එන්නත් දෙන්න පටන් ගත්තම පුංචි ගැටලු ගොඩක්

 

චූටි පැටියා උපන් දා සිට පාසල් සමය දක්වාම විවිධ රෝගවලින් ආරක්ෂාවීමට එන්නත් ගණනාවක්ම ලබාදෙන  බව අම්මලා දන්නවා. ඒත් මේ එන්නත් ලබාදීමේ අරමුණ හා ඒවා ලබා දීමේදී ඇති වන ගැටලු ගැන මවුවරු බොහෝ විට දන්නේ නැහැ. මේ නිසාම සමහර එන්නත් දෙන්න උනන්දු නොවෙන අවස්ථාවත් තිබෙනවා. ඒ වගේම එන්නත් ලබා දුන් පසු දරුවාට විවිධ ගැටලු ඇති වෙන අවස්ථාවත් තිබෙනවා. ඒ නිසාම අපි ඒ ගැනත් බලමු. 
අපේ රට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගත් රටක්. මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා දරුවන් මාරාන්තික තත්ත්වයට පත්වීම මෙන්ම සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කරන රෝග ගණනාවක් තුරන් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා නියම කාලයට දරු පැටියට නියමිත එන්නත් ලබාදීම ඉතාම වැදගත්. එනිසාම එන්නත් ලබාදීම ගැන මවුවරුන් දැනගත යුතු දේ මෙන්ම ඇතිවන ගැටලු මෙසේ විසඳා ගනිමු. 

 


බී. සී. ජී. (B.C.G) එන්නත 

උපදෙස් :- මාරවිල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්‍ෂ


දරුවා ඉපදී පළමුවෙන්ම දෙන්නේ බී. සී. ජි. එන්නතයි. මෙම එන්නත බොහෝ විට දෙන්නේ දරුවා  ඉපදී පළමු පැය 24 ඇතුළතදී ය. එසේ කරන්නේ දරුවා ක්ෂය රෝගයෙන් ආරක්ෂා කිරීමටයි. කෙසේ වුවද දරුවා ඉපදී රෝහලෙන් පිටවීමට පෙර මෙම එන්නත ලබා දෙයි. 


එහෙත් නොමේරූ හෝ අඩු බර දරුවකු නම් ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබාදීමට සලස්වයි. එසේ සිටින කාලයේ නොව එම ඒකකයේ ප්‍රතිකාර ලබා ගෙදර යෑමට පෙර මෙම එන්නත ලබා දෙයි. 
මෙම එන්නත ලබාදෙන්නේ පැටියාගේ වම් අතේ ඉහළ කොටසටයි. මෙම එන්නතින් පසු දරු පැටියාට උණ සෑදෙන්නේ කලාතුරකිනි. එහෙත් එන්නත ලබාදී සති 2-6ක් අතර කාලයේදී එන්නත් කළ තැන කුඩා බිබිළක් මතු වී පසුව එය කැඩී තුවාලයක්වීම දක්නට ලැබේ. පසුව එම බිබිල ඇති වී තුවාල වූ තැන සුව වී කැළලක් මතු වේ. එම බිබිළ ඇති වූ තැන හටගන්නා පුංචි තුවාලයට නම් කිසිවක් ආලේප කිරීම හෝ පිසදමන්න එපා. එය ඉබේම සුවවෙනවා. 


B.C.G එන්නත දුන් පසු එතැන ඇතිවන පුංචි තුවාලය සාමාන්‍ය යි. ඒ නිසා ඊට බිය යුතු හෝ බෙහෙත් ගැල්විය යුතු නැහැ.


මෙම එන්නත දුන් පසු ඉහත ක්‍රියාවලියට වඩා වෙනස් දෙයක් සිදු වේ නම් එනම් එම ස්ථානයේ තරමක් විශාල තුවාලයක් සෑදෙයි නම් එම තුවාලයෙහි දිගින් දිගටම සැරව ගලයි නම්, දරු පැටියාගේ කිහිල්ලේ කුද්දෙටි මතු වී ඇත්නම් එය අසාමාන්‍යයි. පමා නොකර ළමා රෝග විශේෂඥ වෛද්‍ය සායනයකට හෝ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයකුට හෝ එම සායනයකට පෙන්වා උපදෙස් ගැනීම ඉතාම වැදගත්. 


කලාතුරකින් ඇතැම් දරුවන්ගේ බී. සී. ජී. එන්නත දුන් පසු මාස කිහිපයක් ගත වුවත් කැළලක් පිහිටන්නේ නැහැ. මෙසේ වුවහොත් එම දරුවාත් ළමා රෝග හෝ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීම අවශ්‍යයි. එවිට වෛද්‍යවරයා පරීක්ෂා කර නැවත එම එන්නත ලබාදීම තීරණය කරයි. එසේ එන්නත නැවත ලබා දීමට නියම කළොත් දරුවාට වසර පහක් යාමට පෙර එම එන්නත ලබාදිය යුතුයි. 

 


මාස දෙකෙන් ලබාදෙන පළමු එන්නත 
අලුත උපන් දරු පැටියාට මාස දෙකේ සිට ඉදිරියට එන්නත් ගණනාවක් ලබා දෙනවා. ඒවා දරුවාට වයස මාස දෙක, හතර, හය ලෙස පිළිවෙළින් ලබා දිය යුතුයි. මෙම එන්නත් ලබා දීම ගැන සායනයෙන් පැහැදිලි කළත් සෑම අම්මා කෙනෙක්ම පොදුවේ දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. 

 


එන්නත කල් දැමිය යුතු අවස්ථා තිබෙනවද? 
මෙය සෑම අම්මා කෙනෙක්ම සිතන ගැටලුවක්. මේ දෙන එන්නත කල් ගියොත් මොකද වෙන්නෙ දරුවාට උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් තිබෙන විට එය දෙන්න හොඳ ද? එනිසාම මේ ප්‍රශ්නය නම් වැදගත් වේවි.
මේ දිනවල දරුවන්ට ශ්වසන ආසාදන සහ වෙනත් වයිරස රෝග බහුලව වැලඳෙනවා. මෙම ශ්වසන ආසාදන ඇතිවීම උණ සෑදෙන අවස්ථාත් බහුලව දක්නට ලැබෙනවා. උණ හෝ ශ්වසන රෝගයෙන් පෙළෙන විට එන්නත ලබාදීම ගැන දෙවරක් සිතිය යුතුයි. දරුවාට සැලකිය යුතු මට්ටමකට උණ තිබේ නම් එදින එන්නත් ලබා දෙන දිනය නම් එය කල් දමන්න. එසේම එන්නත් ලබා දෙන දින දරුවාට තද කැස්ස හෝ හතිය තිබේ නම් සායනයට නොයා එන්නත කල් දමන්න. දරුවාට හොඳින් සුව වූ පසු ඊළඟ දිනයේදී එන්නත් ලබාදෙන්න. 

 


එසේම දරුවාට යම්කිසි රෝගී තත්ත්වයක් නිසා රුධිරය ලබා දී තිබේ නම් හෝ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීමට බලපාන ඖෂධ ලබා දී තිබේ නම් එම කාලයේ එන්නත් ලබාදීම වෛද්‍යවරුන් නියම කරන කාලයක් ප්‍රමාද කිරීමට සිදුවෙනවා. 


මීට පෙර දරුවාට ලබාදුන් ප්‍රතිශක්ති එන්නතක් අසාත්මික වී තිබේ නම් බොහෝ විට ඊළඟට එම එන්නත් ලබාදීමට වෛද්‍යවරුන් තීරණය කරනු ඇත. මෙහිදී ඊළඟ එන්නත් ලබාදීමට දරුවා රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබාදීම ඊළඟ සාමාන්‍ය පිළිවෙතයි. 

 


එන්නත් දෙන්න බය වෙන්න එපා 
ප්‍රතිශක්ති එන්නත් ලබා දුන් පසු දරුවාට සුළු උණ තත්ත්වයක් ඇතිවීම සාමාන්‍යයි.  පැය විසි හතරක් තුළ මෙම උණ බැස ගොස් සමනය වෙනවා. එසේම එන්නත් ලබාදුන් ස්ථානයේ තරමක රතුවීමක් හෝ වේදනාකාරීවීමක් ඇතිවීමත් සාමාන්‍යය යි. උණ සෑදුණු විට දරුවාගේ බරට අනුව ගැළපෙන පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන්න.  එවිට පැය 24 ක් තුළ උණ බැස යයි. එහෙත් දින දෙකකට වඩා උණ තිබේ නම් හෝ අසාමාන්‍ය ලෙස තද උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්. ඒවගේම එන්නත ලබා දුන් ස්ථානයේ විශාල ප්‍රදේශයක් රතු වී ඉදිමී පවතී නම් වෛද්‍ය උපදෙස් ගන්නම ඕනෑ. 

 


නාවන්න හොඳ ද? 
මෙය හුඟක් අම්මලාට තිබෙන ප්‍රශ්නයක්. එන්නත දුන් පසු විශේෂ අසනීප තත්ත්වයක් නැතිනම් පසුදින දරුවා නෑවීම වරදක් නැහැ. එහෙත් එන්නත දුන් ස්ථානය තද කරන්න එපා. පිරිමදින්නත් එපා. 

 


කෑම කොහොමද? 
ආහාර දෙන දරුවෙක් නම් සාමාන්‍ය ලෙස වෙනදා මෙන් ආහාර දෙන්න.  එන්නත් දුන් පසු යම් අසාත්මික ලක්ෂණ මතු වේ නම් ශරීරයේ රතුපාට බිබිළි දමා තිබේ නම් ඇඟ කැසීම, මුහුණ හෝ තොල්පට ඉදිමීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි ලක්ෂණ ඇති වී ඇත්නම් දරු පැටියා ළඟම තිබෙන රෝහලට වහාම රැගෙන යාම අවශ්‍යයි. එහෙත් මෙවැනි අසාත්මිකතා ඇති වන්නේ ඉතා කලාතුරකින් බවත් කියන්නම ඕනෑ. 

 


එන්නත මග හැරුණොත් මොකද කරන්නෙ? 
දරුවාට වැලඳුණු යම් රෝග තත්ත්වයක් නිසාත් පදිංචිය මාරුවීම, විදේශ ගත වීම වැනි හේතු නිසා එන්නත් එකක් හෝ කිහිපයක් මග හැරුණොත් පමා නොකර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. එවිට මගහැරුණු එන්නත් පටන්ගෙන සාමාන්‍ය ලෙසට ඉදිරි එන්නත් ලබාදීමේ එම මවුවරුන්ට වෛද්‍යවරුන් පහසුකම් සපයනු ඇති. එහෙත් මුල් එන්නත් ලබාදී ඊළඟ එන්නත් මග හැරුණාට නැවත  මුල සිට එන්නත් ලබාදීම අවශ්‍ය වෙන්නේ නැහැ.

ශිරානි ගල්ලෑල්ල


 

 

අනෙකාගේ විශ්වාසය රකින්න Read Previous

අනෙකාගේ විශ්වාසය රකින්න

අම්මාගේ ආදරය  මම ඇයගෙන්  හොයනවා   Chanuka Read Next

අම්මාගේ ආදරය මම ඇයගෙන් හොයනවා Chanuka

Realted Post

Leave a comment