දරුවන් සිය ගණනක් තම ඇකයේ නැළ වූ - සුනේත්‍රා අම්මා

ජීවිතය යනු සතුට සැනසුම පමණක් පිරුණු තැනක් නොවේ. දුක, කඳුළ ද දරා අපේක්ෂා මත විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නොනැවතී යා යුතු ගමනකි. ඒ ගමන තුළ  මුළු ජීවිතයම අනුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කැප කළ හැකි කාන්තාවක වේ නම් ඇය උතුම් වූ ගැහැනිය කි.  මෙවර සිරිකත " ඇය" ට ගොඩවන්නේ එවන් දිරිය මාතාවකි. ඇය බොහෝ දරුවන්ගේ  " සුනේත්‍රා අම්මා " ය. ඕ ළමා වැඩිහිටි නිවාස රැසක නිර්මාතෘවරියක වූ සුනේත්‍රා වීරසිංහයි.

  • ළමා විය

මගේ අම්මගෙ ගම කඹුරුපිටිය. තාත්තා සියනෑ කෝරළේ.  ඒත් අපි ඉපදෙන්නෙ ගොතටුවෙ . මට හිටියෙ අක්කයි, මල්ලිලා දෙන්නයි.  පොඩි කාලෙ ඉඳලම දැක්කෙ තාත්තගෙ සමාජ සේවය.. තාත්තා හැම වෙලාවෙම කතා කළේ හැමෝටම සමානව සලකන්න කියලා. මටත් පිහිටන්නේ ඒ පුරුද්ද තමයි. ඒ දවස්වල අපේ ගෙදර සම සමාජ පක්ෂයේ රැස්වීම් තියෙනවා. සම සමාජ පක්ෂයේ දැවැන්ත චරිත නිතර අපේ ගෙදර ⁣ගැවසුණා. මට ඒ අයගෙත් ඇසුර  නිතරම ලැබුණා. 

  • පාසල් විය

මුලින්ම ගියේ ගොතටුව මහා විදුහලට. ශිෂ්‍යත්වය සමත්වෙලා ගෝතමී බාලිකාවට එනවා. ඇත්තටම මම අදටත් පාසල එක්ක ඉන්නවා. ඒක පුදුම බැඳීමක්. පාසලේදි මම දක්ෂ සිසුවියක්. හැම අංශ⁣යකින්ම. අම්මයි තාත්තයි අපිට හොඳට ඉගැන්නුවා.  රාජගි⁣රියෙ ගෞතම තපෝ වනයට නිතරම යනවා.  හරිම සුන්දර පාසල් කාලයක් මට තිබුණෙ.

  • අඩු වයසින් ව්වාහයට 

මට ඉතාම අඩු වයසින් විවාහ වෙන්න වුණා. අවුරුදු 19 දි. රාජ්‍ය සේවකයෙක් ඔහු. මගේ මස්සිනා කෙනෙක්. අපි පදිංචියට ගියේ කඹුරුපිටිය ට. එ් මහත්තයගෙ ගම.ඇත්තටම අපි සතුටින් හිටියා. දුවෙකුයි පුතෙකුයි හිටියා. ඒත් නොසිතූ වෙලාවක ජීවිතේ සියල්ල අනෙක් පැත්තට පෙරළුණා.

  • ඒ ඇයි?

මට තුන්වැනි පුතා ලැබෙන්න හිටියෙ. දවසක් හදිසියේම කාන්තාවක් අපේ ගෙදර ආවා. ඇයටත් දරුවෙක් ලැබෙන්න හිටියෙ. ඇය ඒ දරුවා මගේ මහත්තයාගෙ කියලා අපෙ ගෙදරදි වස බොන්න හැදුවා. ජීවිත දෙකක් නැතිවෙයි කියන හැඟීම මගේ හිතට ආවා. ඇයත් ගැහැනියක්. මම පැනලා බේරගත්තා. ඇත්තටම එදා තමයි මම නිවන් ගියේ. රණ්ඩුවෙලා ,ගහ බැණගෙන ප්‍රශ්න විසඳගන්න බැහැනෙ. මම ලොකු දරුවො දෙන්නා මහත්තයගෙ අම්මට බාරදීලා ඇඳුම් දෙක තුනක් අරන් අපේ නිවෙස අර කාන්තාවට බාර දීලා එළියට බැහැලා ආවා. මගේ මඟුල් මුද්ද පවා ඇය⁣ට දුන්නා. එතැනදි යම් කලකිරීමක් ඇතිවුණා. ඒත් මම කොළඹ ආවා අම්මලා ළඟට.

  • ඊට පස්සෙ

අපෙ අම්මලා නඩු දැම්මා. ඒ වෙන මොකකටවත් නෙමෙයි. දරුවන්ගෙ අයිතීන් වෙනුවෙන්. මට ජීවිතේ ගැන කල කිරීමක් ඇතිවෙලා මහණවෙන්නත් ගියා ආරණ්‍යයකට. එතැන ටික දවසක් ඉන්නකොට එතැන ගැනත් යම් කලකිරීමක් ඇතිවුණා. මම හිතින් මහණවෙලා ගෙදර ආවා.දවසක් නඩු වාරයකට යනකොට තමයි  ' ළමා සහ මාතෘ අභිවාද්ධි මධ්‍යස්ථානය ’ කියන බෝඩ් එකදැක්කෙ. ඒත් අම්මා ඒක බලන්න යන්න දුන්නෙ නෑ.

  • තනියම ගිය ගමන

දවසක් මම ගෙදර ට හොරෙන් එතැනට ගියා. එතැන හිටපු අය දැක්කම මම බිම වාඩිවෙලා ඇඬුවා. දද, කුෂ්ඨ, හොරි හැදුණු අය පවා හිටියා. මට කොහොමත් පොඩි කාලෙ ඉඳලම නර්ස් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියෙ. එතැන බිත්තියේ පින්තූරක් තිබුණා එහි හිටිය කෙනා  දැක්කම මට පුදුමත් හිතුණා. එ්  කඹුරුපිටියෙ අපේ මුත්තා කෙනෙක්.
.මම ඔහු ගැන අහනකොට  තමයි ඔහුගෙ දුව තමයි එතැන නිර්මාතෘවරිය කියා හැඳිනගන්නෙ. ඇය පුෂ්පා හේවාවිතාරණ. අනගාරික ධර්මපාල පරම්පරාවෙ කෙනෙක්. මම පුතා ලැබුණට පස්සෙ දරුවා අම්මට දීලා එතැන රැකියාවට යනවා.

  • ආබාධිත දරුවන්ට අත්වැලක්

මේ වෙද්දි මගේ ජිවිතයම වෙලා තිබුණෙ සමාජ සේවය. . ආබාධිත දරුවන්ට ඉගැන්වීම් ආදිය සිදුකළා. ඔවුන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට යොමු කළා. හැබැයි යම් කලකිරීම් ඇතිවුණා. ගොඩක් තැන්වල පාලන අධිකාරිය කැමති වුණේ ආබාධිත දරුවන් ඒ විදියටම තියන්න. ඒ දරුවන්ට උගන්වලා ඉස්සරහට ගන්න කැමැති වුණේ නෑ.. ඒත් මම මගේ වැඩපිළිවෙළ නතර කළේ නැහැ.

  • උසස් අධ්‍යාපනය 

මට උසස් අධ්‍යාපනය සඳහා පිලිපීනයේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වය ක් ලැබුණා.85 - 86 කාලයේ. ඒ ඉගෙනගෙන ආවට පස්සෙ තමයි මට හිතුණෙ ළමා හා වැඩිහිටි නිවාසයක් අරඹන්න ඕන කියලා. ඒ කාලයේදිත් මගේ දරුවො තුන්දෙනා බලාකියාගෙන හැම දෙයක්ම ඉටුකළේ මගේ අම්මයි,නැන්දම්මයි. ඒ දෙදෙනාට අදටත් මම ණයගැතියි.

  • අලුත් තැනක අලුත් ඇරඹුමක් 

ඔව්. මට තැනක් දුන්නෙ ගංගාරාමයෙ පොඩි හාමුදුරුවෝ ගල්බොඩ ඤාණිස්සර හිමියන්. මම හාමුදුරුවෝ ළඟට ගියාම  බැණුම් අහගන්න,අභියෝග බාරගන්න පුළුවන් නම් තැනක් දෙන්නම් කියලා හාමුදුරුවෝ මට තැනක් දුන්නා පන්සල අසලම. ඒක තමයි සුහද නිවාසය. පටන් අරන් ටික කාලයක් යද්දි ළමයි  47ක් හිටියා. දවසක් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ආවා. ඔහු පුදුම වුණේ මම වගේ තරුණ කෙනෙක් මේ වගේ වැඩක් කරනවා කිව්වම. මට ඕනම දෙයක් ඉල්ලන්න කිව්වා.

  • ඔබ ඉල්ලුවද ? 

ඉල්ලුවා. මේ වැඩපිළිවෙළ ගෙනයන්න ඉඩමක්. ඒක මට දුන්නා මුල්ලේරියාවෙන් අක්කර 5ක්. ඒත් ඒකට වෙනත් පාර්ශ්ව මැදිහත් වුණා. මගේ අදහස්, මගේ ප්ලෑන් ඒවා සේරම අරගෙන ගොඩනැගිලි හදලා මට පඩියට වැඩ කරන්න එන්න කිව්වා. ඇත්තටම කලකිරුණා. නමුත් මම හිත හදාගෙන වැඩ කළා. එහෙම කරලා තමයි ලංකාවෙ ආයතන පහක් හැදුවේ දරුවන්,වැඩිහිටියන් වෙනුවෙන්.

  • අභියෝග

අනන්තවත් තිබුණා. පවුල් ප්‍රශ්න එනකොට ඒවා කාටවත් ගැටලුවක් නොවෙන විදියට විසඳගත්තා. මම තුන්වැනි පුතා ලැබුණට පස්සෙ මගේම කිරි දරුවන් විසි එක් දෙනෙකුට  දීලා තියෙනවා. අද ගොඩක් කාන්තාවො තමන්ගෙ දරුවන්ටවත් කිරි දෙන්නෙ නෑ, ඇඟේ හැඩය නැතිවෙයි කියලා. ඒත් තරුණ කාලෙ මට එහෙම වුණේ නැහැ. තනියම ඉන්නකොට විවිධ යෝජනා ආවා. ඒත් ඒ හැම එකක්ම මම වළක්වා ගත්තා. මොකද මම හිතින් මහණ වෙලා හිටියෙ. සිවුර දාගත්තෙ නැති එක විතරයි.

  • අද දවස

දැන් මටත් අවුරුදු 68ක්. මටත් වාරු නැතිව යනවා ටික ටික.  ඉස්සර මහ රෑත් වාහනය අරගෙන හැම තැනම යනවා මේ නිවාසවල වැඩකටයුතු වෙනුවෙන්.නමුත් අද එහෙම කරන්න අමාරුයි. මම සමාජ සේවා කටයුතු මොනතරම් කළත් මගේ දරුවො හොඳ තැන්වල ඉන්නවා. දුව ගුරුවරියක්, අනෙක් පුතා මගේ ළඟ. බාල පුතා ස්විඩන්වල. දරු මුනුපුරු  මිණිබිරියෝ හත් දෙනෙක් ඉන්නවා. ඒ අය මගේ හැම දෙයක්ම සොයා බලනවා. මට ලොකු බලාපොරොත්තු නෑ.. කෙනෙක් වයසට ගියාම, ලෙඩ වුණාම විඳින දුක මම අනන්තවත් දැක තියෙනවා. මම ප්‍රාර්ථනා කරන්නෙ කාටවත් කරදරයක් නොවී ජීවිතයේ ඉතිරි ටිකත් ගෙවී යන්න කියලයි.


ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ

 

අනු කනූගෙ හුටපටේ Read Previous

අනු කනූගෙ හුටපටේ

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Next

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

Realted Post

Leave a comment