මේ ලෝකයේ සංවේදී මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි - හමාර බණවර ගීතයේ අයිතිකාරිය ඉරේෂා
ඇය ගීත රචිකාවියක්, චිත්‍ර ශිල්පිනියක්, කිවිඳියක් ඒ වගේම ඡායාරූප ශිල්පිනියක්. මුළු මහත් ශ්‍රී ලංකාවම ආදරය කරන ‘හමාර බණවර’ ගීතයේ අයිතිකාරිය. ඈ නමින් ඉරේෂා හේමමාලිය. රුවින් පමණක් නොව හදවතින්ද ඇය රූමත් බව ඇය සමග කළ කෙටි සංවාදයෙන් පසක් විය. ඒ සොඳුරු කතා බහ මෙලෙස ඔබ වෙත ගෙන එමි.
- ඔබගේ පවුලේ තොරතුරු ගැන විස්තර කළොත්
මට අවුරුදු 23 පුතෙක් සහ අවුරුදු 17 දුවෙක් ඉන්නවා. ඔවුන් මෙහේ අධ්‍යාපන කටයුතු කරන නිසා ඔවුන් සමඟ ඕස්ට්‍රේලියාවෙ දැනට ජීවත්වෙනවා.
- හමාර බණවර ගීතය එළි දකිනවාත් සමගම, ඉතා කෙටි කාලයක් තුළ ඔබ ජනප්‍රියත්වයට පත් වෙනවා. එයට හේතුව?
බොහොමයක් ලේසියෙන් කවියකින් ගීතයක් කරන්න අමාරුයි. මටම දැනුන හැඟීමක් තමයි කවියක් වෙන්නෙ. ඒ හැඟීමම ඒවිදියටම හෝ ඊටත් වැඩියෙන් ඒ කවිය කියවන කෙනෙකුටත් දැනෙන විදියට පසුව ඵ්ක පදරචනාවක් වෙනවා. පසුව සංගීතය යොදා ගායනා වෙන්නෙත් මගේ උවමනාවට. මගේ තෝරා ගැනීමක් වුණ රවී රොයිස්ටර් ගෙන්. මේ හැම සම්බන්ධයක්ම ඉතාමත් තීව්‍රව ප්‍රේක්ෂකයින්ව ආත්මීය කැලඹීමකට හෝ කම්පනයකට ලක් කරන්න හැකි වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ස්වභාවධර්මයෙන් මට ලැබුණ තෑග්ගක්.
- ඉරේෂා හේමමාලි කියන බ්‍රෑන්ඩ් එක හැෙදන්න ඔබ පිටුපස විශේෂ චරිත සිටියද
මම බ්‍රැන්ඩ් එකක් කියල මම හිතන්නෙ නෑ. ජිවිතේ එක් එක් වකවානුවල , නිරන්තර දැනුම සහ ජීවිතය සොයාගෙන යන ගමනේ බලපෑම් කරපු මග කියපු අය නොසිටියා නෙමෙයි. මම හිතන්නෙ සෙනඟ දාහක් මැදක වුනත් තනිකමක් දැනෙන මොහොතට මගෙ තනිකම මකපු මමම තමයි ඒ.
- කෙටි කාලයක් තුළ ගිය ගමනේදී ඔබ මුහුණ දුන් හොඳ සහ නරක මොනවාද?
ලෝකයම හැදිල තියෙන්නෙ හොඳින් සහ නරකින්. වෙන්න පුළුවන් හොඳම දේටත් නරකම දේටත් මම එකම බලාපොරොත්තුවෙන් මුහුණ දීලා තියෙනවා. තවමත් මුහුණ දෙමින් ඉන්නවා. ඒක තමයි ජිවත් වීම. අද හෙට ගැන විනිශ්චය කරන්නවත් ඊයේ ගැන පසුතැවෙන්නවත් බෑ කියන එක තමයි මගෙ අත්දැකීම.
- ඔබ ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් කාන්තාව ගැන විවෘතව කතා කරන කෙනෙක්. ඔබ ජීවත් වන ඕස්ට්‍රේලියාව හා සසඳන විට ශ්‍රී ලාංකීය කාන්තාවට වත්මනේ තිබෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
කනගාටුදායකයි,ඉතාමත් කනගාටුදායකයි. ඒකට වග කියන්න ඕනැත් පසුගාමිව සහ යටත් වාසි සහ තමන්ගෙ අය කරන නරක වැඩ නරක විදියට නොදකින, අනුන්ට දැනෙන වේදනාව හිත් රිදවීම තමන්ගෙ විදියට නොදකින කාන්තාවම තමයි කියල මට හිතෙන්නෙ.
- අතීත සමාජයේ මෙන් නොව වර්තමාන කාන්තාව පිරිමින් හා උරෙන් උර ගැටී ජීවිකාව ගෙවීම දැන් දකින ප්‍රවණත්වයක්. මේ පිළිබඳව ඔබගේ අදහස?
ඒක හොඳ තත්ත්වයක්. ගැහැනියක් මිනිහෙක් කියන එක ලිංගිකත්වය මත පදනම්ව කරන මැනීම අවලංගු විය යුතු තත්ත්වයක්. ගැහැනියක් මිනිහෙක් එකට එක වාහනයක යන එක, එක ගෙදරක නවාතැන් ගන්න එක අද මනින්නේ ලිංගික චිත්‍රණයකින්.ඒක ගෝත්‍රික ඊර්ෂ්‍යාකාර නොදියුණු සමාජයක ප්‍රතිබිමිබයක්. ඒක වෙනස් වෙන එක හොඳ ප්‍රවණතාවයක්.
- කාන්තාව කියන්නේ පුරුෂාධිපත්‍යයට යටත් වී ජීවිතය ගෙවිය යුතු අයෙක්ද?
ඒක තෝරා ගැනීමක්. සමහර විට අවබෝධයකින් තොරව කරන තෝරාගැනීමක්. නමුත් සංස්කෘතික සංස්ථාවක් ඇතුළේ ගැහැනුන්ට තමන්ගේ සීමා මායිම් සලකුණු කරගන්න වෙනවා. නැතිනම් හැමදාම යන එන මග ලගින බැල්ලක් වෙනවා. ඒ වගකීම තියෙන්නෙත් කාන්තාවටම තමයි.
අම්මා කියල ඔටුන්න කැමැත්තෙන්ම පැලඳ ගන්න ගැහැනියම තමයි ස්ත්‍රි පුරුෂ භේදය ඇතිකරන්නෙ කියල මම හිතන්නෙ. පිරිමි දරුවන්ට එක විදියකටත් ගැහැනු දරුවන්ට තව විදියකටත් භේදාත්මකව සලකන්න පටන් ගන්නෙ ගෙදරින්. කරන්න පුළුවන් හොඳම දේවල් කරපු පුතාට කන්‍යාවියො හොයන්නෙත්. ඒ ලේලිලාට පිටස්තර සැලකිලි දක්වන්නෙත් අම්මලා. එහෙමත් නැත්නම් කාන්තාවෝ එයාලම තමයි එයාලගෙ විලංගු දා ගන්නෙ.
- වගකීම් මත කාර්යබහුල වන හුඟක් කාන්තාවෝ බොහෝවිට ආදරය, රැකවරණය නොවිඳම මිය යනවා නේද?
ඒක එකිනෙකාගෙ පුද්ගලික තෝරා ගැනීමක්. නමුත් මේ ලෝකයේ සංවේදී මිනිස්සුන්ට ජිවත්වෙන්න අමාරුයි. ඒක හරි වේදනාකාරියි. කාන්තාව බොහෝවිට සංවේදියි. ඒ නිසාම සංස්කෘතික සංස්ථාවේ වහලේ බරත් ඔළුව උඩ තියාගෙන තමයි ජිවත් වෙන්න වෙලා තියෙන්නෙ. නැත්තම් ඒකත් හිස මත කඩා වැටෙනවා.
- කලාව අරඹයා පිරිනමන සම්මාන ගැන ඔබේ අදහස කුමක්ද
සම්මාන කියන්නෙම තෝරාගත් කීප දෙනෙක්ගේ මානයක් නේ. හොඳ නරක තීරණය වෙන්නෙ ඒ මනින විදිහ අනුව කියල මට හිතෙන්නෙ. මං ඒ දේවල් ගැන වැඩිය හිතන කෙනෙක් නෙවේ. ඒ ගැන පැහැදිලි නිර්ණායකයක් මට තාම නෑ.
- ගීතයක් සමස්ත සාහිත්‍යමය ගුණාංගවලින් පරිපූර්ණ වීමට නම් අවශ්‍ය සාධක මොනවාද
ගීතයක් කියන්නෙම මාධ්‍ය කිහිපයක සංකලනයක්නේ. ශ්‍රවක ආත්මයන් තුළ දෝංකාර දෙන තනුවක්, භාව ප්‍රකාශන පද රචනාවක් සහ සංකලනයෙන් හැදෙන චිත්තවේගීය බලපෑම, ඊට අමතරව ව්‍යුහය, රිද්මයේ ඇති සංහිඳියාව, විශ්වීය අභියාචනය වගේ එකී නොකී කාරණා ගොඩක එකතුවක්. එහි සාහිත්‍ය ගැන කතා කරන්න වෙන්නෙ සාපේක්ෂව. ,මැණිකේ මගෙ හිතේ, ගීතය බලන්න, එහි විශ්ව අභියාචවන ගුණය විසල් ප්‍රේක්ෂක ආකර්ෂණයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා.
- වත්මන් සාහිත්‍ය කලාව ගැන ඔබ සෑහීමකට පත් වනවාද?
සාහිත්‍ය සහ කලාව කියන්නෙ නිරන්තරව යාවත්කාළින වෙන දෙයක්නෙ. එහෙම දෙයක් කවදාවත් පරිපූර්ණ තත්ත්වයට පත් වෙයි කියල මම හිතන්නෙත් නෑ. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක සමාජිය මිනුමි දණ්ඩක්.
- අද සමාජය සාහිත්‍යමය ගුණයන්ගෙන් ඈත් වී අමුවෙන් කලාව රසවිඳීමට පෙලඹී ඇති හේතුව වශයෙන් ඔබ දකින්නේ?
මම පෙර ප්‍රශ්නයට දුන් පිළිතුර මේකටත් අදාලයි, කලාවෙන් ප්‍රතිමුඛ වෙන්නෙ වර්තමානයේ ජිවත්වෙන සමාජයේ සංතානය කියල මම හිතන්නෙ.
- ඉදිරියේදී ඕස්ට්‍රේලියාව අතහැරලා ශ්‍රී ලංකාවට එන්න අදහසක් නැද්ද?
මේක තාවකාලික නැවතුම්පළක්. තමන්ගේ රට සමාජය මිනිස්සු අතර අපිට අපි විදිහට ඉන්න පුළුවන්. අපේම මිනිස්සු වෙන රටකදි හම්බවුණත් මේකෙ ලොකු ආගන්තුක බවක් තියෙනවා. හුස්ම ගත්තට හුස්ම ගත්තෙ නෑ කියල හිතෙනවා. කෑවත් නොකෑවා වගේ. සුඛෝපබෝගී රථයක ගියත්, ඇඳක නින්දට ගියත් නින්ද ගියෙ නෑ වගේ. නිරන්තර පිටස්තර හැගීමක තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ඉක්මනට නැවතත් මාතෘ භූමියට එන්න ඕනෑ.
Leave a comment