පවුල් ජීවිතය ඇතුළෙ විවෘත වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්
ඇය මැණික් ග්ලෙන් ය. ශ්‍රී ලාංකික කාන්තාවක වන ඇය මීට වසර 34කට පමණ පෙර විදේශගතවන්නේ විදේශ ජාතිකයකු හා විවාහවීමත් සමගය. සමාජ ක්‍රියාකාරිනියක, සමාජ සේවිකාවක, කිවිඳියක, ගී පද රචිකාවක ලෙස ද කටයුතු කරන ඇය දරුවන් තිදෙනකුගේ ආදරණීය මවකි.
විදේශ ජාතිකයකු හා විවාහවීම තුළ ඇගේ ජීවන අත්දැකීම් ද බොහෝ වෙනස්ය.
- විදේශිකයකු හා විවාහවීම මහත් සතුටක්
"මේ වෙද්දි මම විවාහවෙලා වසර 34ක්. මම අදත් සතුටුවන කාරණාවක් තමයි විදෙස් ජාතිකයකු හා විවාහවීම. එතැනින් අදහස් කරන්නෙ අපේ පිරිමි පාර්ශ්වය හෙළා දැකීමක් නෙමෙයි. නමුත් අපේ සමස්ත සමාජයම යම් තැන්වල වෙනස්විය යුතුයි කියල මම හිතනවා.
මම ගැහැනියක් ලෙස විඳින නිදහස මම හිතන්නෙ නෑ අපේ රටේ බොහෝ විවාපත් ගැහැනුන් විඳිනවා කියා.
ආකල්පීය වෙනස එලෙසටම තවම සිදුවී නෑ. පිරිමියා මූලික වූ සමාජ ක්‍රමයක තමයි අපි තවම ජීවත්වන්නෙ. හැබැයි ඒක තවත් අතකින් ආසියාවට ආවේණික ලක්ෂණයක් නිසා වෙන්නත් පුළුවන්.
- දරුවන්ගේ වැඩ අම්මලා කරන්නෙ ඇයි?
පිටරටක පදිංචි වුණත් මම ශ්‍රී ලාංකික කාන්තාවක්. මගේ ළමා විය, යොවුන් විය ගෙවෙන්නෙ ලංකාවේ. අපේ සමාජයේ නිවෙසක් ඇතුළෙ පිරිමි දරුවකුට තිබෙන සැලකිල්ල වැඩියි. කුඩා කාලෙ ඉඳලම ඔහුගේ සියලු කටයුතු වැඩිහිටි පාර්ශ්වය විසින් කර දෙන පුරුද්දක් තියෙන්නෙ. විශේෂයෙන් බාල හෝ වැඩිමහලු සහෝදරියන් ඉන්නවා නම් ඔවුන් ලවා කරදෙනවා. කාලා පිඟාන හෝදන්නෙ නෑ. ඇඳුම් ටික මැදලා දෙන්න ඕනා. පිරිමි දරුවා හැදෙන්නෙ වෙනම ආධිපත්‍යයක් එක්ක. මේ නිසා තමන් තමයි ප්‍රධාන කෙනා කියා කුඩා අවදියේම ඔළුවට දාගන්නවා. මවුපියන් දරුවො ගැන හිතන විදිය වෙනස් කරගත යුතුයි.
- පොතේ දැනුමෙන් එහාට යා යුතුයි
ඒ වගේම අපේ රටේ පාසල්වල බොහෝ වෙලාවට දෙන්නෙ පොතේ දැනුම විතරයි. අධ්‍යාපන ක්‍රමය බොහෝ වෙනස් විය යුතුයි.
මේ දරුවන් යොවුන් වියට එද්දි ප්‍රේම සම්බන්ධතා ඇතිවෙනවා. ගැහැනු ළමයකුගෙන් ආදරය ඉල්ලලා ඇය ප්‍රතික්ෂේප කළොත් වෛරයක් ඇති කරගන්නවා.මොකද මුල ඉඳලම පුරුදු වෙලා තියෙන්නෙ තමන් තමයි එක කියලානෙ. ආදරය ප්‍රතික්ෂේප කළවිට දරා ගැනීමේ ශක්තියක් නෑ. ගැහැනු දරුවන්ට පිහි පාරවල්,ඇසිඩ් ගහන්න , අන්තර්ජාලයට නිරුවත් පින්තූර හදලා දාන්න පෙලඹෙන්නෙ මේ හේතුවෙන්. මං හිතන්නෙ පහුගිය කාලයේ මේ වැනි දේවල් බොහෝ සිදුවුණා. ආත්මාර්ථකාමය තමයි මූලික හැඟීම. එහෙම පිරිමි විවාහ ජීවිතයට එළඹුණාමත් ගෙදර වැඩ ටික බෙදාගෙන කරන්න දන්නෙ නෑ. සියලු වගකීම් බිරියට පැවරෙන්නෙ. ප්‍රශ්නයක් විසඳගන්න දන්නෙ නෑ. ඉතින් දෙදෙනා අතර නිතර ආරවුල්. මේ දේවල් එක සැරේට ජීවිතවලට පැමිණි දේවල් නෙමෙයි. කුඩා කල සිටම පුරුදු වූ ක්‍රමය.
- ඔයාට දැන් පුළුවන් - ඔයා දැන් ලොකුයි
පිටරටක දරුවා අඩි තියලා නැගිටින්න පටන් ගත්තාම ඔවුන්ට තමන්ගෙ වැඩ තනියම කරගන්න පුරුදු කරනවා. හැමවෙලාවෙම අම්මා තාත්තා කියන්නෙ "ඔයාට පුළුවන් , ඔයා දැන් ලොකුයි " කියලා. දරුවා පාසලට යද්දි තනියම ඇඳගන්නෙ. කන්නෙ බොන්නෙ තනියම. අවුරුදු දොළහක් දහතුනක් වෙද්දිම පාසල් යන්නෙත් තනියම. මගේ දරුවොත් එහෙමයි.
යොවුන් වියේදි ආදර සම්බන්ධතා සාමාන්‍ය යි. ඒක ඒ වයසේදී නිරායාසයෙන් ඇතිවන හැඟීමක්. ආදරය ප්‍රතික්ෂේප කළ යුවතියක් දිහා වෛරයෙන් බලන්නේ නෑ. ඇය සාමාන්‍ය යෙහෙළියක් සේ ඇසුරු කරනවා. ඒ පිරිමි දරුවන් විවාහයේදීත් කාන්තාවට උපරිමයෙන් ගරු කරනවා.
- ගැහැනු වැඩ පිරිමි වැඩ කියල ජාතියක් තියෙනවද?
අපේ ගෙදර ගැහැනු වැඩ සහ පිරිමි වැඩ කොටස් දෙකක් නැහැ. සියලු පොදු වැඩ. මහත්තයා කරනකම් හෝ මම කරනකම් බලා ඉන්නෙ නෑ. ලංකාවෙ පවුල් ඇතුළෙ ඔය වැඩ බෙදාගැනීමේ ප්‍රශ්නයත් තියනවා.
මම රැකියාවක් කරන්නෙ නැහැ. මහත්තයා උදේට වැඩට යද්දි මට නැගිටලා ඔහුගෙ වැඩ කරදෙන්න අවශ්‍යතාවක් නැහැ. මම නැගිට්ටත් ඔහු අහන්නෙ " ඔයා රස්සාවකට යන්නෙ නැහැනෙ.ඉතින් නැගිටින්නෙ ඇයි " කියලා. ඔහු සියලු කටයුතු කරගෙන රැකියාවට යනවා. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් අපි සාකච්ඡා කරනවා. ඒක තමයි වැදගත්ම.
- ලිංගිකත්වයත් සමග ගලා යන ආදරය
ලිංගිකත්වය කියන්නේ ලෝකයේ ඕනෑම අයකුට අවශ්‍ය දෙයක් හා විඳින දෙයක්. විවාපත් දෙදෙනෙක් එකිනෙකාගේ අවශ්‍යතා හා කැමැත්ත හඳුනාගත යුතුයි මුලින්ම. ඒ හඳුනා ගැනීමට ඔවුන් එකිනෙකාට විවෘත විය යුතුයි. බටහිර සංස්කෘතියේ හඳුනාගැනීම සිදුවන්නෙ විවාහයකට පෙරයි.
කොටින්ම ඔවුන් විවාහ වන්නේ හොඳ අවබෝධයකින් පසුවයි. විවාහයට පෙර 'ලිවින් ටුගෙදර්' ඔවුන්ගේ ඒ අත්හදා බැලීමයි.
පවුලක් ඇතුළෙ මවුපියන් ආදරයෙන් කල් ගෙවන්නෙ නැත්නම් දරුවන් එය දකින්නෙ නෑ. ආදරය කිරීම, ගෞරව කිරීම, කුඩා අවදියේ සිටම දරුවන් ඉගෙන ගන්නෙ වැඩිහිටියන්ගෙන්, තමුන්ගෙ ගෙදරින්.
පෙර අතීතයේ සිටම අපේ රටේ බොහෝ පවුල්වල දරුවන් ලොකු වෙද්දි අම්මයි තාත්තයි එක ඇඳකවත් නිදාගන්නෙ නෑ. ඔවුන් ළමයි ඉදිරියේ සිපගන්නෙ නෑ. නමුත් පවුලක් තුළ ආදරය ගලා යා යුතුයි. දරුවන් එය දැකිය යුතුයි. එවිට තමයි මානවීය හැඟීමෙන් යුත් පරපුරක් ඇතිවන්නේ.
- පවුල් ජිවිතය ඇතුළෙ විවෘත වෙන්න
මං හිතන්නෙ මොන ප්‍රශ්නයක් වුණත් විවෘතව කතා කරන්නෙ නෑ තවමත් අපේ රටේ අඹුසැමියන්. මෙවැනි ගැටලු තදින්ම තිබෙනවා. ඊට පසු වෙනත් සම්බන්ධතා ඇතිවෙනවා.ඒ තුළින් තමයි අඩදබර ඇතිවෙන්නෙ. එය දෙපාර්ශවයටම මානසික පිඩනය ඇතිකරනවා. බොහෝ තැන්වල නිත්‍යානුකූල වෙන්වීම් දක්වා දුරදිග යනවා. එය අභාග්‍යයක්.
- කවදාවත් ආදරය වයසට යන්නේ නෑ
විවාපත් වූ දෙදෙනෙක් අතර ආදරය, බැඳීම් මැරෙනකම් ම තිබිය යුතුයි කියන හැඟීම හා ඒ සම්බන්ධතාව බටහිර රටවල තදින්ම තිබෙනවා. හැබැයි ඒ වගේම තමුන් එකිනෙකාට තව දුරටත් නොගැළපෙයි නම් වෙන්වී යාමේ නිදහසත් ඔවුන්ට තිබෙනවා. ඔවුන් සතුරන් නොවී වෙන්වෙනවා.
අපි දෙන්නාගේ ජීවිත වුණත් මේ තරම් ශක්තිමත් වන්නේ ඒ ආදර බැඳීම නිසයි. විශේෂයෙන් අපි එකිනෙකා අතර තිබෙන විශ්වාසය, එකිනෙකාට තිබෙන නිදහස. අපි දෙන්නගේ ආදර කතාව දලු දමන ගහක් වගේ.
පවුල් සංස්ථාව යනු අඹු දරුවන් හා පිරුණු අපූරු වූ ලෝකයකි. එය ගොඩනගාගත යුත්තේද ඒ පවුල ඇතුළතිනි. සියලුම ව්‍යාජ මතිමතාන්තර ඉවත් කොට ලාංකික පවුල් සංස්ථාව වැඩියෙන් නවමු ලෙස සිතිය යුකු කාලය එළැඹ ඇත. බටහිර හෝ කොයිම හෝ සමාජයකින් හොඳම දේ එකතු කර අපේ පවුල් සංස්ථාව නිරෝගී ආයතනයක් කර ගැනීම වටී.
Leave a comment