අම්මා කලබල වුණාට හුඟක් ගැටලු ලෙඩ නොවෙයි

 

 

ඔන්න දරු පැටියා ගෙදර ගෙනත් අදට හරියටම සති දෙකයි. පැටියා රෑට අඬනවා. ඒකට අපි හේතු දැනගත්තා. පැටියා කහපාට වුණා. ගෙදර ගෙනත් දින කිපයකින්. ඒකටත් හේතු දැන ගත්තා. පැටියා අම්මගෙ කිරි ටික ටික බොන හුඟක් වෙලාවට කක්කි දැම්මා. ඒකත් සාමාන්‍යයි කියලා වෛද්‍යතුමාගෙන් දැනගන්න ලැබුණා. දවසට 6-7 වරක් මූත්‍ර පහවෙනවා. ඒකත් සාමාන්‍යයයි. 


ඒත් පැටියාගේ තවත් දැනුවත් වෙන්න ඕනෑ ගැටලු ගොඩක් තියෙනවා. කිරි කැටියා නාවන විට පිටේ කළුපාට ලොකු කළු ලප. මොනවාද මේ.


ඒ විතරක්ද පුංචි කට ඇතුළෙත් ගැටලු ගොඩක්. ඇස් දෙකෙත් නිතර කබ බඳිනවා. මේ ගැටලු විසඳා ගන්නයි මෙවර සූදානම් වෙන්නේ. 

 


මොනවද මේ කළු ලප
බොහෝ විට අලුත උපන් දරුවන්ගේ පිටේ සහ තට්ටම් ප්‍රදේශයේ කළුපාට හෝ තද නිල් පැහැයෙන් දිස්වෙන විශාල ලප තිබෙනවා. මේවාට Mongolian Blue spots කියලත් කියනවා.


මේවා ඇති වන්නේ සමෙහි ඇති වර්ණක සෛල හෙවත් මෙලනොසයිට් යන දෑ මෙම ප්‍රදේශවල වැඩිපුර එක්රැස් වීමෙන්. ආසියානු සහ අප්‍රිකානු රටවල දරුවන්ගේ මෙම තත්ත්වය වැඩිපුර දක්නට ලැබෙනවා. මෙම මෙලනොසයිට් එක් රැස් වීි පවතින්නේ සමෙහි ගැඹුරු ස්ථරවලයි. මෙම ලප අතට අසුවෙන ලෙස දැනෙන්නේ නැහැ. සමෙහි මතුපිට ස්වභාවයේ  වෙනසක් දැනෙන්නෙත් නැහැ. මේවා සාමාන්‍යයෙන් පැටියාට වයස මාස කිහිපයක් යන විට ක්‍රමයෙන් මැකී යනවා. ඒත් කලාතුරකින් මේ ලප වසර තුනක් පමණ පවතින්නත් පුළුවන්. මෙම ලප කිසිසේත්ම පැටියාට හානිකර බලපෑම් ඇති කරන්නේ නැහැ. මේවා ඉබේම මැකී යන නිසා කිසිදු ප්‍රතිකාරයක් කිරීම අවශ්‍යත් නැහැ.

 


තල්ලේ සුදුපාට ගැටිති
දරු පැටියා ගෙදර ගෙනත් පිරිසුදු ගෝස් කෑල්ලකට ග්ලිසරින් මිශ්‍ර කරලා විදුරුමස් තල්ල යාන්තම් පිරිසුදු කරන විටයි මේ වෙනස දුටුවේ. පැටියාගේ තල්ලේ සහ විදුරුමස්වල සුදුපාටට හුරු කුඩා ගැටිති වගේ පේනවා. මේවා බිබිළ වගේ. මේ මොනවාද?
මේ තත්ත්වය අලුත උපන් දරුවන්ගෙන් 80%කට පමණ දක්නට ලැබෙනවා.Epstein pearls හෙවත් ‘එපිස්ටීන් ගෙ මුතු’ යන අපූරු නමින් හඳුන්වන්නේ මේවා. මේවායෙනුත් ඒ පැටියාට කිසිදු හානියක් සිදුවෙන්නේ නැහැ. මේ ස්වාභාවික පිහිටීමක්. බොහෝ දරුවන්ගේ මේ ලප දකින්න පුළුවන්. පැටියාට වයස සති දෙකක් තුනක් යනවිට මේවා ක්‍රමයෙන් නොපෙනී යනවා. බියවෙන්න හේතුවක් නැහැ.

 


මිලියා ගැටිති 
දරු පැටියා ඉපදී මුල් දින කිහිපයේ ඒ පුංචි කම්මුල් දෙකේ සුදු පාටට ගැටිති කිහිපයක් දක්නට ලැබෙනවා. දැන් පැටියාට සති දෙක පහු වී ගෙන එන නිසා ටිකක් ඒ ගැටිති අඩුයි. ඒත් තවමත් තියෙනවා. මොනවාද මේ.
Milia (මිලියා) ලෙස හඳුන්වන මේ සුදු පාට ලප දරු පැටියා ඉපදී මුල් දින කිහිපයේ බොහෝ විට දක්නට ලැබෙනවා. හුඟක් පැටවුන්ගේ මේ ලප සුදු පාටට හෝ කහ පාටට දක්නට ලැබෙනවා. මේ ලපයක් මිලි මීිටරයකටත් වඩා කුඩායි. මේ ලප වැඩිපුර දක්නට ලැබෙන්නේ දරු පැටියාගෙ නාසය උඩ සහ කම්මුල් දෙපසයි. මෙම ගැටිති මෙන් දිස්වෙන ලප සති කිහිපයක් යන විිට කිසිදු කැළලක් ඉතිරි නොකර නිකන්ම පහ වී යනවා. මේවා මිරිකන්නවත්, සිදුරු කරන්නවත් එපා. එසේ කළොත් හානිකරයි.


දරු පැටියාගේ සිරුරේ වෙනත් ස්ථානවල ප්‍රමාණයෙන් විශාල කහ පාට සැරව බිබිළි ඇතිවෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. එය වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්වයක්. එහෙම වෙන්නේ සමේ ආසාදනයක් නිසයි.

 


උපදිනකොටම දත් ඇවිත්?
මේ මොකද...? දරු පැටියා උපදිනකොටම විදුරුමසින් ඉහළට දතක් වගේ පේනවා. ඇත්තටම ඒ දතක්. පුංචි බබාලා උපන් ගමන් දත් එනවාද?
ඔව්...කලාතුරකින් එහෙම වෙනවා. ඒ පෙනෙන දත යාන්තමින් මතු වී පෙනේ නම් සහ එය සෙලවෙන්නේ නැතිනම් ඒ සඳහා කිසිවක් කිරීමට යන්න එපා. එහෙත් දත සෙලවෙන්නේ නම් හෝ දත වැදීමෙන් අම්මාගේ පියයුරු තුවාල වෙන්නේ නම් දන්ත වෛද්‍ය සායනයකින් උපදෙස් ලබා ගැනීම වැදගත්. බුරුල් වූ සෙලවෙන දතක් තිබේ නම් එය ගැලවී ගොස් දරුවාගේ ශ්වසන මාර්ගයේ හිර වීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා එය අවදානම්. වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.

 


චූටි දූවගේ රුධිරය පිටවෙනවා
චූටි දූ ගෙදර ගෙනත් දවස් කීපයයි. බබා සෝදන්න ගිය අම්මාට අමුත්තක් පෙනුණා. පැටියාගේ යෝනි මාර්ගයෙන් ළා රතු පාටට රුධිරය පිටවෙනවා. මොනවා වෙලාද මේ......?
ඇතැම් විට ගැහැනු දරුවන් ඉපදී මුල් දින කිහිපයේදී යෝනි මාර්ගයෙන් සුළු රුධිර ප්‍රමාණයක් පිටවෙන අවස්ථා දක්නට ලැබෙනවා. මෙහෙම වෙන්නෙ අම්මාගේ කුසේ සිටින කාලයේදී අම්මාගේ හෝමෝන දරුවාට ඇතුළුවීමෙන්.


දරුවා උපන් පසු එම හෝමෝනවල බලපෑම තවදුරටත් දරුවාට ඇති නොවෙන නිසා සුළු රුධිර පිටවීමක් සිදුවීමට පුළුවන්. මෙයට කිසිසේත්ම බිය විය යුතු නැහැ. මෙම තත්ත්වය දින කීපයකින් නැති වී යනවා. මෙය ස්වාභාවික තත්ත්වයක්.

 


දරුවාගේ පියයුරු විශාලයි
ඇතැම් දරුවන් ඉපදුණු මුල් කාලයේ පටන් පියයුරු තරමක් විශාල වීි ඇති බව පෙනෙනවා. සමහර දරුවන්ගේ පියයුරුවලින් කිරි වැනි දියර බිංදුවක් දෙකක් පමණ පිටවෙන අවස්ථාත් දක්නට ලැබෙනවා.  මෙයත් අම්මාගේ හිත ගැස්සෙන තත්ත්වයක්.


මෙයත් අම්මාගේ කුසේ වැඩෙන කාලයේ හෝමෝනවල බලපෑම නිසා ඇතිවෙන තත්ත්වයක්. මෙයත් දින කිහිපයකින් නැති වී යනවා. මෙයට බිය විය යුතු නැහැ. එයත් ස්වාභාවිකයි. මෙවැනි දෑ දුටු විට ඉස්සර ආච්චිලා පුංචි තනපුඩුව මිරිකා හරිනවා. එය කිසිසේත්ම නොකළ යුතුයි. එහෙම කළාම පියයුරු ආසාදනයක් පවා ඇතිවෙන්න පුළුවන්. එහෙම කළාම දරුවාගේ පියයුරු ඉදිමී රතු පැහැ වී වේදනා ගෙන දෙන්නත් පුළුවන්. 

 


දරුවාගේ ඇස්වල කබ
අම්මා බබා කුසේ ඉන්න කාලේ කාපු සැර කෑම නිසාදෝ පුංචි පැටියාගේ ඇස්වල කබ. දරු පැටියාට අපහසු ඇති. වෛද්‍ය උපදෙස් ගන්න වේවිද?
උදේ අවදි වන විට පුංචි ඇස්වල කබ පොඩ්ඩක් තිබුණට කලබල වෙන්න එපා. එය පිරිසුදු රෙදි කඩක් පිරිසුදු ජලයේ පොඟවා සෙමින් පිසදා හරින්න. මෙය දින 2-3 න් පහව යනවා. එය ස්වාභාවිකයි. දරු පැටියාගේ ඇස් රතු වී තිබේ නම් සැරව වැනි ශ්‍රාවයක් පිට වේ නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගන්න ඕනෑ. 

ශිරානි ගල්ලෑල්ල


 

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment