මොන බාධක තිබුණත් තමන්ගෙ ගමන පරෙස්සමින් යන්න - කොළඹ විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ මානව පෝෂණය පිළිබඳ කථිකාචාර්ය වෛද්‍ය නිලංකා අංජලී වික්‍රමසිංහ
පිරිමියෙකුට වඩා ගැහැනියකට ඕනෑම දෙයක් සමබර කරගන්න පුළුවන්. ඉගෙනගෙන, විවාහ වෙලා, දරුවො හදලා, රස්සාවකුත් කරනකොට ‘‘කොහොමද මේ වැඩ කරගන්නේ’’ කියලා බොහෝ දෙනෙක් කාන්තාවකගෙන් ඇසුවත් ඒ ප්‍රශ්නය පිරිමියෙකුගෙන් අහනවා අඩුයිනෙ. මම හිතනවා ඒ ශක්තිය උපතින්ම ගැහැනියකට තිබෙනවා කියා. වෛද්‍ය නිලංකා අංජලී වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ මානව පෝෂණය පිළිබඳ කථිකාචාර්යවරියකි. ඇය 'ජාතික පර් යේෂණ කවුන්සිලයෙන් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක ප්‍රකාශන සඳහා' 2015 සහ 2014 වර්ෂ දෙකේදීම ජනාධිපති සම්මාන දිනාගත්' අතර 2016 වසරේ ඉදිරිපත් කළ විද්‍යාත්මක ප්‍රකාශනය සඳහා කුසලතා සම්මානය ලබා ඇත.
ඇයගේ පර් යේෂණ අවශ්‍යතා ප්‍රතිශක්ති විද්‍යාව, පෝෂණය සිට ආමාශ ආන්ත්‍රික කායික විද්‍යාව දක්වා විහිදෙන අතර පර් යේෂණ හා සංවර්ධනය කෙරෙහි ද උනන්දුවක් දක්වන වෛද්‍යවරියකි. මේ වනවිට ඇයට පෝෂණය සම්බන්ධ නව හඳුන්වාදීමක්' වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ද ලැබී ඇත.
කොළඹ වෛද්‍ය පීඨයේ භාෂා ඒකකයේ මෙන්ම ව්‍යාප්ති පාඨමාලා කමිටුවේ කැඳවුම්කරු ද වන ඇය එම පීඨයේ කටයුතු රැසකට සම්බන්ධ වන්නීය.
- පුංචි කාලෙ මං
කොළඹ ඉපදුණාට මම පුංචිම කාලෙ හිටියෙ යක්කල. මොකද තාත්තට යක්කල මෙඩිකල් සෙන්ටර් එකක් තිබුණා. අම්මා ගෙදර වැඩකරගෙන හැමදේම බලාගත්තා. පවුලෙ හිටියෙ අයියයි, අක්කයි. ඒ දෙන්නා මට වඩා ටිකක් වැඩිමල්. ඒ නිසා හැමෝගෙම ආදරය තිබුණෙ මට. ඇත්තටම හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. මට අවුරුදු දොළහෙදි වගේ තමයි කොළඹට ආවෙ.
- වැඩියෙන්ම හිටියෙ සංගීත කාමරේ
මුලින්ම ඉස්කෝලෙ ගියෙ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. මම පන්තියේ හිටියෙම නැති ළමයෙක්. වැඩිපුරම හිටියෙ සංගීත කාමරේ. පාසලේ විවිධ ප්‍රසංග අතාරින්නෙ නෑ. ඒ වගේම හැම බාහිර වැඩක්ම කළා. සමහර දේවල් බැහැ. ඒත් මම ඉදිරිපත් වුණා. ඒක මගේ හැටියක්.
මේ වෙද්දි මම' පන්තියේ 10 - 15 අතර වගේ හිටියෙත්. හැබැයි වෛද්‍යවරියන් වෙන්න ඕන කියන හීනෙත් තිබුණා. මේ වෙද්දි මම බටහිර සංගීතය පැත්තෙන් ගොඩක් ඉදිරියෙන් හිටියෙ. පියානෝ වාදනය පිළිබඳව. තාත්තට ඕනැ වුණෙත් මාව දක්ෂ සංගීත ශිල්පිනියක් කරන්න.
- දොස්තර හීනය
විශේෂයෙන් වෛද්‍යවරියක් වුණාම මුහුණ දෙන අභියෝග තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා තමයි තාත්තා මාව සංගීතය පැත්තට යනවට කැමති වුණේ. ඒත් මගේ හිතේ වෛද්‍ය හීනයත් තිබුණා. පස්සෙ දවසක් තාත්තා කිව්වා වෛද්‍යවරියක් වෙනවා නම් හොඳට පාඩම් කරන්න ඕන ඒක දිගටම අවශ්‍ය දෙයක් කියලා. එහෙම නැතිනම් කවදාවත් වෛද්‍යවරියක් වෙන්න බැහැ කියලා. ඒ වගේම සාමාන්‍ය පෙළට ඒ 10ක් ගත්තෙ නැතිනම් උසස් පෙළට විද්‍යා විෂයන් කරන්න දෙන්නෙත් නැහැ කිව්වා. ඇත්තටම ඒක තමයි මට මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව වුණේ. මම මහන්සි වෙලා පාඩම් කළා. පළමු වතාවට සාමාන්‍ය පෙළ පන්තියේදි පළමු වාරෙදි පළමුවැනියත් වුණා. ඒ සාමාර්ථ දහයකුත් ගත්තා. උසස් පෙළ හදාරන්න ගියේ දේවි බාලිකාවට. එතැනින් උසස් ලෙස සමත්වෙලා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගියේ.
- කැම්පස් කාලෙ
ඒකනම් ඉතින් කවදාවත් හිතින් යන්නෙ නැති සුන්දරම කාලයක්. වැඩ කළා තමයි. හැබැයි අධ්‍යාපන කටයුතු එක්ක තියෙන ඔක්කොම බාහිර වැඩත් කළා. ඇත්තටම මගේ සංගීත දිවියට හොඳම අඩිතාලම වැටුණෙ එතැනදි. මම කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න, ශෙහාන් කෞෂල්‍ය, ඉරාජ් වීරරත්න එක්ක ගීත කළා. රූපවාහිනී වැඩසටහන්වලට ගියා. මම මේ වෙද්දි' ලන්ඩනයේ ත්‍රිත්ව විද්‍යාලයේ ගායනය පිළිබඳව ඉහළම අධ්‍යාපනය ලබා තියෙනවා. (LTCL) ඒ වගේම එහි පියානෝ සංගීතය පිළිබඳ (ATCL) වෘත්තීය පුහුණුව ලබා තිබුණෙ. ඒ මොනවා කළත් අධ්‍යාපන කටයුතුත් හරියටම කරගත්තා.
- ආදර බැඳීම
ප්‍රේමවන්තයා මුණගැසුනණත් සරසවියෙන්. දක්ෂිත වික්‍රමසිංහ. අද මගේ හැමදේටම හයියක් වෙලා ඉන්නෙ. ඔහු මහාචාර්යවරයෙක්. අපට දරුවො දෙන්නෙකුත් ඉන්නවා.
පාසල් කාලෙදි ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න උවමනාවක් ඇත්තටම තිබුණෙ නැහැ. මොකද අපේ තාත්තා නිතර කියූ දෙයක් තමයි එහෙම සම්බන්ධක් ඇතිකරගන්නවා නම් නියම කාලයේදි කරගන්න ඕන කියලා. ඒක ඇත්ත කියලා අද හොඳටම දැනෙනවා. මොකද මම එහෙම වැරදි සම්බන්ධයක් පටන් ගත්තා නම් මගේ අරමුණට යන්න සමහරවිට බැරිවෙයි. ආදරය කියන්නෙ හරි පරෙස්සමින් අවබෝධයෙන් කළ යුතු දෙයක්.
- ගැහැනිය ශක්තිමත්
මම හිතන්නෙ පිරිමියෙකුට වඩා ගැහැනියකට ඕනෑම දෙයක් සමබර කරගන්න පුළුවන්. ඉගෙනගෙන, විවාහ වෙලා, දරුවො හදලා, රස්සාවකුත් කරනකොට ‘‘කොහොමද මේ වැඩ කරගන්නේ’’ කියලා බොහෝ දෙනෙක් කාන්තාවකගෙන් ඇසුවත් ඒ ප්‍රශ්නය පිරිමියෙකුගෙන් අහනවා අඩුයිනෙ. මම හිතනවා ඒ ශක්තිය උපතින්ම ගැහැනියකට තිබෙනවා කියා.
මම වුණත් සීමාවාසික වෛද්‍යවරියක් ලෙස පැය 24ම වැඩ කරනකොට පළමුවැනි බබා ලැබෙන්න ඔන්න මෙන්න හිටියෙ. කොළඹින් පිට වැඩකරනකොට දෙවැනි බබත් එක්ක මාස නවයම වාහනේ එළවගෙන වැඩට ගියා. මට කරන්න පුළුවන් උපරිමය රාජකාරිය වෙනුවෙන් කළා.
අපේ රටේ සංස්කෘතිය එක්ක ගැහැනු පිරිමි භේදය ඉහළයි. ගෙදරක වුණත් පුතා බත් කෑවම පිඟාන හෝදන්නෙ නෑ. දුව කෑවම හෝදන්න ඕනෑ. ඇත්තටම අපි වෙනස් කරන්න ඕනෑ මෙවැනි සංකල්ප. කාන්තාව ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් හැකියාව වගේම ශක්තියත් තිබෙනවා. ඒ නිසා කාන්තාව ජීවිතේ කිසිම තැනක නොවැටිය යුතුයි. මොන අභියෝග තිබුණත් පරෙස්සමින් තමන්ගෙ ගමන යා යුතුයි.
- වාසනාවන්ත දියණිය
ඇත්තටම මම හරි වාසනාවන්ත දියණියක් වගේම ලේලියක්. හැමදාම හයියට හිටියෙ අම්මා තාත්තා වගේම මහත්තයාගෙ අම්මා තාත්තා. මට මතකයි ඉස්සර අම්මා මට උයන්න උදව්වෙන්න කියලා කුස්සියට කතා කරනවා. ඒ වෙලාවට තාත්තා තමයි කියන්නෙ පාඩම් වැඩ කරන්න දෙන්න කියලා.
අදටත් විභාගයක් තියෙනවා නම් අම්මයි තාත්තයි ඇවිත් සහයෝගය දෙනවා. මහත්තයාගෙ අම්මයි තාත්තයි දෙන්නත් ඒ වගේ. මට දෙන සහයෝගය අසීමිතයි.
- අලුත් වැඩක්
ප්‍රාථමික අංශය සහ පෙර පාසල් දරුවන් වෙනුවෙන්' ශරීරය හඳුනාගැනීම පිළිබඳව පොත් පෙළක් හඳුන්වා දුන්නා. එම කෘති 16න් කෘති තුනක් මේ වනවිට වෙළෙඳපෙළට නිකුත් කර තිබෙනවා. ඇත්තටම මෙහෙම දෙයක් කරන්න ඕනෑ කියා මගේ හිතට ආවෙ කොරෝනා කාලෙදි ගෙදර ඉඳන් විශ්ව විද්‍යාලයේ දරුවන්ට උගන්වද්දි. ලැප්ටොප් එක දිග ඇරියම අපේ දරුවො දෙන්නත් අම්මෙි මේ මොනවද? මේකෙන් කෙරෙන්නෙ මොනවද කියලා අහන්න ගත්තා. ඒ නිසයි අපේ ශරීරය පිළිබඳව දරුවන් වෙනුවෙන් මේ කාර්යයට අත ගැසුවේ.
- දරුවන්ට සෞඛ්‍යය
අද දවසේ සෞඛ්‍යය පිළිබඳව බොහෝ කෘති ලියැවී ඇත්තේ වැඩිහිටියන් වෙනුවෙන්. ඊට පසුව ලොකු දරුවන් වෙනුවෙන්. නමුත් ජීවිතයේ පළමු පියවර තබන පෙර පාසල් දරුවන්, ප්‍රාථමික දරුවන් වෙනුවෙන් සෞඛ්‍යය පිළිබඳව පොත් නැති තරම්. මේ පොත් වැඩිහිටියො කියවලා දරුවන්ට කියාදෙන්නත් පුළුවන්. දරුවන්ට තනිවම කියවගන්නත් පුළුවන්.
මේක තරමක් අසීරු කටයුත්තක්. මොකද මේ දරුවො ජීවිතේ පටන්ගන්න කාලය. ඔවුන්ගේ මනසට යමක් එකතු වුණොත් ඒක මුළු ජීවිත කාලයේම මතකයේ තියෙනවා. ඒ නිසා මෙි දරුවන් වෙනුවෙන් කටයුතු කරද්දී හරි පරෙස්සම් විය යුතුයි.
- රටට වැඩක්
මට හොඳට උගන්වන්න පුළුවන් කියලා හිතෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය අපේ රට ඇතුළෙ බෙදා හරින්න වැඩ කරන්න ඕනෑ. ඒ වගේම තමයි තවම අපේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය දෙන්නෙ යල් පැනපු ක්‍රමවලින්. එය අලුත් විදියට දෙන්නත් පොඩි අදහසක් තිබෙනවා.
Leave a comment