හිටිවන කවිය රට හැමතැන ජයට කියා සිරිකත ගොඩවන ඇය තමයි ශ්‍රියා
දැරණියගල, කෙහෙල්වල මම ඉපදුණ ගම. වටේම කඳු, දිය කඩිති පිරුණු හරිම ලස්සන ගමක්. අපේ පවුලෙ අම්මයි , තාත්තයි, අක්කයි. අයියයි,මමයි , නංගිලා දෙන්නයි. අම්මයි තාත්තයි දෙන්නම ගොවිතැන් කළේ. අපේ ළමාවිය ගෙවුණෙ ඒ ගංගොඩේ. ඉස්සර මුළු ගමම නෑදෑයො වගේ. අපි ඉස්කෝලෙ නිවාඩු දවස්වලට උදේ ගෙදරින් පිටවුණාම ගෙදරට එන්නේ හැන්දෑවෙලා. හැම වැඩිහිටියෙක්ම අපි ගැන හොයලා බැලුවා. එහෙම ළමා කාලයක් තමයි ගතකළේ.
- පාසල් ජීවිතේ
කෙහෙල්වල කනිෂ්ඨ විදුහලට මුලින්ම ගියේ. ඉන්පසු දැරණියගල සිරි සමන් විදුහලට ගියා. බාහිර වැඩ හැම එකකටම එකතු වුණා. මට දුර පනින්න පුළුවන්. ඒ වගේම තමයි පාසලේ වොලිබෝල් ගැහුවෙ නැතිවුණාට ගමේ වොලිබෝල් ගහලා ගොඩක් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. එක සිදුවීමක් නිසා මගේ අධ්‍යාපන කටයුතු අඩපණ වුණා කියා සිතෙනවා.මම සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්වුණා. මගේ කැමැත්ත තිබුණේ උසස් පෙළට කලා විෂයයන් කරන්න. මේ කාලයේ තමයි අපේ පාසලට විද්‍යා විෂය ධාරාව හඳුන්වා දුන්නෙ. ඉතින් සාමාන්‍ය පෙළ හොඳට සමත් ළමයින්ට විද්‍යා විෂයයන් හදාරන්න සිදුවුණා. අපේ අම්මලා තාත්තලට වුණත් ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නෑ. ගුරුවරු කියන දෙයක් තමයිනෙ ඉතින් ඒ කාලෙ. ඒ නිසා මට හරියට උසස් පෙළ කරගන්න බැරිවුණා. ඒක මට විතරක් සිදුවූ දෙයක් නෙමෙයි. අනෙක් ළමයිනුත් ඒ ගැටලුවට මුහුණ දුන්නා.
- හිටිවන කවි
හිටිවන කවි කියන්න යොමු වුණේ කෙහෙල්වල කනිෂ්ඨයේ ඉගෙනගන්න කාලෙ. මම එතකොට තුනේ පන්තියෙ. අපේ අක්කලාට පාසලේ සමිතියක් තියෙනවා ‘සරසවි කාලය’ කියලා හිටිවන කවි කියන. මම ඉතින් ඉස්කෝලෙ ඇරුණම ගෙදර යන්නෙ නැතිව ඒක අහගෙන ඉන්නවා. දවසක් මට කවියක් ඒ සමිතියේ කියන්නම ඕන කියලා හිතුණා. මම ගිහින් ඒ වෙලාවෙ හිතට ආව පේළි දෙකක් ඉස්සරහට ගිහින් කිව්වා. මට අදටත් මතකයි විදුහල්පතිවරයා වූ ආරියදාස සර් මම පේළි දෙක කිව්වම ළමයින්ට අතින් කිව්වා අත්පුඩි ගහන්න කියලා. ඒ ආව ගමන තමයි මේ. ඊට පස්සෙ ගමේ සමිතිවල, සල්පිල්වල. විවිධ ප්‍රසංගවල කවි කියන්න ගියා. ඒ කාලෙ ගුවන් විදුලියටත් ලිව්වා. ලලිත් එස් මෛත්‍රිපාල, කරුණාතිලක හඳුවල, ජයන්ත රෝහණ වගේ ප්‍රවීණයෝ මගේ කවි නිතර තෝරාගෙන අගය කළා. පසුව ගුවන්විදුලියට හිටිවන කවි කියන්න එකතු වුණා. ඒ කාලෙ සිංහල කවි සම්මේලනය හරි ප්‍රසිද්ධයි. කවි මඩුවලට යන්න එන්න පටන් ගත්තම හුඟක් ප්‍රවීණයන් හඳුනාගත්තා.
- ප්‍රේමයයි - විවාහයයි
ස්වාමි පුරුෂයා මුණගැහුණෙ මුල්ලේගම කවි මඩුවෙදි. ඔහුත් දක්ෂ හිටිවන කවියෙක් වගේම හොඳ ගුරුවරයෙක්. ඒ කාලෙ කවි මඩුවල අපි දෙන්නා තමයි තරුණම. අපේ දුව උපාධිධාරී ගුරුවරියක්. පුතා උපාධිය අරගෙන පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. මහත්තයා හදිසියේ නැතිවුණත් දරුවන්ට මම යුතුකම් ඉටුකළා. මම පොඩි දරුවන්ට ටියුෂන් කරලා, පත්තරවලට ලියලා, හිටිවන කවි කියලා තමයි දරුවන්ට ඉගැන්නුවේ.ඒ දෙන්නත් පුංචි කාලෙ ඉඳන්ම යහපත් ලෙස හැදුණා. දන්න කාලෙ ඉඳන්ම එ් දෙන්නත් පොඩි ළමයින්ට ටියුෂන් කරලා එයාලගෙ අවශ්‍යතා ඉටුකර ගත්තා. මට කවදාවත් කරදර කළේ නෑ.
- නිර්භීත ගැහැනිය
මම මරණයකදිවත් ලේසියෙන් අඬන්නෙ නැති ගැහැනියක්. සමහරු අහනවා හිත ගලක් ද කියලා. එක සැරයක් අපේ ගමේ කන්දක් නාය ගියා. ඒ කන්දට අපේ නෑදෑ පවුලක් යටවුණා. ඉතින් අපේ ඇස් ඉදිරිපිට තමයි ඒ මරණ ගොඩගත්තෙ. පුංචි දරුවකුත් හිටියා. මම තමයි ඒ අම්මගෙ මඟුල් සාරිය කපලා ඒ දරුවට අන්දවන්න ගවුම මැහුවෙ. ආයෙත් නාය යයි කියලා ගමේ අයවත් වැඩිය එතැනට ආවෙ නෑ. අපිම තමයි හැමදේම කළේ. එදා තමයි මම මරණය මොකක්ද කියලා හඳුනාගත්තෙ.
මගේ මහත්තයා ජීවත්ව ඉන්න කාලෙ මට කියලා තිබුණා මට කලින් එයා මැරුණොත් මරණෙ අරගෙන යනකොට කවි කියන්න කියලා . මම ඔහුගේ දේහය අරගෙන යද්දි වාහනයක නැගලා කවි කිය කියා තමයි ගියේ.
- අභියෝග
ඇත්තටම ගැහැනියක් විදියට මට අභියෝග තිබුණෙ හිටිවන කවි ක්ෂේත්‍රයේමයි. මමයි මහත්තයයි ගොඩක් උත්සාහ ගත්තා මේ ක්ෂේත්‍රය හරි තැනකට ගේන්න. කවි මඩුවකට යද්දි අඳින ඇඳුමෙ ඉඳලා අපි ක්‍රමයක් හැදුවා. මත්පැන් පානය කරලා කවි මඩුවකට පැමිණීම තහනම් කළා. නමුත් මේවාට අකමැති පිරිස් අපට විරුද්ධ වුණා. සමහර කවියො කවියෙන් අසභ්‍ය දේ කියනවා. හිටිවන කවි ක්ෂේත්‍රයේ කාන්තාවො අඩුවෙන්න ප්‍රධානම හේතුව එයයි. මොකද හැමෝටම එක විදියට දරාගන්න බැහැනෙ. හැබැයි මම නම් එහෙම වෙලාවට අතාරින්නේ නෑ. කවියෙන්ම උත්තර දෙනවා.
- අනාගතය
ජීවිතේ ගැන බයක් දැන් නැහැ. හොඳ දරුවො දෙන්නෙක් හැදුවා. මම කාටවත් බරක් වුණේ නැති ගැහැනියක්. මේ රටට හිටිවන කවියෙන් මගේ යුතුකම ඉටුකළා කියන විශ්වාසය තිබෙනවා.
මම කවි සමිති, සංගම්වල ඉහළ නිලතල දරපු කෙනෙක්. නමුත් පෞද්ගලික හේතු මත ඒ සියල්ලෙන්ම ඉවත්වෙලා කාලයක් හිටියා. අක්‍රියව තිබුණ සිංහල තරුණ කවි සමාජය නැවත පණ ගන්වන්න අවශ්‍ය නිසා කෙටි කාලයකට එහි ප්‍රධාන ලේකම් තනතුර මෑතකදි බාරගත්තා.
Leave a comment