දෙස් විදෙස් භික්ෂූන්ටත් බෞද්ධ දර්ශනය උගන්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ආචාර්ය ඉරෝමි ආරියරත්න
අභියෝග මනාලෙස හඳුනාගනිමින් එම අභියෝග සඳහා නිවැරදිව මුහුණදීමට හැකි නම් කාන්තාවකට තම ජීවිතය වර්ණවත් කරගැනීම එතරම් අපහසු කාරණාවක් නොවේ. ජීවිතයේ ගත් නිවැරදි තීන්දු, තීරණ මත සමාජයට බරක් නොමැතිව වැඩදායී කාන්තාවක ලෙස සමාජගත වූ ඇය, කැලණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන හා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඉරෝමී ආරියරත්න යි.
ඇය සුවිශේෂී ගැහැනියකි. අප එසේ කියන්නේ මෙරට භික්ෂූන් වහන්සේ අති බහුතරයක් ඉගෙනුම ලබන කැලණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන හා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂඨ කථිකාචාර්යවරිය ඇය වන නිසාය. භික්ෂූන් වහන්සේලාට බුදු දහම ගැන කියාදෙන මෙරට එකම ආචාර්යවරියද ඇයයි.
පාසල් කාලය
මහනුවර, තෙල්දෙණියෙනුත් එහා ගිඩ්ඩව තමයි මගේ ගම. ඉතාම දුෂ්කර, නමුත් සුන්දර ගමක්. පහ වසර වෙනකම් පාසල් ගියේ ගිඩ්ඩව කනිෂ්ඨ විද්‍යාලයට. අම්මයි, අප්පච්චියි දෙන්න ම රජයේ රැකියා කළේ. අයියයි, මල්ලියි, මමයි පවුලෙ හිටියෙ. අපි මහ වත්පොහොසත්කම් තිබුණු අය නෙමෙයි. ඒත් හොඳට උගන්වන්න අම්මයි අප්පච්චියි මහන්සි වුණා. ගමේ ඉස්කෝලෙ ශිෂ්‍යත්වය සමත්වුණු පළමු ළමයා මම. ඊට පස්සෙ මම මහනුවර ස්වර්ණමාලි බාලිකාවට ආවා. නමුත් පසුව මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළු වුණා. පාසලේ මම දක්ෂ ශිෂ්‍යාවක්. පද්‍ය රචනාවලින් ජාතික හා සමස්ත ලංකා ශූරතාව පවා හිමිවුණා. පාසලේදි විෂය බාහිර ක්‍රියාකාරකම් සියල්ල ම පාහේ කළ කෙනෙක් මම. ඇත්තට ම ඒ ජීවිතේ සුන්දරම කාලෙ.
ඊට පස්සෙ පේරාදෙණියට
ඔව්. උසස් පෙළ විශිෂ්ට ම ප්‍රතිඵලයක් අරන් යන්නෙ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිටවෙන්නෙ 2005 වසරේ. බෞද්ධ අධ්‍යයන විෂයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල එක්ක. සරසවියෙ තුන්වැනි අවුරුද්දෙ විශ්වවිද්‍යාලවල දක්ෂත ම ශිෂ්‍යාවට හිමි ලිනී දිසානායක ශිෂ්‍යත්වය හිමිවුණා. ඒ වගේම පළමු පන්ති සාමාර්ථයට හිමි අධ්‍යයන විශිෂ්ටතා ශිෂ්‍යත්වයත්, බෞද්ධ අධ්‍යයන විෂයට හිමි සද්ධර්ම පිරිවෙන් ත්‍යාගයත් 2005 වසරේදි හිමිවුණා. දර්ශනපති උපාධිය සඳහා පේරාදෙණියෙන් හිල්ඩා ඔබේසේකර ශිෂ්‍යත්වයත්, තායිලන්තයේ ධම්මච්චායි ආයතනයේ ශිෂ්‍යත්වයත් ලැබුණා.
අභියෝගාත්මක විෂයයක්
විශ්ව විද්‍යාලය ඇතුළෙ මම හදාරන්නෙ බෞද්ධ අධ්‍යයනය. මේ විෂය තෝරාගනිද්දි මං වටා හිටි හැමෝම පුදුම වුණා. පාසල් හෝ දහම්පාසල් ගුරුවරියක් වෙනවාට එහා තනතුරක් නොලැබෙනබව බොහෝ අය කිව්වා. ගෙදරින් වුණත් කැමති වුණේ නැහැ. අම්මට ඕනැ වුණේ මාව පරිපාලන සේවයට යවන්න. ඒත් මට ඕනැ වුණේ බෞද්ධ දර්ශනය හදාරන්න. ඒ වෙලාවෙ හැම උපදෙසක්ම දීලා මේ විෂයයෙන් මුළු ලෝකය ම එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියලා මග කිව්වෙ පී. ඩී. ප්‍රේමසිරි මහාචාර්යතුමා. මම එතුමන්ට අදටත් ණයගැතියි. ඒ වගේ ම මේ විෂය හදාරලා ජීවිතය වගේම ලෝකයත් දිනන්න පුළුවන් කියා මම සමාජයට පෙන්නුවා.
හයියට තව කෙනෙක් ළඟ හිටියා නේද?
ඔව්නෙ. එදා මගේ පෙම්වතා අද සැමියා සරසවියෙදි හමුවෙන්නෙ. ඔහු පුදුම සහයෝගයක් දුන්නා එදා මට. ඒ දිරිගැන්වීම තමයි මාව මේ තරම් දුර ගෙන එන්නේ.
පළමු පත්වීම
හරියටම 2006 දි. රුහුණු විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් විදියට. ඒ සම්මුඛ පරීක්ෂණයට යද්දි සහතික ටිකවත් ලැබිලා තිබුණෙ නැහැ. මට අදටත් මතකයි අවුරුදු විසි ගණනක යුවතියක් විදියට මහනුවර ඉඳන් මාතර ඇවිත් තනියෙන් ජීවිතේ ආරම්භ කරපු හැටි. මගේ වෘත්තිය ජීවිතයේ අඩිතාලම දමාගන්න රුහුණු සරසවියෙන් හොඳ සහයෝගයක් ලැබුණා.
ඊට පස්සෙ
දිගටම වැඩ කළා. පේරාදෙණියෙ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙ තාවකාලික කථිකාචාර්යවරියක් විදිහටත්, පසුව සහකාර මහාචාර්යවරියක් විදියටත්, දළදා මාලිගාවේ සරසවියෙත්, වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් වැඩ කළා. ඉගැන්වීම්වලට අමතරව, අදටත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ ශාස්ත්‍ර පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන කමිටු සාමාජිකාවක්. මේ හැම දෙයක් ම අතරතුර පර්යේෂණ කටයුතු කළා. ජාත්‍යන්තර සමුළු සඳහා එක්වුණා. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර හා රාජ්‍ය තාන්ත්‍රික උත්සව ඇමතුවා. ඒ වගේම අවුරුදු 33 ක් වගේ අඩු වයසකදි ආචාර්ය උපාධියත් හිමිවුණා. ශාස්ත්‍රීය කෘති ගණනාවක් ලියා තියෙනවා. ශාස්ත්‍රීය සඟරාවලට ලිපි සපයනවා. පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනවා. 2018 වසරේ හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබන්නෙත් මගේ ‘බෞද්ධ සුඛ සංකල්පය හා ආචාරධර්ම’ කෘතිය යි.
වැඩිපුරම වැඩ කරන්නේ භික්ෂූන් වහන්සේලා එක්ක
එදිනෙදා වෘත්තීය ජීවිතයේදි මම වැඩිපුර ගනුදෙනු කරන්නෙ දෙස් විදෙස් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සමග. ඉගැන්වීම වගේ ම පශ්චාත් උපාධි නිබන්ධ උපදේශන කටයුතුවලදිත්. නමුත් උන්වහන්සේලාට හිමි ගරු සැලකිලි දක්වන්න මම කිසිවිටෙක පැකිළෙන්නෙ නැහැ. ඒ නිසා ගැටලු ඇතිවෙන්නෙ නෑ.
කලාව, සාහිත්‍යය එක්කත් ගනුදෙනු
කවි ගීත රචනා කිරීම මගේ විනෝදාංශය. මේ අතරේ වැඩියෙන්ම කැමති ගීත ලියන්න. මම ලියූ ගීත ගණනාවක් ප්‍රවීණ, අලුත් ගායක ගායිකාවන් ගායනා කර තිබෙනවා. ඒ ගීතවලට බොහෝ ප්‍රතිචාරත් ලැබී තියෙනවා. කවිපොතක් පළ කිරීමේ සූදානමකුත් තියෙනවා.
ගෙදර වැඩ මඟහරින්නේ නැහැ
මං කිසිවිටෙක මග නොහරින දේ ගෙදර වැඩ. මගේ මහත්තයා රජයේ පාසලක ගුරුවරයෙක්. අපට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ තුන්දෙනාගෙම වැඩ මගේ අතින් කරන්න මම කැමතියි. අපි කඩ කෑම කන්නෙ නැහැ. මට ඕනෑ ම කෑමක් හදන්න පුළුවන්. දරුවො මොනවා හරි ආසයි කිව්වම මම ම හදලා දෙනවා. පදිංචිය මහනුවර නෙ. උදේ පාන්දරින් නැගිටලා දරුවන්ට දෙවේලට ම කෑම හදලා, අමතර කෑමත් හදලා එයාලගෙ සියලු වැඩ කරලා තමයි කොළඹ එන්නේ. මට කවදාවත් මේක කරදරයක්, වදයක්, අමාරුයි කියලා හිතිලා නැහැ. විදේශගත වුණත් නිවසේ කටයුතු හැකිතාක් සපුරලා තමයි මම ගෙදරින් පිටවෙන්නේ.
අද කාන්තාවට මට කියන්න ඇති දේ
කාන්තාව කියන වචනයේ ම තේරුම කාන්තිමත් තැනැත්තිය කියන එකනෙ. ගැහැනියගේ කාන්තිමත්බව සමාජයට පෙන්විය යුතුයි. ඒ සඳහා ඇයට ස්වභාවයෙන් ම හිමිවෙලා තියෙන දරාගැනීමේ හැකියාවත්, ආදරය, කරුණාව වැනි මෘදු ගුණාංගත්, තීරණ ගැනීමේ ඍජු බවත්, ස්ථිර අධිෂ්ඨානය හා කරන කාර්ය කෙරෙහි මනා කැපවීමත් ඇය විසින් පුහුණු කළ යුතුයි.
Leave a comment