ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත් ඇය....

බොහෝ අය මට හිනා වුණා. ගස්වල කොල කඩනවා. තේරුමක් නැති වැඩ කියලා. මම කිසිම කෙනෙක් කියපු කිසිම දෙයක්  ඇහුනෙ නෑ වගේ මගේ වැඩේ කරගෙන ගියා. අද මම ලෝකයේ.රටවල් හතරකට   මගේ නිෂ්පාදන යවනවා.  නින්දා, අපහාස ඉදිරියේ හිතට වැටෙන්නට ඉඩ දෙන්නට එපා. නොනැවතී ඉදිරියටම යන්න. මේ එම සුවිශේෂී ව්‍යවසායිකා  ආර්. පී. ඩී. තිලිණි මහේෂිකා විජේරත්න මහත්මියගේ කතාවයි. 


     ජාත්‍යන්තර කාන්තා දින සැමරීමට සමගාමීව ළමා හා කාන්තා කාර්යාංශය,  ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය එක්ව  මෙම වසරේ    සංවිධානය කරනු ලැබූ  කාන්තාවන් ඇගයීම් උළෙලේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ  වයවසාකයිකාවන් අතරින් පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ තිලිණි මහේෂිකා විඡේරත්න මහත්මියයි.

     පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත,  රත්මල්ල ප්‍රදේශයේ පදිංචි ඇය විජලනය කරනු ලබන ආහාර වර්ග පවුඩර් ලෙස අපනයනය කරනු ලබයි.


     මුරුගා,  බෙලි, කොස්, දෙල්, යකි නාරං, අඹ, පැපොල්, දිවුල් ,නිල් කටරොළු  , හීන් බෝවිටියා,   වැනි ආහාර වර්ග කිහිපයක්ම  ඇයගේ කර්මාන්ත ශාලාවේ විජලනය කර අපනයනය කරනු ලබන අතර දේශීය වෙලදපොල වෙතද අලෙවි කිරීම සිදු කරනු ලබයි.


    ඇය මෙම වයාපෘතිය ආරම්භ කර වසර දෙකක පමණ කාලයක් වන අතර ඇමරිකාව,  නවසිලන්තය,  සූඩානය,  ඩුබායි යන රටවල් හතර වෙත අපනයනය කිරීම සිදු කරනු ලබයි.


   ජාත්‍යන්තර කාන්තා දින සැමරීමට සමගාමීව ළමා හා කාන්තා කාර්යාංශය,  ශ්‍රී  ලංකා කාන්තා කාර්යාංශය එක්ව සංවිධානය  කරනු ලැබූ  කාන්තා දින සැමරුම පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක,  අගමැතිනිය හරිනි අමරසූරිය, සහ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්  බත්තරමුල්ල,  සුහුරැපාය, දහනව වෙනි මහලෙහි ශ්‍රවණාගාරයයේදී පවත්වා ඇත. 


    එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයවසාකයිකාවන් අතරින් පලමු  ස්ථානය  තිලිණි මහේෂිකා විඡේරත්න මහත්මිය හිමිකර ගැනීම සිදුවිය. 


       තිලිණි මහේෂිකා විඡේරත්න මහත්මිය තම වයාපාරයේ ආරම්භය ගැන මෙන්ම වර්තමාන වයාපාරය ගැන හඬ අවදි  කළේ මෙලෙසිනි.


          මගේ වයාපාරය ආරම්භ කරලා වසර දෙකයි. මුලින්ම මම කළේ මුරුගා කොල වේලලා පවුඩර් ග්‍රෑම් සීයක් සාම්පල් ලෙස අලෙවි කිරීම.  කොලඹට තමයි මම එම සාම්පලය යැවුවේ. රුපියල් දෙසිය හැත්තෑවක මුදලක් තමයි මගේ මුල්ම ආදායම වුණේ. එදා මට ආස හිතුනා ආහාර විජලනය කරන ව්‍යාපාරයක් පටන් ගන්න.  මම හිමිහිට මගේ ව්‍යාපාරය ආරම්භ කරා. 

මුරුංගා වලින් පටන් අරගෙන අද වෙනකොට අඹ, මුරුගා,  පැපොල්,  දිවුල්, කොස්, දෙල්, නිල් කටරොළු, යකි නාරං, හීන් බෝවිටියා   කියන ආහාර වර්ග බොහොමයක්  නිෂ්පාදනය කරනවා. මෙම ආහාර ද්‍රව්‍ය විජලනය සිදුකර පවුඩර් බවට පත් කරනවා. අද වනවිට ඩුබායි, නවසිලන්තය,  ඇමරිකාව,  සූඩානය කියන රටවල් හතරකට අපනයනය කෙරෙනවා.

දේශීය වෙලදපොලටත් අලෙවි කරනවා. අද වනවිට ස්තීර සේවකයින් හතර දෙනෙකුට සහ වක්‍රව දස දෙනෙකුට පමණ රැකියා නිර්මාණය කර තිබෙනවා.


  හොදම ව්‍යවසායිකාවක්  වීම අහම්බයක් නොවේ. අභියෝග එතරම්ම තිබෙන්නට ඇති, උදවුවට , හයිය,  හත්තිය දෙන්නට පිරිසක් ඇති. ඇය ඒ පිළිබඳව හඬ අවදි කලේ මෙලෙසිනි.


      අභියෝග එමට ආවා.  කිසිවක්ම ගණන් නොගෙන මගේ කාර්යය හරියටම කරා.  මුලින්ම මුරුගා කොල කඩනකොට සිනහ වුණ අය හිටියා. පිස්සු වැඩ කරනවා. ගස්වල කොල කඩලා වේවලා දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒ අය කිවුව කිසිම දෙයක් ගැන මම හිතන්න ගියේ නෑ. මට පුළුවන් කියන විශ්වාසය මා ලග තිබුණා.  ඒ වෙනුවෙන් මම මහන්සි වුණා. නිදි වරපු රැයවල් එමටයි. විදින්නට වුණ දුෂ්කරතා එමටයි. නොසැලෙන කණුවක් වගේ මගේ ගමනම මම ආවා.


   මගේ මහත්තයා   සුසන්ත  ප්‍රියංකර විජේසූරිය.  මගේ ස්වාමියා මගේ ලගින් නොසෙල්වී සිටිනවා. මට උදවු කරනවා. මේ දෙය කර ගන්න කියලා මාව නිදහස් කර තිබෙනවා. මගේ.යෝධ සෙවනැල්ල මගේ ස්වාමි පුරැෂයා. මට පුළුවන් කියන ආකල්පය දෙන්නේ ඔහු.


     මගේ අම්මයි,  තාත්තයි දෙන සහයෝගය හරිම වටිනවා. මේ වයාපාරය නිසා මට දරැවන් සහ පවුල වෙනුවෙන් යොදවන්න තියෙන කාලය අඩුයි. මගේ දරැවන් දෙදෙනා ඇස් දෙක වගේ බලා ගන්නේ මගේ මගේ දෙමව්පියන් දෙපල. ඒ වගේම මම වෙනුවෙන් ඔවුන් සියලුම වගකීම් දරමින් මට දෙන්නේ අපිරිමිත සහයෝගයක්.  වාසනාවන්ත දියණියෙකුත්, පුතෙකුත් මට සිටිනවා. පුතා පිංසර  චාතූර් විජේසූරිය.  දියණිය විශ්වනී ලක්මිතුනි විජේසූරිය.  දෙන්නම   පාසල් අධ්‍යාපනය ලබනවා.   අම්මා නැතිව තමන්ගේ සියලුම දේවල්, අධ්‍යාපන කටයුතු කරන්න ඒ දෙන්නා පුරුදු වෙලා සිටිනවා. අම්මා එනකන්, කරනකන් බලා හිඳීමට පුරුද්දක් එයාලා දෙන්නා ලග නැහැ. ඔවුන්ගේ පරෙස්සම ඔවුන් හදාගෙන තිබෙනවා.


     පවුලේ අයගෙන් ලැබුණ නොමද සහයෝගය මගේ ගමන සාර්ථක කර ගැනීමට බොහෝ ඉවහල් වුණා. ඒ වගේම මගේ සේවක පිරිස ලබාදෙන සහයෝගය.  ඔවුන් නොසිටින්නට  මට අද මේ ගමන තනිවම සාර්ථක කර ගන්න බැහැ. අපි එකම ජාලයක් වගේ වැඩ කරන්නේ. මේ ඇගයීම,  මේ ජයග්‍රහණය තනිවම මා සතු එකක් නෙවෙයි. අපි සියලුම දෙනාගේම අනේකවිධ කැපවීමක ප්‍රතිපලයක්.


    මේ ජයග්‍රහණයට ගමන් මාවතක් ඇති.    පාර පෙන්නූ පිරිසක් ඇති. ඒ අය ගැන තිලිණි කිවුවේ මෙහෙමයි.
     පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලින් තමයි මග පෙන්වීම ලැබෙන්නේ. වනිතා අංශය,  අපනයන අංශය,  කුඩා වයාපාර අංශය. මේ අංශ වල නිලධාරී මහත්, මහත්මීන් සතුටින් මතක් කරනවා. ඔවුන් තමයි මග පෙන්වීම සිදු කළේ. කුරුණෑගල එස්, ඊ, ඩී, ආයතනය ආදරණීයව සිහිපත් කරනවා.  මේ ආයතන හැමදාම මට උදවු කළා. ශක්තිය දුන්නා. මග පෙන්වීම කළා. මගේ ජයග්‍රහණය ඔවුන්ගේ  ආශිර්වාදය වනු නොඅනුමානයි. 


    අරමුණක් නොමැතිව ඉලක්ක හඹා යන්නේ නැත.  ඇයටත් අරමුණු ගොඩක් විය.  මල්ඵල ගැන්වුණ මෙන්ම ඉදිරියට සිතේ සැඟවුණ බොහෝ දේ ඇති බව ඇයගේ වචන වලින් කියවුණ අයුරු මෙසේය. 


      මට යමක් කරන්න පුලුවන් කියන හැගීම මට තිබුණා. පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම මගේ එක අරමුණක් වුණා. රුපියල් එකසිය හැත්තෑවේ පලමු ආදායම අද වෙනකොට  මාසිකව මම විශාලව ආදායමක් ලබනවා.  දෙදාස් විසිපහ වසර තුල  මගේ කර්මාන්ත ශාලාව ලොකුවට හදන්න ආශාවෙන් ඉන්නවා.  සේවක සංඛ්‍යාව වැඩි කරන්න.  වයාපාරය තවත් පුළුල් කරන්න අරමුණු ගොඩක් තියෙනවා.  නැචුරල් ෆුඩ් සන්නාමය ලෝකයේ රටවල බබළවන්නට තමයි ලොකුම අරමුණ.  මහන්සිය තුලින් අපේ රටට තව.තවත් ඩොලර් ගෙන එන්නට.  මේවැනි අරමුණු රැසක් සිතේ තියෙනවා.


 සාර්ථකත්වය ජයග්‍රහණය කරපු තිලිණි මහේෂිකා ශ්‍රී ලංකාවේ.වනිතාවන්ට යමක් කියන්නට අමතක කළේ නැත.  ඒ සමස්ථ කාන්තාවටම තම අභිමානය ගොඩ නගන්නට  හැකි බව කියන්නටය.


    හෑම කාන්තාවකටම පුලුවන් අභිමානවත් කාන්තාවක් වෙන්න.  තමන්ට පුලුවන් දෙයින් යමක් කරන්න.  තම පවුලට ආර්ථික ශක්තියක් වෙන්න.  බොහෝ දෙනා බොහෝ දේ කියාවි. වට්ටන්නට උත්සාහ කරාවි. නෑසුනා සේ තමන්ගේ ගමන යන්න.  නොදුටුවා සේ තමන්ගේ ගමන යන්න.  ජයග්‍රහණය නියතයි. සියලුම දෙනාට පුළුවන්.  තමන්ගේ ජීවිතය හැඩ කර ගන්න,  ලස්සන කර ගන්න තමන්ගේම ශක්තිය තමන්ම වෙන්න.  ඒක තමයි සමස්ථ කාන්තා පරපුරෙන්ම ඉල්ලන්නේ.
     වයවසාකයිකාවක් වන්නට පහසු නැත. සාර්ථක වයවසාකයිකාවක් වීම ඒ.තරමටම අපහසුය. අද ඇය සාර්ථක වයවසාකයිකාවක් ලෙස අභිමානයට පාත්‍රව ඇත. තව බොහෝ දුර යාමට ඇයට අවැසිය. එම ගමන් මාවතේ රළු, බොරලු වෙනුවට සිනිඳු මල් පෙති ඇහිරේවා , "සිරිකත " පැතුම එයය.

ඡායාරූප සටහන. 
01. තිලිණි මහේෂිකා විජේරත්න මහත්මිය අගමැතිනිය අතින් ඇගයීමට පාත්‍ර වෙමින්.


02. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යවසායිකාව ආර්. පී. ඩී. තිලිණි මහේෂිකා විජේරත්න මහත්මිය. 

 


03. ඇයගේ නිෂ්පාදන සන්නාමය.

   

 


      සටහන සහ ඡායාරූප 
හෙට්ටිපොල ධම්මිකා බාලසූරිය

සුදු වෙනවා කියන්නෙ මොකද්ද ? මේවා හිතලා පැහැපත් වෙන්න..  සිරිකත කතාව විත් අශ් සමඟ රූපලාවණ්‍ය ශිල්පී දනංජය හදුන්ගොඩ  කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ Read Previous

සුදු වෙනවා කියන්නෙ මොකද්ද ? මේවා හිතලා පැහැපත් වෙන්න.. සිරිකත කතාව විත් අශ් සමඟ රූපලාවණ්‍ය ශිල්පී දනංජය හදුන්ගොඩ කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ

ඔටුන්නක් දිනන්න කැමති ඔබ, කුමරියක් කුමාරයෙක් වෙන්න කැමති ඔබ තරඟයකට ඉදිරිපත් වෙනකොට මේවා බලන්න...  කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ Read Next

ඔටුන්නක් දිනන්න කැමති ඔබ, කුමරියක් කුමාරයෙක් වෙන්න කැමති ඔබ තරඟයකට ඉදිරිපත් වෙනකොට මේවා බලන්න... කතාව විත් අශ් | රූපලාවණ්‍ය ශිල්පී දනංජය හඳුන්ගොඩ

Realted Post

Leave a comment