සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

අපේ ගෘහිණියෝ පුරුදුව සිටින්නේ සහල් සෝදන වතුර ටික ඉවත දැමීමට ය. එහෙත් අතීතයේ මවුවරු නම් සහල් සෝදන වතුර ටික ගසකට දැමීමට පුරුදුව සිටියා. වර්තමාන ගෘහිණියන් අතරින් ඒ පුරුද්දත් ගිලිහී ගොසිනි. ඔවුන් සහල් ටික රයිස් කුකරයේ භාජනයටම දමා සෝදා  වතුර ටික සින්ක්  එකටම හළනවා.  ඒ ඉවත දමන්නේ ඔබේ රුව හැඩ කරන අගනා ඖෂධයක්බව ඔබ දැන සිටියාද? 
මේ කතාව සහල් වතුරෙන් ලස්සන වෙන හැටි ගැනයි.

අප ආහාරයට ගන්නා බත්වල මෙන්ම සහල් වතුරේද  විටමින් B  C හා E මෙන්ම ඛනිජ වර්ග හා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වැනි බොහෝ ගුණ අඩංගු වෙනවා සේම සහල් වතුරවල සමට සහ හිසකෙස් සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් ද අඩංගු වෙනවා. මේ අතුරින් සහල් වතුරවල අඩංගු පෝෂණ ගුණයෙන්  සමේ පැහැය වැඩි කර ගැනීමට මෙන්ම, ලප කැළැල් අවම කරගැනීමට, හිසකෙස් වර්ධනය කිරීමටත් උදවු වෙනවා.   විශේෂයෙන් සහල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර කිරීමට පුරුදු වී සිටින ආසියාතික රටවල කාන්තාවන් අතර චීනයේ සහ ජපානයේ කාන්තාවන්ගේ රූ රහස් අතර ප්‍රධාන තැනක් සහල් වතුරට වගේම පිසූ බතට හිමිවෙනවා. රූපලාවන්‍යාගාරවලට මුදල් වියදම් නොකර ඉතා සුළු වෙලාවක් වැයකොට විසිකරන සහල් වතුරෙන් රුවට වැඩ කරගත හැකි ස්වාභාවික සත්කාර රැසක් තිබෙනවා. 

කුරුලෑ මුහුණට 

 මේ ප්‍රතිකාර ක්‍රමය සුරූපී චීන ළඳුන් අතර ඉතාම ජනප්‍රිය සත්කාරයක්. ඔවුන් මෙම සත්කාරය කරනු ලබන්නේ සුදු හාල් වතුරවලින්. ඔබේ මුහුණේ සම අව පැහැගැන්වී හෝ අඳුරු වී ඇත්නම්, අව්වට පිලිස්සී ඇත්නම් ඒ සම යථා තත්ත්වයට පත්කර ගැනීමටත්  සහල් වතුර ඉතා හොඳ ස්වාභාවික බ්ලීචින් වර්ගයක්. ඔබේ සම හොඳින් පිරිසුදු කරගත හැකි පිරිසුදු කාරකයක් ලෙසත් සහල් වතුර භාවිත කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සහල් ටිකක් ගෙන බ්ලෙන්ඩර් කර පිටි කරගන්න. 
  • මඳ රස්නය සහිත වතුර
  • බිත්තර සුදු මදයක් 
  • ග්ලිසරින්

සාදාගන්නා අයුරු 

සුදු සහල්  පිටි මේස හැඳි 3 ක් ගෙන එය මඳ උණුසුම් ජලයෙන් හොඳින් දිය කර ගන්න. එය මඳක් නිවුණු පසු එයට බිත්තර සුදුමදය සහ ග්ලිසරින් ස්වල්පයක් එකතු කරන්න. මෙය පැක් එකක් ලෙස මුහුණේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. එමෙන්ම සහල් සේදූ වතුරවලින් උදේ සවස මුහුණ සෝදන්න. මුහුණ පිසනොදා එහෙමම වියළෙන්න දෙන්න. විනාඩි 30කින් පිරිසුදු වතුරෙන් මුහුණ සෝදන්න.

වියළි සමට සහල් සීරම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සහල් කෝප්ප 1 ක් 
  • ග්ලිසරීන් මේස හැඳි 1 ක් 
  • වතුර අඬු කෝප්ප 1 ක් 

සහල් වතුර පැය 7-8 ක් වතුරේ පෙඟෙන්න හැර අනතුරුව සහල් වතුර පෙරා වෙන්කර ගන්න. පෙරා වෙන් කරගත් සහල් වතුරට ග්ලිසරීන් එකතු කරන්න. ස්ප්‍රේ කළ හැකි බෝතලයකට එම ද්‍රාවණය දමා රාත්‍රී නින්දට පෙර මුහුණ පිරිසුදු කර මෙම සීරම් ආලේප කර නින්දට යන්න. පසුදා උදෑසන අවදි වූ පසු සෝදා හරින්න.         

මුහුණට සහල් ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සහල් කෝප්ප 1 ක් 
  • වතුර අඬු කෝප්ප 2 ක්
  • ඇලෝවේරා ජෙල් මේස හැඳි 2 ක් 
  • විටමින් E කරල් 2 ක් 
  • ආමන්ඩ් ඔයිල් මේස හැඳි  2 ක් 

සහල් ටිකක් ගෙන පැය 7 ක් පමණ පෙඟෙන්න තබා බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය පෑන් එකකට දමා මඳගින්නේ රත් කරගන්න. මිශ්‍රණය කෙමෙන් උකුවන විට ලිපේ ගින්දර අඩුකර ඇලෝවේරා ජෙල්, විටමින්E, ආමන්ඩ් ඔයිල්, එකතු කර හොඳින් නිවුණු පසු වීදුරු බඳුනක අසුරා භාවිතයට ගන්න. පසුව හොඳින් මුහුණ පිරිසුදු කර මුහුණේ ආලේප කරන්න.

අඳුරු ලපවලට සහල්වලින් ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සහල් කෝප්ප 1 ක් 
  • වතුර අඬු කෝප්ප 2 ක් 
  • කෝපි කුඩු මේස හැඳි 1 ක් 
  • ඇලෝවේරා ජෙල් මේස හැඳි 1 ක් 

සාදා ගන්නා අයුරු

පැය 8 ක් පමණ සහල් හොඳින් පෙඟෙන්න හැර එය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එය භාජනයකට දමා එයට කෝපි කුඩු, ඇලෝවේරා ජෙල් මිශ්‍ර කර වීදුරූ බඳුනකට දමා  ශීතකරණයේ දමා භාවිතයට ගන්න.

හිසකෙස් සඳහා සත්කාර 

හිසකෙස් යෑම, හිසකෙස් තුනීවීම, හිසකෙස් වැවෙන වේගය අඩුවීම මේ හැම එකටම හොඳම විසඳුම  සහල් වතුරෙන් ලබා ගැනීමේ  හැකියාව තිබෙනවා.ඒ වගේම හිසකෙස්වලට ලස්සන, දීප්තිමත් කළු පැහැයක් ලබා ගන්නත් පුළුවන්. 
සහල් සේදු වතුර පිරිසුදු භාජනයකට දමා දින දෙකක් හොඳින් වසා අඳුරු ස්ථානයක තබන්න. එමගින් එය පැසීමට ලක්වෙනවා. දින දෙකකට පසු හම වතුරෙන් ඇඟිලි තුඩු තෙමා හිස්කබල හොඳින් සම්බාහනය කරන්න. විනාඩි විස්සකින් පසු සෝදා ඉවත් කරන්න. මෙය හිසකෙස් යෑම වැළැක් වීමට කදිම ප්‍රතිකාරයකි. 

කල් තබාගත හැකි ආලේපනයක් 

සහල් කෝප්පයකට වතුර කෝප්ප තුනක් දමා බඳුන නොවසා විනාඩි 15ක් පමණ පිසගන්න. පසුව සහල් තැම්බුණු වතුර ටික පෙරා වෙන් කරගන්න. සහල් වතුර සිසිල් වෙන්නට ඉඩ හැර බෝතලයකට දමා සතියක කාලයක් ශීතකරණයේ ගබඩා කර තබන්න. 
පසුව මෙම මිශ්‍රණය ඔබට අවශ්‍ය අයුරින් මුහුණේ ආලේප කිරීම හෝ හිසේ ගල්වා සම්බාහනය කළ හැකිය. භාවිතයට ගැනීමට පෙර මිශ්‍රණය හොඳින් සොලවන්න. 

ඔබේ  Nude photo එකක් share  වුණොත් මොකද කරන්නේ Read Previous

ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Next

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

Realted Post

Leave a comment