මේ රැකියාව අවදානම් නමුත් මනරම් - මෙරට එකම සමුදුර පුරාවිද්‍යා නිලධාරිනිය ජිනාලි තිළිණි විජේසිංහ

මහා සමුදුර පත්ල මත කිමිදී අභියෝග ජයගෙන ලාංකීය අභිමානය ලෝකයා හමුවේ තැබූ දිරිය දියණිය ගාල්ල මුහුදු  පුරාවිද්‍යා ඒකකයේ රාජකාරි කටයුතු කරන ජිනාලි තිළිණි විජේසිංහ ඒකනායකයි.  සමුදුර පුරා විද්‍යා නිලධාරීන් ලංකාවටම සිටින්නේ හය දෙනකු පමණක් වන අතර ඒ අතුරින් දැනට සිටින එකම කාන්තාව වන්නේද ඇයයි. මෙවර සිරිකත  ‘ඇය’ විශේෂාංගයට ගොඩවන්නී ඇයයි.

  • ළමා විය

අපේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, මමයි. අම්මයි තාත්තයි දෙන්නම ආරක්ෂක අංශයේ රැකියා කළේ. මම තුන වසරෙ ඉන්නකොට තාත්තා ක්‍රියාන්විතයේ හිටියෙ. එතැනදි තාත්තා රට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරනවා. ඊට පස්සෙ අම්මා අපිව අරගෙන අම්මගෙ ගමට එනවා. ඒ ගාල්ලෙ පෝද්දිවෙලට. ළමා විය ගෙවෙන්නෙ ගමේම තමයි. තාත්තා නැති වුණත් අම්මා අපිව පරෙස්සමින් හැදුවා. ගෑනු ළමයි තුන්දෙනෙක් නෙ.

  • පාසල් කාලය

මුලින්ම ඉස්කෝලෙ ගියේ ශාන්ත පාවුළු බාලිකා විදුහලට. තාත්තා නැති  වුණාම ලබුදුව සිරිධම්ම විදුහලට ඇතුළත් වෙලා උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නෙ එතැන. පාසල් කාලය හරි සුන්දර කාලයක්. ඉගෙන ගත්තා. බාහිර වැඩ කළා. කොහොමත් මුල්තැන දුන්නේ අධ්‍යාපන වැඩවලට තමයි.

  • සරසවි සිහිනය

උසස් පෙළින් පස්සෙ මාව තේරෙන්නෙ රුහුණු විශ්ව විද්‍යාලයට. මම හදාරන්නෙ පුරාවිද්‍යාව. සරසවි ජීවිතය ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෙමෙයි.ඒ කාලය ඒ තරම් සුන්දරයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ පැසි පන්දු කණ්ඩායමේ සාමාජිකාවක ලෙසත් කටයුතු කළා. මම 2014දි එතැනින් එළියට එන්නේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධියක් අරගෙන.

  • අවදානම් රැකියාවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයට තමයි පළමු පත්වීම ලැබෙන්නෙ. ඒක ටිකක් අවදානම් රැකියාවක්. ඒත් මම ඒ අභියෝගය බාර ගන්නවා. ක්ෂේත්‍රයේ වැඩ කරන්න අපි අට දෙනෙක් හිටියා. ඒත් දැන්මේ  රැකියාවේ නියුතු වන්නේ තව හයදෙනෙක් විතරයි.  ඒ අතුරින් මේ වන විට සිටින එකම කාන්තා නියෝජනය මම. අනාගතයේදී ඒක වෙනස් වෙනවා නම් ගොඩක් හොඳයි සහ ඒ දේ වෙනස් විය යුතුයි. මේ රැකියාවේ දි ජීවිත හානිවීමට තිබෙන අවදානම වැඩියි. අපි කිමිදීමේදී අරගෙන යන වායුව සාමාන්‍ය හුස්ම ගන්න වායුව. ඒ වායු ප්‍රමාණය අනුව තමයි අපට මුහුදු පතුලෙ වැඩ කරන්න පුළුවන්. අපිට දිය යට කිමිදිලා ඉන්න පුළුවන් වෙලාව විනාඩි 14 -16 ක් වගෙයි. නමුත් අපි හුස්ම ගන්න වේගය අනුව වෙලාව වෙනස් වෙනවා. අපි ඒ වෙලාවල් ගැනත් ඉතාම කල්පනාකාරී වගකීම් සහිත විය යුතුයි. සමහර අවස්ථාවලදී අපේ ටැංකි අවහිර වෙන්න පුළුවන්. උපකරණ ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. මේ ආරක්ෂිත තත්ත්වයන් ගැන අපි හොඳ පුහුණුවක් ලබා ගන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම සහායක කිමිදුම්කරුවකු සමග තමයි යන්නේ හදිසි අවස්ථාවලදි එයාගෙ උදව්වෙන් තමයි අප උඩට එන්නෙ. මිටර් 32 ක් විතර අපි මුහුදු පතුලට කිමිදෙනවා. පීඩනයත් එක්ක ඇති වන තත්ත්වය අනුව අපේ ශරීරයෙන් නයිට්‍රජන් බුබුළු පිටකරනවා. ඒවගේ වායු අසංතුලිතා තත්ත්ව හමුවේ අංශභාගය, වෙනත් ආබාධ ඇතැම්විට මරණය පවා සිදුවීමේ අවදානම වැඩියි. අප පරිගණක පද්ධතියක් එක්ක සම්බන්ධ කරල තමයි කිමිදෙන්නෙ. ගොඩට පැමිණීමට අවශ්‍ය වෙලාවට එලාම් එකක් වදිනවා. අපිට හිතින් වෙලාව හදාගෙන මුහුදු පතුලෙ ඉන්න බැහැ. මේ හැමදේම එක්ක බැලුවොත් ඇත්තටම මේ රැකියාව සුන්දර වගේම අවදානම් සහිතයි.

  • මේ කාලය ගතකරන හැටි

මේ දිනවල අපි ගවේෂණ කටයුතුවල නිරතවුණේ දැනට දකුණ ආසියාවේ පැරණිම ලී නෞකාව ලෙසින් හඳුනාගෙන තියෙන ගොඩවාය යාත්‍රාවේ කටයුතුවල. අවුරුදු 2000කට වඩා පැරණි යාත්‍රාවක් ලෙසින් මේ යාත්‍රාව හඳුනාගෙන තියෙනවා. තඹකොටස්, මැටි බඳුන්, අත්ගල් හා ඇඹරුම් ගල් මේ ගවේෂණ අතරතුර සොයාගෙන තියෙනවා. මේ දවස්වල ඒ ආශ්‍රිත පර්යේෂණ කටයුතුවල තමයි අපි හැමෝම නිරත වෙන්නෙ.

  • ප්‍රේමණීය හමුවීම 

ඔහු කෝසල කල්හාර. ඔහුගෙ අම්මත්, මගේ අම්මත් එකට රාජකාරි කළේ. කුඩා කාලයේ ඉඳලම අපි දැන හඳුනන අය. එහෙම තමයි ආදරයක් ඇතිවෙන්නෙ. ඔහු මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කරනවා.  මේ වෙද්දි මගේ විශාලම හයිය ඔහු. අපිට දැන් දියණියක් ඉන්නවා. එයා ⁣මෞලි අබේතුංග. දැන් එයාට අවුරුදු හයයි.

  • අභියෝග එමටයි

ඇත්තටම කාන්තාවක් කියලා නැහැ. රැකියාව කළ යුතුයි. මේ රැකියාව තරමක් දුෂ්කරයි. ඒත් වගකීමක් තිබෙනවා. සමහර දවස්වලට කාර්යබහුලත්වය වැඩියි.ගෙදර රැඳෙන්න වෙන්නෙම නැහැ. ඒත් රැකියාව නිසා පවුලවත් පවුල නිසා රැකියාවවත් අතහරින්න බැහැ. මම හැම වෙලාවෙම මේ දෙක සමබරව තියාගන්න උත්සාහ කරනවා.
බොහෝ අවස්ථාවල දුවගෙ පාසලටවත් යන්න බැරි වෙලාවල් යෙදෙනවා.ඒ වෙලාවට බොහෝවිට ඒ යුතුකම්  ඉටුවන්නෙ  මහත්තයාගෙන්. එහෙම නැතිනම් අම්මාගෙන්, අක්කගෙන් සහ නංගිගෙ අතින්.  මගහැරීම් නිසා සමහර වෙලාවට දුකක් හිතුණත් මේ කැපවීම මම දරාගන්න  උත්සාහ  කරනවා. මෙවැනි අවස්ථාවක් කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නෙ. ඒ නිසා ඒ දේ නිවැරැදිව කරන්න උත්සාහ කරනවා.  විශේෂයෙන් මා සමග වැඩ කරන මගේ සියලු නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මට ඒ අසීරුතා මග හැරගෙන රැකියාව කරන්න උදව් වෙනවාට.

  • හෙට දවස

රැකියාවේ වගකීමක් තිබෙනවා. ඒක හරියට ඉටු කරන්න ඕනෑ. අනවශ්‍ය නීති සීමා නොමැතිව සාම්ප්‍රදායික රාමුවල නොසිට ලෝකය වෙත අඩිය තියන්න ඕනෑ. සෑම විටකදිම දියණියක්, බිරිඳක්, මවක් කියන චරිතයට සාධාරණය කරමින් අරමුණු දිනාගන්න උත්සාහ කරනවා.

  • සුජිත් ප්‍රසංග,
  • චාමින්ද දිසානායක
  •  ඡායාරූප - චාමින්ද දිසානායක

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment