රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාවයි -

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ සඳහා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව වන බව අග්‍රාමාත්‍ය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත හා  ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී අද (2024-10-03) පැවති විශේෂ සාකච්ඡාවකදීය. 

අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතනවල නිලධාරින් විසින් මේ වන විට ආයතනවල වත්මන් තත්ත්වය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයතන වල ඇතිවී ඇති ගැටලු පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී. මෙහිදී  අන්තර්ජාතික වෙළඳාම දියුණු කිරීම, ආහාර සුරක්ෂිතභාවය, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිලෙහි විනිවිදභාවය, ලංකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ වල ගුණාත්මකභාවය, අපනයන භාණ්ඩ වල තත්ත්වය හා  ප්‍රමිතිය, කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘති සඳහා ණය ලබාදීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයාදීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළාය. මෙහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම ආයතනයක් පිළිබඳව වෙන වෙනම විමසා බැලූ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ආයතන තුළ හඳුනාගත් ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වෙනමම අධිකාරියක් පිහිටුවීම හා  ආහාර සුරක්ෂිතභාවය සඳහා පනතක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවද  මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ආර්ථික සංවර්ධනය සඳහා ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සාමූහිකව, විධිමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවය. එසේම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන්,  අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරී තරිඳු වනිගසූරිය හා  චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල අධ්‍යක්ෂ ජෙනරාල්වරු, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සැලසුම් Read Previous

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සැලසුම්

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් Read Next

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්

Realted Post

Leave a comment