බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරියක් වූ ලාංකික ඇය

මහා බ්‍රිතාන්‍යය ජයගත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන ඇය නමින් ශානි මනම්පේරි ය. කොලොන්නාව බාලිකා විද්‍යාලයෙන් කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ Anglia Ruskin විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය,  එංගලන්තයේ පැවති දිස්ත්‍රික්ක ඡන්දයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සමග කරට කර තරග කර ශ්‍රී ලාංකික නාමය ඉහළට ඔසවා තබා, දෙවැනි ස්ථානයට තේරී පත්වූ මන්ත්‍රීවරියකි. ජීවිතය ජය ගැනීම තුළ ආ ගමන් මග පිළිබඳව සිරිකත අපි ඈ හා කළ සංවාද සටහනකි මේ.

  • ප්‍රථමයෙන්ම ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්? 

අපගේ දරුවන් දෙදෙනා සමග මමත් මගෙ සැමියාත් සතුටින් ජීවත් වෙනවා.

  • ඔබ දේශපාලනයට පිවිසෙන්නේ කෙසේද?

අප ජීවත් වන ගමේ මිනිසුන් අපේ පවුලත් එක්ක ගොඩක් සුහදශීලියි. අපි පවුලක් වශයෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන කා සමගත් සුහදශීලීව ජීවත් වෙන නිසාත් මෙතෙක් කල් අප ගොඩනඟා ගත් විශ්වාසය නිසාත් තමයි Green party කියන පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්න මට ආරාධනා ලැබෙන්නෙ. 

  • එංගලන්තයේ දේශපාලනයට පිවිසෙන්නට ඔබට විශේෂ හේතු තිබුණාද?

ඔව්. ඒ ආරාධනාව ලැබුණ විට මා එය පිළිගත්තේ ඉතාම කැමැත්තෙන්. මා ජීවත්වන ගමේ ජනතාවට කෘතගුණ සලකන්න මේක හොඳම අවස්ථාවක් වශයෙන් මා දකිනවා. අප ජීවත් වන ප්‍රදේශයට හොඳ සේවාවක් කරන්න මා කැපවී සිටිනවා.

  • ඔබ ඡන්දය අපේක්ෂා කරන නගරය සහ පක්ෂය කුමක්ද? 

'ඈශ් සහ නිව් ඈශ් ග්‍රීන්' කියන බල ප්‍රදේශ වලින් තමයි මං ඡන්දය ඉල්ලුවේ. මගේ පක්ෂය 'ග්‍රීන් පාටි' කියන පක්ෂය යි.
එයට හරිත පක්ෂය යනුවෙන් හැඳින්වීමට විශේෂිත වූ හේතුවක් තිබෙනවාද?
ඔව්. රටක දියුණුව කියෙන්නේ හුදෙක් භෞතික දියුණුව පමණක් නොවෙයි. රටක භෞතික දියුණුවට සමගාමීව ඒ රටේ ජීවත්වන ජනතාවට තිබිය යුතුයි ආකල්පමය දියුණුවක්. පරිසරය නොනසා ලබන දියුණුව තමයි රටක සැබෑම දියුණුව. එයයි අප පක්ෂයේ ප්‍රතිපත්තිය.

  • හරිත පක්ෂය මගින් සමාජයට ඉටුවන මෙහෙවර ගැන සඳහන් කිරීමක් කළොත්?

'Green party' කියන්නේ ඉතා හොඳ විනයක් සහ දැක්මක් ඇති පක්ෂයක්. අපේ ජාතික ප්‍රතිපත්තිය තුළ පවා පරිසරය, වනගහනය, වනජීවීන් රැකගනිමින් ලබන දියුණුවට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. වායුගෝලයට බැහැර කරන විෂ වායූන් අවම කිරීම හෝ මුලිනුපුටා දැමීමේ ක්‍රමවේද / ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ ක්‍රමවේද / කාටත් සාධාරණ සෞඛ්‍ය පහසුකම් ක්‍රමයක්, ප්‍රවාහන ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක් තැනීම අපේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන කාරණාවන්.

  • 'සෙවනොක්ස් කවුන්සිලයට' (Sevenaoks District Council) අයත් 'නිව් ඈශ් ග්‍රීන්' (New ash green) නගරයේ හරිත වර්ණය සුරකිමින් සතා සිවුපාවාට, වෘක්ෂලතාවන්ට හානියක් නොවන අයුරින් කටයුතු කරගෙන යෑම අභියෝගයක් නොවේද?

ඔව් එය අභියෝගයක්. ලෝකයේ වැඩි වන ජනගහනයට සාපේක්ෂව ඉදිවන නිවාස ඇතුළු අනෙක් මූලික අවශ්‍යතාවයන්ට සමගාමීව එය ඉතා අභියෝගයක්. නමුත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට 'Sevenoaks District council' එකට හැකිවී තිබෙනවා.  දේශපාලකයින්ට සිතැඟි පරිදි ගස් කපලා පාරවල් ලොකු කරන්න මෙහෙ බැහැ. සමහර පාරවල්වල විදුලි එළියක්වත් නැහැ. ඒ විදුලි බල්බයක් වත් දාන්න එංගලන්තයට සල්ලි නැති නිසා නෙවෙයි, ඒ ආශ්‍රිත වන සතුන්ට සහ ඔවුන්ගේ වාසස්ථාන, කැදලි වලට සිදුවන හානිය නිසයි. ඕනෑම ව්‍යාපෘතික් ක්‍රියාත්මක කිරීමේ තැනට ඒමට පෙර පසු කළ යුතු පියවර බොහොමයක් තිබෙනවා. දේශපාලකයින්ට ඕනෑ ආකාරයට ඒවා කළ නොහැකියි. ඒ ක්‍රියාදාමය ආරම්භ වන්නේ ජනතාවගේ සමීක්ෂණයෙන්. Public consultation ක්‍රියාත්මක කිරීම දක්වා සලකා බැලිය යුතු කරුණු රාශියක් තිබෙනවා.

  • එංගලන්තයේ වත්මන් දේශපාලනික පසුබිම ගැන ඔබේ අදහස?

ගෝලීය ආර්ථික අවකාශයත් සමඟ එංගලන්තයේ පසුගිය අවුරුදු ගණනාව තුළ ආර්ථිකමය වශයෙන් පසුබෑමකට ලක් වුණා. ජීවන වියදම ඉහළ යාම රටේ ජනතාවට දැනෙන්න පටන් ගත්තා. නමුත් මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.

  • දේශපාලන ක්ෂේත්‍රයේ යෙදිය යුත්තේ පුද්ගලික වාසි අපේක්ෂාවෙන්ද?

කිසිසේත්ම නැහැ.. දේශපාලනය යනු සේවයක් මිස ව්‍යාපාරයක් නෙවෙයි.

  • ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ වත්මන් දේශපාලනය පිළිබඳ සංසන්දනාත්මකව ඔබේ විග්‍රහය සඳහන් කළොත්?

එංගලන්තයේ වැනි ලෝකයේ දියුණු රටක් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටක් සමඟ සංසන්දනය කිරීම කළ නොහැකියි. නමුත් දේශපාලනික ගුණාංග පිළිබඳව මට යම් සංසදයක් තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ මා ඉපදුන මගේ රට. අපේ රටේ අඩුපාඩු විවේචනය කිරීම මා ඉතාම අකමැති දෙයක්. නමුත් අපට මෙවැනි රටවලින් ආදර්ශයට ගත හැකි කරුණු බොහොමයක් තිබෙනවා. අංක එක, දේශපාලනය සේවයක් මිස ආදායම් ලබන මාර්ගයක් නොවෙයි කියන කාරණය. ඒ වගේම දේශපාලනය සහ දේශපාලකයා තුළ තිබිය යුතු විනය. වරදකදී වරද පිළිගැනීමක්, සමාව අයදීමක් සහ ස්තූති කිරීමට කුඩා කල සිටම දරුවන් පුහුණු කිරීමක්, ඒවගේම බලය වෙනුවෙන් දේශපාලකයා තම දධූර කාලය දිගු කරගන්න හදන්නේ නැහැ. එංගලන්තයේ දේශපාලනික ඉතිහාසය බැලුවහම අගමැතිවරුන් කිහිප දෙනෙක් තමන් ජනතාවට දුන් මූලික පොරොන්දුව ඉටු කරන්න බැරිවීම හේතු කරගෙන ධූර කාලයටත් කලින් සමුගත් අවස්ථා අපට සොයා ගත හැකියි. 
ඒ වගේම රටේ කාටත් පවතින එක් පොදු නීතිය. එය සියලු පක්ෂවල සියලු තරාතිරම්වල දේශපාලඥයන්ටත් ඡන්දදායකයන්ටත් පොදුවේ බලපාන කාරණාවක්. ඒවගේම විනයගරුක, පරිසර හානිය අවම මැතිවරණ ප්‍රචාරණය. මැතිවරණය වෙනුවෙන් පාරවල්වල, තාප්පවල දැනවීම් අලවන්නේ නැහැ. ඡන්ද දවස සාමාන්‍ය ජන ජීවිතයට බාධා නොවන තවත් එක් දවසක් විතරයි.

  • ඔබ දේශපාලනයට අමතරව රැකියාවක නියුතු වනවාද? 

ඔව්. මමත් මගේ සැමියාත් 'Grand Lanka' කියන අපේ පුද්ගලික ව්‍යාපාරය යටතේ 'The Village Bakery' නමින් අප ජීවත් වන ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකික ආහාරපානවලින් සමන්විත බේකරියක් පවත්වාගෙන යනවා. 

  • මේ සන්නාමය තුළින් ඔබ ශ්‍රීලංකාවේ අනන්‍යතාවය ගොඩනගාගෙන තිබෙනවාද?

ඔව්. අපේ ශ්‍රී ලාංකේය සෑම ආහාරයක්ම අපි නම් කරලා තියෙන්නේ ශ්‍රී ලාංකීය නාමය භාවිතා කරලයි. ශ්‍රී ලාංකික ආහාරවල බ්‍රිතාන්‍ය ජාතිකයන් තුළ තිබෙන්නේ ඉතාමත් කැමැත්තක්. අපේ පාරිභෝගිකයන්ගෙන් 90෴ක් පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන්.
අපේ ආහාර පිළිබඳව පාරිභෝගිකයන්ගෙන් ලැබන්නේ ඉතාම ඉහළ ඇගැයීමක්. අපේ විශේෂත්වය තමයි අපි ශ්‍රී ලාංකික ආහාරවල රසය කිසිදු ආකාරයකින්වත් වෙනස් කරන්නේ නැති එක. බොහෝ විදේශ රටවල ශ්‍රී ලාංකේය ආහාරපාන සකස් කරන අය කරන වරදක් තමයි ඒ රටට සුදුසු ආකාරයට ශ්‍රී ලාංකේය ආහාරයන් වෙනස් කිරීම. අපි ශ්‍රී ලාංකීය ආහාර වලට අයිති රස සහ අනන්‍යතාවය ඒ අයුරින්ම රැක ගනිමින් තමයි අපේ ආහාර සකස් කරන්නේ. මුලදි අපිට ඒක අභියෝගයක් වුණා. සමහර ආහාර බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සැර වැඩි වෙයිද කියලා හිතුනා. නමුත් ඔවුන් අපේ ආහාරවලට අයිති අනන්‍ය රසයට ඉතාම කැමතියි.

  • ව්‍යාපාරික කටයුතු සමඟ දේශපාලන කටයුතු කරන කාර්යබහුල බිරිඳක් සහ මවක් වන ඔබ, ඔබේ සැමියාටත් දරුවන් දෙදෙනාටත් උදව් කිරීමට කාලයක් සොයාගන්නේ කෙලෙසද?

කාලය කියන්නේ අපේ අවශ්‍යතාවයන් අනුව අප කළමනාකරණය කළ යුතු දෙයක්. අවශ්‍ය නම් ඕනෑම දේකට ඕනෑම කෙනෙකුට කාලය සොයා ගත හැකියි.

  • ඔබේ පවුලේ අය ඔබගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් දේශපාලනික කටයුතු සඳහාත් දායකත්වයක් ලබා දෙනවාද?

ඔව්. සහයෝගය නැතිව මට තනියම මේ ගමන කවදාවත් එන්න ලැබෙන්නෙ නැහැ. මම මුලින්ම මතක් කරනවා මගේ ආදරණීය ආච්චි අම්මාව. ඇය දුන් ශක්තිය නිසයි අද මා ජීවිතේ මේ තරම් දුරක් ආවේ. මගේ ආදරණීය සැමියා බුද්ධිම ගෙන් මට ලැබෙන්නේ ඉතා විශිෂ්ට සහයෝගයක්. ආදරණීය දුව නේත්‍රා සහ පුතු ශවේන් ගෙනුත් මට ලැබෙන්නේ හොඳ සහයෝගයක්. විශේෂයෙන්ම මගේ ආදරණීය දෙමව්පියන්. මගේ පියා අබේවංශ මනම්පේරි. ඔහු ඉතා හොඳ දේශපාලනික සවිඥතාවයක් සහ දේශපාලන භාවිතයක්ස හිත පුද්ගලයක්.  මම බොහෝ දේ මගේ පියාගෙන් ඉ‍නෙ ගන්නවා. ඒ වගේම මගේ සැමියාගේ දෙමව්පියන්, මගේ එකම සොයුරිය සහ ඇගේ සැමියා ත් මගේ සැමියාගේ සොයුරියන් දෙදෙනා සහ සොහොයුරන් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම එංගලන්තයේ ජීවිතය අප මුලින්ම පටන් ගන්න කොට ගෙවූ දුෂ්කර කාලයේදී අපට උදව් කළ බ්‍රිතාන්‍ය ජාතික මිතුරු මිතුරියන් න් සහ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන් මේ වෙලාවේ කෘතඥ පූර්වකව සිහිපත් කරනවා.

  • අවසන් වශයෙන් ඔබගේ ක්‍රියාකාරී දේශපාලන පසුබිමෙන් අප රටට දිය හැකි ආදර්ශය කුමක්ද?

එංගලන්තේ මා නියෝජනය කරන බල ප්‍රදේශයට වගේම මා ඉපදුන ශ්‍රී ලංකාවටත් මගෙන් ලැබිය යුතු සේවය ලබාදීම මගේ යුතුකමක්. උත්සාහය සහ කැපවීම තුළ මිනිසුන්ට කළ නොහැකි දෙයක් නොමැති බව මා තදින්ම විශ්වාස කරනවා.

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Previous

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment