ලොව බොක්සිං වළල්ලේ අණසක පතුරවන ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා

වසර 2017 දි ආසියානු දක්ෂතම බොක්සිං  විනිසුරුවරිය  සහ මෙරට පළමු ඔලිම්පික් බොක්සිං විනිසුරුවරිය ඇයයි. දියණියක , බිරිඳක, මවක, ගැහැනියක ලෙසින්ද රාජ්‍ය නිලධාරිනියක ලෙසින්ද ජීවිතයේ ලද අනේකවිධ අභියෝග හමුවේ නොසැලී මුහුණ දුන් ඈ  ක්‍රීඩා වංශ කතාවේ නොමැකෙන නමක් රන් අකුරින් ලියූ අභිමානවත් ලාංකේය දියණියකි. ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කළ පළමු ශ්‍රී ලාංකේය කාන්තාව වන්නේ  ද ඇයයි. මෙවර සිරිකත"  ඇය " ට ගොඩවන්නේ  කාන්තා  ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා ය.

  • ගම් කිහිපයක ගෙවුණු ළමා කාලය 

මගේ තාත්තා රැකියාව කළේ නාවික හමුදාවෙ.  ඔහුට මාරුවීම් ලැබෙන නිසා ළමාවිය ගම් ප්‍රදේශ කිහිපයකම ගෙවී යනවා.  මට හිටියෙ නංගිලා හතර දෙනෙක්. අපේ තාත්තා රජරට බොක්සිං ශූරයා ලෙසින් තමයි විරුදාවලී ලැබුවෙ. ඔහු තම්පො සම්පත්. මගේ තාත්තා ද්‍රවිඩ ජාතිකයෙක්. අම්මා සිංහල කාන්තාවක්. ඇය මේ වෙද්දි මෙහෙණින් වහන්සේ නමක්. තාත්තා  බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටුකළා.  ඒ කොහොම වුණත් අදටත් මම ගම විදියට දකින්නෙ , ආදරය කරන්නෙ ගාල්ලට.

  • ඒ ඇයි?

තාත්තගෙ මාරුවීම් එක්ක පහවසර වෙනකම් පාසල් කිහිපයකට ගියපු මම තාත්තා අන්තිමට ගාල්ලේ රිපන් බාලිකාවට ඇතුළත් කරලා හොස්ටල් දැම්මා. නංගිලා තුන්දෙනත් පාසල් තුනක හොස්ටල්වල.. අපි හතර දෙනා එක පාසලකට නොදැම්මෙ රණ්ඩු බේරන්න බැරිකමට. කොහොමවුණත් මගේ ජීවිතේ සුන්දරම කාලෙ ගෙවෙන්නෙ ගාලු නගරයේ.

  • රැකියාවයි  - සරසවියයි

උසස් පෙළ ඉවරවෙනවාත් එක්කම තමයි දැනගත්තෙ පොලිසියෙ උප පොලිස් පරීක්ෂක තනතුරට බඳවාගන්නවා කියලා.  ඒ 1996 දි. උසස් පෙළ ප්‍රතිඵල එද්දි මම පොලිසියේ. මාව ජයවර්ධනපුර සරසවියට තේරිලා තිබුණා කැම්පස් ගියේ රස්සාව කරන අතරෙ.  පොලිසියෙ කණ්ඩායමෙත් පළමුවැනියා වුණේ මම. ඉස්සෙල්ලම රාජකාරියට වැටු⁣ණෙ වවුනියාව ට. අනිත් අය අඬනවා යන්න බෑ කියලා. ඒත් මම ගියා. 

  • ඒ මොකද?

යුද සමයෙදි ජීවිතේ බොහෝ ගැටුම්වලට  මුහුණදීලා හිටියෙ. ඒ කාලෙ නාවික හමුදා කඳවුරුවල ජීවිතේ ගෙවා තියෙන වාර අනන්තයි. . මම හිතන්නෙ මට ඒ හයිය තිබුණා.  මට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මඟ හදන්නෙ පොලිසිය. එහි බැඩ්මින්ටන්, නෙට්බෝල්, පිහිනුම් ඇතුළු බොහෝ ක්‍රීඩාවලට සම්බන්ධ වෙනවා. 1998 ලංකාවෙ දක්ෂතම වෙඩි තබන්නිය වන්නේත් මම.

  • බොක්සිං ජීවිතේ

ලෝක කාන්තා බොක්සිං පටන්ගන්නෙ  2001 වසරෙ. තායිලන්තයේ පැවැත්වෙන  ආසියානු බොක්සිං ශූරතාව ට කාන්තා  තරගත් තිබෙන නිසා මගෙන් තාත්තා අහනවා යන්න කැමති ද කියලා. මමත් කැමති වෙනවා. ඒ වෙද්දි පොලිසියෙ කාන්තා බොක්සිං නැහැ.  එවකට බොක්සිං සංගමයේ සභාපති ලෙස  කටයුතු කළ ඩී.අයි.ජී. තංගවේලු මහතා තමයි තාත්තට කියන්නෙ මාව පුහුණු කරන්න කියලා.  මට පුහුණු වෙන්න ලැබුණෙ සති දෙකයි. හිතේ හයිය විතරයි තිබුණෙ. එහිදි මම දිනන්නෙ නැහැ. නමුත් දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වෙනවා. එහෙම පිට පිටම අවුරුදු පහක්ම මම දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබනවා.  පසුව ඉන්දියාවේ ආසියානු කුසලාන කරගාවලියට සහභාගී  වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරගයකට ගිය පළමු පොලිස් කාන්තාව මම. ඒවගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික බොක්සිං තරගයකට ගිය පළමු පොලිස්  කාන්තාවත් මම. 
ඒ  කොහොම වුණත් මම 2006 දි බොක්සිං නතර කරනවා.

  • හේතුව?

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ වැඩකරන්න නැගෙනහිර ටිමෝරයට යනවා. ඒ ගිහින් ඇවිත් විවාහ වෙනවා. ඔහුත් එස්.ටී.එෆ්.සාමාජිකයෙක්. සී.ජේ.ඩී.වික්‍රමනායක. අපි ආදරය කරලා විවාහ වෙන්නෙ. දැන් අපේ දුව කොළඹ විශාකා විදුහලේ අධ්‍යාපනය ලබනවා. මගේ ජීවිතේ ශක්තිය ඒ දෙන්නා තමයි.

  • විනිසුරුවරියක් ලෙස 

හරියටම 2009 අවුරුද්දෙ ලංකාවෙ ප්‍රථම වතාවට බොක්සිං  විනිසුරුවරියන් තෝරාගැනීමට අයැදුම්පත් කැඳවනවා. එහි විභාගයට මමත් ලියනවා. පරීක්ෂණයට එන්නේ ලෝක බොක්සිං විනිසුරු සංගමයේ සභාපතිවරයා. එතැන් සිට මම අන්තර්ජාතික වශයෙන් විනිසුරුවරියක ලෙස අපේ රටේ ජාතික කොඩිය, අභිමානය මේ මුළු ලෝකය පුරාම අරගෙන ගිහින් තියෙනවා. එ් අත්දැකීම් මතක්වෙනකොටත් පුදුම හිතෙනවා.

  • ඔලිම්පික් සිහිනය 

මම2017 දි ආසියානු දක්ෂතම බොක්සිං  විනිසුරුවරිය ලෙස සම්මාන ලබනවා. මම ඉහළම ශ්‍රේණිගත කිරීම්වල හිටියෙ. එහෙම වැඩකරද්දි තමයි මම 2021 ටෝකියෝ හි පැවැත්වෙන ඔලිමිපික් තරගාවලියට තේරෙන්නෙ. විනිසුරුවරියක ලෙස පත්වන පළමු ලාංකික කාන්තාව  මම. මේ කාලය කොවිඩි වසංගතය නිසා අනේක විධ ගැටලුවලට මුහුණ දුන්නා.

  • පියාගේ මරණය 

මගේ ලෝකෙ වීරයා වුණේ තාත්තා. ඔහුගෙ එකම හීනය වුණේ කවදාහරි දවසක මම ඔලිම්පික් තරගයක් නියෝජනය කරනවා දකින්න.  මම රට ඉද්දි මහත්තයා කෝල් කරලා කියනවා තාත්තා නැතිවුණා කියලා.  මට ඒ වේදනාව අදටත් දැනෙනවා. මම දරාගෙන ලංකාවට එනවා.  මම රට ඉඳලා එන නිසා තාත්තගෙ මරණෙ තිබුණු ශාලාවෙ හැම කෙනෙක්ම ඉවත් කරනවා. මොකද මම නිරෝධායනය වෙලා නැති නිසා. මම මගේ අත් දෙක එකතුකරලා තාත්තට වඳිනකොට තමයි මැසේජ් එක එන්නේ මාව   ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ විනිසුරුවරියක ලෙස තෝරාගත්තා කියලා.  මම එදා ඒක බාරගන්න බැහැ කියනවා. ඔවුන් තමයි කියන්නේ තාත්තගෙ හීනෙ සැබෑ කරන්න නම් මේක බාරගන්න කියලා. මම ඒ අභියෝගය බාර ගන්නවා. අන්තිමට ඔලිමිපික් බොක්සිං විනිසුරු ඉතිහාසයේ වාර්තා රැසක් තියලා අපේ ජාතික කොඩිය ඉහළම තැනක රන්දන්න පුළුවන් වෙනවා.

  • අභියෝග ජයගත්  හැටි 

බිරිඳ, අම්මා,රාජ්‍ය සේවිකාව, ජාත්‍යන්තර විනිසුරුවරිය කියන භූමිකාවලට අමතරව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමෙි සභාපති විදියටත් වැඩ කරනවා. මේ හැමතැනකම විවිධ අභියෝග තිබුණා. මම අභියෝගවලට මුහුණ දුන්නා. ඒත් කවදාවත් මගින් හැරෙන්න හිතුවෙ නෑ. අධ්‍යාපනය පැත්තෙන් ලබන්න පුළුවන් ඉහළම සුදුසුකම් දිනාගත්තා. ඔලිම්පික් හීනය විනිසුරුවරියක ලෙස  හෝ ලබාගන්න පුළුවන් වුණේ මම කිසි දෙයක් ලේසියට අත නොහැරි නිසා.
ගැහැනියක් විදියට අසරණවෙන තැන් ඕනෑතරම් තිබෙනවා. ඒත් එහෙම වුණා කියලා අභියෝග අතහරින්න නරකයි. මම අද මේ සියලු දෑ ලබන්නේ ඒ නිසයි.
එතැනදි මගේ තාත්තා ,මහත්තයා ඇතුළු පවුලේ අය වගේම පොලිස් දෙපාර්තමේන්තුව ම මට හයියට හිටියා.
අනාගතය
බලාපොරොත්තුවක් තිබෙනවා ලෝකයේ සිටින බොක්සිං විනිසුරුවරුන්ට ගුරුවරියක වෙන්න. බොක්සිං නීති රීති උගන්වා මෙම ක්‍රීඩාව ඉහළටම ඔසවන්න. ඒ හීනයත් දවසක සැබෑ කරගන්න ශක්තිය මට තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Previous

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ Read Next

දුන්නෙන් ලෝකය අල්ලන අපේ ක්‍රීඩිකාවෝ

Realted Post

Leave a comment