ව: 03. 27 දක්වා
17 සිකුරාදා- පෙ:ව: 10. 57 සිට දහවල්: 12. 27 දක්වා
18 සෙනසුරාදා- පෙ:ව: 09. 28 සිට පෙ:ව: 10. 58 දක්වා
19 ඉරිදා- ප:ව: 04.58 සිට ප:ව: 06- 28 දක්වා
  • මේෂ - වෙහෙස ඇති ගමන්  -

වෙහෙස ඇති ගමන් කීපයක් යෙදෙන සතියක් වන අතර විශේෂ සැලසුමක අත ගැසීමට පුළුවන්බවක් පෙනේ. මේ සතියේ ඥාතීන් අතර සුහදතාවට හේතු ඇති කරයි. මවුපස ඥාතියකුට අපල සහගතබවක් පෙන්නුම් කරයි. යටපත් වූ පපුවේ සෙම් රෝගයක් නැවත මතුවෙයි. නව ආයෝජන මෙන්ම මිල මුදල් පිළිබඳව බලාපොරොත්තුවක් සපල වෙයි. කලාත්මක අංශයේ රැකියාවල ව්‍යාපාරවල යෙදෙන්නන්ට වැඩිපුර ලාභ ප්‍රයෝජන සැලසේ.  

  • වෘෂභ - ලාභ ප්‍රයෝජන -

අසල්වැසියෙකු නිසා ඇතිව තිබූ කරදරකාරී තත්ත්වයකින් නිදහස්වීමට අවස්ථාව උදාවෙයි. පසුගිය දිනවල නොතේරුම්කමින් හෝ නොසොයා නොබලා කළ වැඩකටයුතුවලින් හා ගනුදෙනු ආදියෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතුවූ පාඩු කරදර මෙම සතියේදී ඇති නොවෙයි. සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම සතියේ විවිධ ලාභ ප්‍රයෝජන සැලකිලි උදව් උපකාර හිමිවුවත් සතිය ගතවීමට පෙර මිල මුදල් පිළිබඳ හානියක් හෝ අධික වියදමක් ඇතිවන කරුණක් ද උද්ගතවීමට හේතු යෙදේ.

  • මිථුන - හදිසි ලැබීම් කිහිපයක්  -

ගත වූ සතියට වඩා මෙම සතියේදී ඔබගේ වැඩ කටයුතුවලට සැලසුම්වලට බලපෑ විවිධ අවහිර බාධා පහව යයි. ඔබ කරන කියන සෑම කටයුතුවලින්ම සිතට ප්‍රීතිය ද සැනසීමද ලාභප්‍රයෝජන ද  ලැබේ. මෙම සතිය තුළ තමා නිරත රැකියා ව්‍යාපාරවලින් ද දියුණුව ලාභ ප්‍රයෝජන මැනවින් සැලසේ. සමාජයේ ප්‍රසිද්ධියක් ඉබේම වාගේ ඇතිවන සතියකි. ගෙදර දොර හෝ රැකියා ස්ථානය තුළ සැප පහසුව ඇතිවන දෑ සිදු වේ. විදෙස් ලැබීම්වලට හිමිකම් ඇති සතියකි. පොදුවේ මෙය හදිසි ලැබීම්වලටත් ඉඩ ඇති සතියකි.

  • කටක - බලාපොරොත්තුවක් ඉටු වෙයි  -   

ඇතැම් බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි. දියුණුවද ඇතිවෙයි. අපේක්ෂිත ආර්ථික ලාභ ලැබෙනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩවලින් ලාභ ලැබේ. තමාට ආදර සංග්‍රහ කරන්නන් ළඟට යෑමට ඉඩ ලැබේ. ගෙදරදොර කටයුතුවලින් මෙන්ම අන්‍යයන් සමග කරන කටයුතුවලින් ද සැනසිල්ල ලැබේ. විරැකියාවෙන් පෙළෙන්නන්ට නව රැකියා උදෙසා උත්සාහ කරන්නට අවස්ථා උදා වේ. කෙසේ වෙතත් කොටස් කරුවන් සමග ගැටලු ප්‍රශ්න මතු නොවන ලෙසට කටයුතු කිරීමටත් හැසිරීමටත් වගබලා ගතයුතු ය.

  • සිංහ -  ගෞරව සැලකිලි -

ඔබට මේ සතිය සාමාන්‍යයෙන් වාසනාවන්තය. මෙය තම තත්ත්වය උසස් වෙයි. එමෙන්ම තමා භාරගෙන හෝ පටන්ගෙන කරන කියන බොහෝ කටයුතු දියුණුවට පත්වෙන සතියකි. ඔබට යම් යම් ලාභ ප්‍රයෝජනයක් ලැබේ. සමාජයේ මෙන්ම ආයතනය වෙතින් වුව ගෞරව සැලකිලි හිමිවෙයි. අධ්‍යාපන රැකියා මෙන්ම දරුඵල වැනි ලාභයන්ද ලැබේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මෙන්ම විනෝද සංචාරක ගමන්වලටත් සහභාගි වීමට ලැබේ.  

  • කන්‍යා - දුරස් වූ සබඳතා යළි සැකසෙයි -

ඔබට මෙම සතියේ මුල් දින පහ තුළ අරමුණු සැලසුම් සාර්ථක වී බලාපොරොත්තු සහගතව කටයුතු කිරීමට පිළිවන්කම ලැබේ. දුරස් වූ ඥාති සබඳතා යළි සැකසේ. පවුලේ භේදබින්න වීම් සමතයකට පත් වේ. ව්‍යාපාරිකයන්ට අන්‍යයන් යොදවා වැඩ කරවා ගන්නන්ට දක්ෂ වැඩකරුවන් හොඳ ආධාරකරුවන් ලැබේ. නිතර නිතර ප්‍රීතිමත් හා ප්‍රයෝජනවත් ගමන් යෑමට අවස්ථාව ලැබේ. ලියකියවිලි ප්‍රශ්න, රාජකාරී අවුල් විසඳේ. විරුද්ධ ලිංගිකයන්ගෙන් පල ප්‍රයෝජන ලැබේ. අවසන් දින දෙක ශුභ ඵල හීනය.

  • තුලා - ඉලක්ක සපුරාගත හැකි සතියක් -

ඔබට මේ සතියේ අවසන් දින පහ ශුභදායි අයුරින් ගත වේ. තම අරමුණු සැලසුම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවන අතර අධ්‍යාපන ආර්ථික රැකියා ව්‍යාපාර ආදියේ ඉලක්ක බාධාවකින් තොරව සපුරාගත හැකිය. අපේක්ෂිත අයුරින් ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. පොදුවේ ඔබ මෙම සතියේ විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලී භාවයෙන් යුතුව කටයුතු කළහොත් රැකියා ව්‍යාපාර ආදියේ කිසියම් දියුණුවක් ස්ථාවරභාවයක් සලසා ගත හැකිය.

  • වෘශ්චික - ආර්ථික හා දේපළ ලාභයක් - 

මෙම සතිය මිශ්‍රපල ගෙනදෙන අතර ඔබට මෙම සතියේ අවසන් දින හතර තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබේ. ඔබට ආර්ථික හා දේපළ වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙළ වන, රාජකාරිය ක්‍රමවත්භාවයට පරිවර්තනය වන, ගොඩගැසී තිබූ වැඩකටයුතු රැසක් ඉක්මන්වීමට නිම කිරීමට පසුබිම සැකසෙන සතියක් ද වේ. ආරම්භක දින තුන හදිසි අනතුරු හෝ අතරමඟ කරදරයක් වුව ඇතිවීමට ඉඩ තිබෙන බැවින් ගමන් බිමන්වලදීත් ආරක්ෂාකාරී වන්න.

  • ධනු - අමතර මුදල් වැයවීමක් -

මෙම සතිය ඔබගේ දෛනික කටයුතු කෙරෙහි එතරම් ශුභ ඵලදායී බවක් ඇති නොකළත්, විශේෂයෙන් මෙම සතිය තුළ ඔබගේ අරමුණු සැලසුම්වල යම් කොටසක් සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදා වේ. යම් යම් සතුරු බාධක යෙදුනත් ඒවා මැඩගෙන කටයුතු කළ හැකි වේ. ප්‍රේම සබඳතාවකට මවුපිය විරෝධය ගෙන දෙන අතර, පවුලේ මතභේදකාරීබවක් ද ඇති කරයි. ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදලක් ද වැය කිරීමට සිදු වේ.

  • මකර - උසස් අය හා ආරවුල්  -

ගෙදර දොර මෙන්ම ඉපැයීම් මාර්ගයට අදාළ වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන අතර පවුලේ කෙනකු නිසා සිත් කලකිරීමක් සිදුවීමට හේතු යෙදේ. හවුල් කරුවන් සමග කටයුතු කිරීමේදී දුර දිග බලා කටයුතු කිරීම වැදගත් වේ. යටපත් වූ සෙම් ආසාදනයක් නැවත මතු විය හැකියි. වාහන හුවමාරුවක් හේතුවෙන් වාසි අත්කරන කාලයකි. රාජකාරී ස්ථානය තුළදී මෙන්ම වෙනත්  කටයුතුවලදී මෙන්ම උසස් අයගෙන් තමාට චෝදනා අපවාද නැතහොත් උසස් අය හා ආරවුල් ඇතිවන දේත් සිදුවීමට හේතු යෙදෙන හෙයින් ඉවසීම සතිය පුරාම මෙන් පවත්වා ගන්න.

  • කුම්භ - උගත් දෙයින් ප්‍රයෝජන  - 

ළඟින් ඇසුරු කරන අයෙකු සමග විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ දෙයක් සිදුවෙයි. එනමුදු මෙය උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියකි. දරුවෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන අතර සතිය ආරම්ක දින දෙක උදරගත ආබායකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇතැම් අවස්ථාවල පසුගිය දිනවල බලපෑ දුක් දොම්නස් කරදර මෙහිදී ක්‍රමයෙන් පහවී යයි. පොදුවේ බලනකල නව නිවෙසක් හෝ වාහනයක් මිලදී ගැනීම සඳහා පසුබිම සැකසේ.

  • මීන -  හිතවතෙකු සමග ගනුදෙනුවක්  -

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර එමෙන්ම පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන අන්දමේ කටයුතු කීපයක් ද සිදුවෙයි. මෙතෙක් ගැටලුසහගත බවක් ඇති කළ දේපළක් සම්බන්ධ හිමිකමකට අදාළ ගැටලුවක් ද නිරාකරණය වෙයි. සතිය ආරම්භක දින දෙකේදී කායික මෙන්ම මානසික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදුවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. හිතවතකු සමග ගනුදෙනුවක් කර ගැනීමට හෝ කිසියම් ව්‍යාපාරික කටයුත්තකට සම්බන්ධවීමට හෝ මඟ සැලසෙන සතියකි.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ.  -  Ruwan Hettiarachchi Read Previous

මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ. - Ruwan Hettiarachchi

මේ සතිය ඔබට කොහොමද ?  ජනවාරි 13 සඳුදා සිට  ජනවාරි 19 ඉරිදා දක්වා Read Next

මේ සතිය ඔබට කොහොමද ? ජනවාරි 13 සඳුදා සිට ජනවාරි 19 ඉරිදා දක්වා

Realted Post

Leave a comment