රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම
පරිසරය හා ජීවිතය යනු දෙකක් නොව එකිනෙකට බද්ධ වූ සුන්දර හැඟීමකි. ගහකොළට, සතා සීපාවාට ආදරය කරමින් තමා ජීවත්වන වටපිටාව අන් මිනිසුන්ටද ජීවත්වීමට අවැසි අයුරින් ගොඩනගන්නට කැපවන ඇය, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන අධ්‍යක්ෂ ශ්‍යාමනී පෙරියප්පෙරුමයි. මෙවර සිරිකත " ඇය" වෙන්වන්නේ ඇයටය.
- ළමාවියේ මතක...
පුංචි කාලෙ ඉඳලම හිටියෙ මහරගම. ඒ කාලෙනම් බොහොම සුන්දර ගම් පළාතක්. අපේ පවුලෙ අම්මයි තාත්තයි, අයියයි , මල්ලිලා දෙන්නයි මමයි. තාත්තා බැංකු නිලධාරියෙක්. අම්මා නම් ගෙදර හිටියෙ අපිව බලාගෙන. අපේ පවුලෙ නෑදෑයො බොහෝ දෙනෙක් පදිංචිවෙලා හිටියෙ අපේ ගෙවල් කිට්ටුවමයි. එ් නිසා පොඩි කාලෙ ඉඳලම ඔවුන් එක්ක තමයි ළමා විය ගෙවුණෙ. මම ටිකක් නිහඬ චරිතයක්. වැඩිය එළි පහළියේ ගැවසෙන්නෙ නැතිව මට ඕනැ වුණේ ගෙදරට වෙලා මැහුම් ගෙතුම් කරන්න, අම්මට උයන පිහන වැඩවලට උදව් වෙන්න.
- පාසල් කාලේ...
ඉස්කෝලෙ ගියේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකාවට. මුල්තැන දුන්නෙ අධ්‍යාපන කටයුතුවලට තමයි. බාල දක්ෂිකාවක් වගේම පාසල් චෙස් කණ්ඩායමත් නියෝජනය කළා. ඒ තුළින් විශාල ජයග්‍රහණ රාශියක් පාසලට අත්කර දුන්නා. උසස් පෙළට කළේ ජීව විද්‍යාව. මම කොහොමත් පුංචි කාලෙ ඉඳලම කෘෂිකර්මයට වැඩි කැමැත්තක් තිබුණා. උසස් පෙළ ඉහළින් සමත්වෙලා විශ්වවිද්‍යාලයටත් තේරෙනවා.
- අරගල මැද සරසවිය...
මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට තමයි තේරෙන්නෙ. හරියටම 88- 89 කාලය. රටේ තිබුණෙ හිතාගන්න බැරි කාල සීමාවක්. ඇත්තටම අපේ යොවුන්විය ඒ කාලෙ. විශ්වවිද්‍යාලයට තේරෙනකොටම රටේ කලබල නිසා සරසවි වැහුවා. ඉතින් අපිට අවුරුදු කීපයක් ගෙදර ඉන්න වුණා. මේ කාලෙ මම මහරගම තරුණසේවා සභාව යටතේ පරිගණක පාඨමාලා, ඉවුම් පිහුම්, මැහුම් ආදිය හැදෑරුවා.. ඇත්තටම අද තමයි තේරෙන්නෙ ඒවා ජීවිතයට මොනතරම් වැදගත් වුණාද කියලා.
- හිතට හිතැති රැකියාවක්..
විශ්වවිද්‍යාලයෙන් පස්සෙ එතැනම රැකියාවක් ලැබුණා විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන පිරිස එක්කම කටයුතු කරන්න. විද්‍යා සාමාන්‍යවේදී උපාධිය තිබුණු මට ඒක විශාල අවස්ථාවක් වුණා. මොකද මට එතැන කටයුතු කරන්න ලැබුණෙ රසායන විද්‍යා උපාධිධාරීන් එක්ක. පසුව පරිසර අමාත්‍යාංශයේ උපාධිධාරී අභ්‍යාසලාභිනියක් ලෙස එකතු වුණා 1994දි. එතැන අවුරුදු දෙකක් වැඩකළා. ඊට පසුව මධ්‍යම පරිසර අධිකාරිය ට ආවා පරිසර නිලධාරිනියක් ලෙස.
- දයාබර සැමියෙක්...
මහත්තයා මුණගැසෙන්නෙ විශ්වවිද්‍යාල කාලෙදිමයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දැන් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ රැකියාවක් කරන්නෙ. ඇත්තටම ඔහු තරම් මගේ රැකියාව තේරුම්ගත් කෙනෙක් තවත් නැහැ. ඔහුත් පරිසරයට බොහෝ ප්‍රිය කෙනෙක්. මම යම් දුරක් ඇවිත් ඇත්නම් එහි වැඩි ගෞරවය ලැබෙන්නෙ ඔහුට.
- අභියෝග මැදින්...
ඝනඅපද්‍රව්‍ය කළමනාකරණය කරද්දි අපි ලංකාවෙ හැම තැනක් එක්කම වැඩ කරන්න ඕන.එ් ව්‍යාපෘති හඳුන්වාදෙන්න ඕන.මට මතකයි යුද සමයේ පවා අපි යාපනය,මඩකලපුව වැනි ප්‍රදේශවලට මේ ව්‍යාපෘති දියත්කළා.එක සැරයක් බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිමට දෙහිවල නගර සභාවෙන් කුණු දාන එක විශාල ප්‍රශ්නයක් වුණා.ඒකට අපි ව්‍යාපෘති වාර්තා හැදුවා එයට පිළියමක් ලෙස. ගමේ මිනිස්සුන්ට මේක හිරිහැරයක්.දුගද ඉවසන්න බෑ. අන්තිමට අපි මැදිහත්වෙලා මේ ඉඩම පස්වලින් පුරවලා බිල්ඩිමක්, ළමා උද්‍යානයක් එහෙමත් හැදුවා. පාසල්, විශ්ව විද්‍යාල දරුවන්ට පරිසර අධ්‍යයනයක් ලබාගන්න පුළුවන් විදියට.ඒ සියලු දේ ජයගත්තට පසුව එක්තරා පුද්ගලයෙක් මේ ඉඩමට ප්‍රකාශිත ඔප්පුවක් ඉදිරිපත් කරලා මේ ඉඩම අයිති ඔහුට කියලා.ඇත්තටම වගුරු බිම තිබුණු කාලෙ අයිතිවාසිකම් නොකියපු කෙනෙක් ඒ ඉඩම ගොඩගත්තට පස්සෙ අයිතිවාසිකම් කියනවා.මේ නඩුව තාමත් විභාගවෙනවා .ඇත්තටම රටේ පවතින ආර්ථික රටාව එක්ක අපට පරිසර ප්‍රවර්ධන කටයුතු සඳහා මුදල් වෙන්වන්නේ ඉතා සීමිතව.එහෙම වුණා කියලා අපට මේ වැඩසටහන් නතරකරන්න බැහැ.අපි එහෙම වෙලාවට දෙස් විදෙස් ආයතන හරහා අනුග්‍රහය ලබාගන්නවා.මේවා තමයි අභියෝග.
- සුහද රාජකාරි...
එක එක විදියෙ නිලධාරින් ඉන්නවනෙ. ගැටුම් ඇති කරන අයත් ඉන්නවා. හැබැයි මම ගැටුම්වලට යන්නෙ නැහැ. මම හැමකෙනා එක්කම සුහදව වැඩ කරනවා වගේම කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව කොහොමහරි කරදෙන්න උත්සාහ කරනවා. මට ඒ පුරුද්ද ආවෙ අපේ තාත්තාගෙන්. තාත්තගෙන් උදව් ඉල්ලපු කෙනෙකුට උපරිමයෙන් උදව්ව කරන්න උත්සාහ කළා. එ් තුළින් ලබන තෘප්තිය මෙතෙකැයි කියන්න බෑ.
- ගෙදර පුරුදු වැඩ ...
මගේ වැඩ පහසුවට මහත්තයා සේවිකාවක් ගෙනත් දුන්නත් මම ඉන්න දවසට උයන පිහන, කඩේ යන, රෙදි නවන වැඩේ ඉඳලම කරන්නෙ මම. මොකද මහත්තයත් කැමතියි මම උයන කෑම කන්න. මට රසට උයන්න පුළුවන්. ගෙදරට ඕනෑ තරම් පිරිසක් ආවත් මට පුළුවන් උයන්න. ඒක කාන්තාවකට බැරිවෙන්න විදියක් නැහැ.
- තරුණ පරපුර..
මට ත් ඉන්නෙ දියණියක්.ඇය විශාකා විද්‍යාලයේ උසස් පෙළ ට සූදානම්වනවා මේ දවස්වල.එයාට ක්‍රීඩාව හොඳටම පිහිටලා තියෙනවා. දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්.
ඇත්තටම අද ඉන්න තරුණ ළමයි අපි කරපු දේවල්නම් කරන්නෙ නැහැ.පහසුකම් වැඩිවුණත් ප්‍රශ්නයක්නෙ. මගේ දුව වුණත් ගෙදර අපි ඉන්නවානම් හැමදේම අපි කරන්න ඕන.හැබැයි අපි නැත්නම් හැමදේම කරගන්නවා.ගෙදරට අපි නැති වෙලාවක කවුරුහරි ආවොත් උපරිමෙන් සංග්‍රහ කටයුතුත් කරනවා.දැන් ගොඩක් ළමයින්ට තියෙන්නෙ පිටරට යන හීනයක්නෙ.එහෙම ගියත් උයලා පිහලා,රෙදි හෝදගෙන මොනතරම් දෙයක් තනියම කරගන්න ඕනද? ඉතින් ගැහැනු පිරිමි භේදයක් නැතිව දරුවො ගෙදර වැඩකට උදව් වීම ගැටලුවක් නෙමෙයි.
- නැණ නුවණ...
මේ හැමදෙයක්ම අතරෙ ඉගෙනීම් වැඩත් කරගත්තා පශ්චාත් උපාධි කිහිපයක්ම කළා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාව හා පරිසර කළමනාකරණ උපාධිය හැදෑරුවා. මැලේසියාවෙ Asia e University හි MBA උපාධිය හැදෑරුවා. අපි මොන දේ කළත් ඉගෙනගත් දේවල් අපතේ යන්නෙ නැහැ.
- රටට ණය නැහැ
මේ රටට, පරිසරයට අවංකවම සේවයක් කළා කියන හැඟීම තියෙනවා. ඒක මිලට ගන්න බැරි සතුටක්. තව ටික කාලෙකින් විශ්‍රාම ගියාම කෘෂිකාර්මික පැත්තට යොමු වෙන්න ආසාවක් තිබෙනවා. ඒ වගේම රටතොට බලාගන්න, විඳින්න යන්න ඕනෑ. සැමියා සංචාරක කර්මාන්තයට සම්බන්ධ නිසා රටවල් ගණනකට යන්නත් අවස්ථාව ලැබුණා වගේම එ් ගමන්වලදි අපේ රටට මම ගෙනා අත්දැකීම් බොහෝමයි.
මට සතුටක් තිබෙනවා මගේ යටතේ වැඩකරපු නිලධාරීන්ට ඉහළට යන්න මග පෙන්නුවා, අවස්ථාව දුන්නා. ඔවුන් අද ඉහළ තැන්වල ඉන්නවා. ඒක මට හදවතින්ම සතුටුවෙන්න පුළුවන් කාරණාවක්.
Leave a comment