කහවලින් රන්වන් පාට ලස්සන සමක්

පිරිසුදු කාරකයක් ලෙස වගේම රුව ලස්සන කරගන්න භාවිත කරන වටිනා ඔසුවක් විදියට කහවලට ලැබෙන්නේ වටිනා තැනක්. ඉවුම්පිහුම්වලට ද නැතුවම බැරි කහ අතීතයේ සිටම ආසියාතික රටවල කාන්තාවන් සම පැහැපත් කරගන්නත්, සමේ ආසාදන වළක්වා ගන්නත් භාවිත කර තියෙනවා. පහසුවෙන් හොයාගන්න පුළුවන් වසවිස අඩංගු නැති ස්වාභාවික අමුද්‍රව්‍යයක් නිසා බියකින් සැකයකින් තොරව රූපාලංකාරයට කහ භාවිත කරන්න පුළුවන්. 

වර්තමානය වනවිට ලංකාවේ ආහාර සඳහා පමණක් නොව රූපාලංකාරයටත් කහ භාවිත කරන්න පුළුවන් තරමට කහ හොයාගන්න පහසුයි. ඒ වගේම අමු කහ වීදී දෙපස තබාගෙන විකුණනවා ද අපට දැකගන්න පුළුවන්. ඉතින් මේ අමු කහ භාවිත කර ඔබේ ලස්සන රූපය තවත් ලස්සන කරගන්න හැකි අලුත් ක්‍රම ගැනයි මේ කතාබහ.
අතීතයේ සිටම කාන්තාවන් ලස්සන වැඩි කරගන්න භාවිත කළ කහ කියන්නේ සම ලස්සන කරන්න විතරක් නෙවෙයි සමේ රෝග බොහෝමයකටම විසඳුමක් ලබා දෙන වටිනා ඔසුවක්. විසබීජ නාශකයක් වන කහ, කුරුලෑ පාලනය කරන්නත් භාවිත කරන්න පුළුවන්. කුරුලෑ සහ මුහුණේ ඇතිවෙන බිබිළි නව යොවුන් වියේදී වගේම තරුණ වයසෙදිත් ඇතිවිය හැකි ගැටලුවක්. ඒ නිසා කුරුලෑ සඳහා වගේම කුරුලෑ නිසා ඇතිවෙන ලප කැලැල් මකා ගන්නත් කහ හොඳ ප්‍රතිකර්මයක්.

  • කුරුලෑ සහිත මුහුණකට

නිතර නිතර කුරුලෑ හට ගන්නා මුහුණකට අමු කහ කැබැල්ලක් සහ කොහොඹ කොළ කිහිපයක් හොඳින් තළාගෙන එයට මී පැණි ටිකක් හෝ යෝගට් ටිකක් දමා මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා කුරුලෑ කැඩී නොයන ලෙස මුහුණ හෝදගන්න. 
කහ යනු මුහුණේ දීප්තිය වගේම පැහැපත්භාවය වඩවාගන්න හොඳ අමුද්‍රව්‍යයක්. අමු කහ ස්වල්පයක් හොඳින් කොටාගෙන එයට මී පැණි තේ හැන්දක් සහ යෝගට් ටිකක් එකතුකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් හෝදාහරින්න.
හිරු කිරණින් පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්නත් දුර්වර්ණ වූ සමට දීප්තියක් ලබා දෙන්නටත් යෝගට් සහ අමු කහ හොඳ ප්‍රතිකර්මයක්. කහ සහ යෝගට් මුහුණට පමණක් නොව මුළු සිරුරේම ආලේප කරන්න පුළුවන්. සතියකට එක් වතාවක්වත් මුළු සිරුරේම කහ සහ යෝගට් ආලේපකර  සිරුරටම මේ සත්කාරය ලබා දෙන්න පුළුවන් නම් සමේ දුර්වර්ණභාවය අවම කරගන්න වගේම ගත සුවඳවත් කරගන්න පුළුවන්.

  • මොනවද මේ ගෝල්ඩන් මිල්ක්

ගෝල්ඩන් මිල්ක් යනු සම ලස්සන කරගන්න වගේම නිරෝගී සමක් පවත්වාගන්න ඉන්දියානුවන් ඉතා ජනප්‍රිය ලෙස  භාවිතා කරන පානයක්. කිරිවලට අමු කහ එක්කර උතුරුවා සීනි එක්කරගෙන උණුසුම්ව පානයට ගනු ලබනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන්න වගේම ලෙඩ රෝග රැසකටම ගුණ දෙන කහ සහ කිරි පානය හෙවත් ගෝල්ඩන් මිල්ක් එහෙමත් නැතිනම් ටර්මරික් මිල්ක් යනු රූසපුව වඩවා ගන්නත් උදව්වන පානයක්. ගෝල්ඩන් මිල්ක් ලෙස කහ කිරි හඳුන්වන්නේ පාට නිසා පමණක්ම නෙවෙයි. රත්තරන් මෙන් ශරීර සෞඛ්‍යයට වගේම රූපාලංකාරයටත් ගොඩක්ම හිතකර දෙයක් නිසයි. 

අතීතයේ ඉන්දියාවේ මනාලියක් වීමට පෙර කාන්තාවගේ සිරුරේ කහ ගැල්වීමත් කහ කිරි පානයට දීමත් සිරිතක්. ඒ විශේෂයෙන් ගෝල්ඩන් මිල්ක් සම පැහැපත් කරගන්නට උදව්වන පානයක් නිසයි. සතියකට දෙවරක්වත් අමු කහ ටිකක් තළා කිරි ටිකකට දමා උතුරුවා ගෙන බොන්න පුළුවන් නම් සමේ ගැටලු රැසක්ම අවම කරගෙන පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් කහ යෙදූ ආලේපන පාව්ච්චි කරන්න කාලය අවම කෙනකුට සතියකට එක් වරක් හෝ මේ ගෝල්ඩන් මිල්ක් පානය භාවිත කරන්න පුළුවන්නම් තමන්ගේ සිරුරට වඩාත් හොඳ ප්‍රතිඵලයක් ළඟාකරගන්න අපහසු වන්නේ නැහැ.

Doctor යි - ඔබයි Read Previous

Doctor යි - ඔබයි

ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට Read Next

ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

Realted Post

Leave a comment