කසන, පලු දමන, හුස්ම ගන්න අමාරුවෙන අසාත්මිකතා
වයස හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාහට වුවද ඇතිවිය හැකි රෝගී අවස්ථාවක් ලෙස අසාත්මිකතා (Allergy) හඳුන්වා දිය හැකිය. මෙය රෝග ලක්ෂණයක් ලෙසද වෙනම රෝගයක් ලෙසද දැක්වීමට පුළුවන. එම නිසා අසාත්මිකතා තත්ත්ව ඇතිවිය හැකි හේතු හඳුනා ගැනීම ප්‍රතිකාර ගැනීමට හා වළක්වා ගැනීමට ඉතා වැදගත් ය. මන්දයත් මෙය ඉතා සරල තත්ත්වයක් මෙන්ම සමහරවිට ක්ෂණික මරණය ගෙන දිය හැකි අවස්ථාවක්ද විය හැකි නිසා ය.
විවිධ ඖෂධ වර්ග, ආහාර වර්ග, විවිධ සතුන්, කෘමීන් දෂ්ට කිරීම, සුරතල් සතුන් ස්පර්ශ කිරීම, විවිධ කිරි පැණි නිෂ්කාරක ස්පර්ශවීම ආදී හේතු බොහොමයක් අසාත්මිකතා ඇතිවීමට බලපායි. මෙවැනි හේතු නිසා සිරුරේ විවිධ ස්ථානවල ඇතිවන කැසීම, පලු දැමීම් තත්ත්වය, ඇස් කැසීම, කන කැසීම, කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර පිටවීම, මුහුණ ඇස් ප්‍රදේශ ඉදිමීමේ තත්ත්වය විශේෂයෙන්ම සමේ ඇතිවන දද කුෂ්ඨ වැනි තත්ත්ව, සම රතු වී කැසීම් සහිත පැල්ලම්, ආහාර මාර්ග ආශ්රිත උදර වේදනා, වමනය, දියර ලෙස වැඩි වාර ගණනක් මල පිටවීම, උදරය පුරවා දැමීම, සම රතුපාට වීම, දිව - තොල - කන් - ඇස් ඉදිමීම, කැස්ස, උගුර ඉදිමීම, ඇදුම තත්ත්වය පපුව ආශ්රිත ප්‍රදේශ තද ගතිය, ආශ්වාස ප්‍රශ්වාස අපහසුව, ක්ලාන්තය ගතිය, දෑස් නිලංකාරවීම ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
උපදෙස් - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය |
හදිසි මරණය ගෙන දිය හැකි රෝග ලක්ෂණ ලෙස පපුව ආශ්රිත ප්‍රදේශය තද ගතිය, හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය, සිහිසුන්වීම දැක්විය හැකිය. සමහරවිට මින් එකක් හෝ රෝග ලක්ෂණ කීපයක් එකවර ඇතිවිය හැකිය. අසාත්මිකතා ඇති කරන හේතු සඳහා සිරුර දක්වනු ලබන ප්‍රතිශක්තිමය විරෝධතාව නිසා අසාත්මිකතා ලක්ෂණ ඇති වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ජානමය දායකත්වය අග්නිය (ආහාර දිරවීමේ ක්‍රියාවලියේ) මන්ද බව හා සිරුරේ දෝෂ කෝපතාවය නිසා ඇතිවන්නා වූ හා එකතුවන්නා වූ විෂ (දූෂී විස) නිසා අසාත්මිකතා තත්ත්ව ඇතිවිය හැකිය. මෙහිදී විශේෂයෙන් පිත හා සෙම යන දෝෂවල අසමතුලිත බව විශේෂයි. එසේම ජීවන රටාවේ ආහාර හා ආහාර විහරණ රටාවේ වැරැදි පැවතුම් ප්‍රතිශක්තිකරණය දුර්වලබව, මානසික ආතතිය ආදී හේතුද ප්‍රධාන හේතු සාධක ලෙස සඳහන් කළ හැකිය.
ඉහත දක්වන ලද හේතු නිසා සිරුර තුළ එක්රැස්වන්නාවූ විෂ සිරුරෙන් බැහැර නොවූ කල රුධිරය හා එක්වී විවිධ සමේ අසාත්මිකතා ඇති වේ. නිසි ලෙස ආහාර නොදිරවීම, පෝෂණ කොටස් නිසි ලෙස උරා නොගැනීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය දුර්වල වේ. ඉහත කී හේතුවලට අමතරව භය, තරහ, දුක ආදී හේතු නිසාද අසාත්මිකතා ඇතිවීමට පුළුවන.
වර්තමානයේ විශේෂයෙන් වැරැදි ආහාර රටා එනම් රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර, කල්තබා ගැනීම සඳහා යොදාගන්නා රසකාරක ද්‍රව්‍ය අඩංගු ආහාර, මෙම රෝග තත්ත්වයට හේතු විය හැකිය. මෙවැනි ආහාර නිසා සිරුරේ මල මුත්‍ර නිසි ලෙස බැහැර නොවී විවිධ බෝ නොවන රෝග (දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ඇදුම) වැනි තත්ත්ව ඇති වේ.
එසේම අධික නාගරීකරණය සමග කර්මාන්ත ශාලා වාහන ආදිය මඟින් පිටවන විෂ දුම් මඟින්ද බොහෝ අසාත්මිකතා ඇතිවෙයි. එපමණක් නොව රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය, (ආලේපන වර්ණ) නිසාද විවිධ චර්ම රෝග වර්තමානයේ දක්නට ඇත. ෂැම්පු, සබන් ඇඳුම්වල අඩංගු කෘත්‍රිම වර්ණ නිසාත් ආහාර සැකසුම් බඳුන්, කල් ඉකුත් වූ ආහාර ගැනීම නිසාත් අසාත්මිකතා ඇතිවිය හැකිය.
ප්‍රෝටීන් අඩංගු ඇතැම් ආහාර (මස්, කිරි, මාළු) නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. සමහර අසාත්මිකතා පරම්පරාවෙන් ද පැමිණිය හැකිය. සමහර ශාකවල පරාග, විවිධ කිරි/මැලියම්, එමෙන්ම ඇසට නොපෙනෙන කුඩා කෘමීන් දෂ්ට කළ හැකි කුඩා කෘමීන්, කුහුඹුවන් නිසාත් අසාත්මිකතා ඇතිවෙයි. ගෑස්, හඳුන්කූරු සුවඳ ගැල්වූ විවිධ ද්‍රව්‍ය, විවිධ ඖෂධ එන්නත් නිසාත් අසාත්මිකතා ඇතිවෙයි.
සමහර රෝග හඳුනා ගැනීම සඳහා සිරුර තුළට ඇතුළු කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසාත් මෙවැනි Allergy තත්ත්ව ඇතිවීමට පුළුවන. සුරතල් සතුන් ස්පර්ශය නිසා කුඩා දරුවන් අතර බහුල ලෙස සමේ කැසීම, පලු දැමීම, කුෂ්ඨ ඇතිවීම දක්නට ලැබේ. සමහර අයට රබර් ප්ලාස්ටික්, පොලිතීන්වල දමන ආහාරවලින්ද අසාත්මික තත්ත්ව ඇති වේ.
මෙම නිසා තමන්ට හෝ දරුවන්ට අසාත්මිකතා ඇතිවීමට හැකි හේතුකාරක හඳුනා ගැනීම ඉතාම වැදගත් ය. ඊට අමතරව අසාත්මිකතා ලක්ෂණ හඳුනාගත් විගස ප්‍රතිකාර ගත යුතුය. ප්‍රතිශක්තිකරණය දුර්වල වූ විට අසාත්මිකතා ඇතිවිය හැකි නිසා පෝෂණීය ආහාර රටාවකට හුරුවීම මානසික අතතිය දුරුකර ගැනීම, සුව නින්ද ඉතා වැදගත් ය. නිවසේ පිළියෙල කරන ලද නැවුම් ආහාර, පිරිසුදු ජලය පානය ඉතා වැදගත් ය. මල, මූත්‍ර වැනි අපද්‍රව්‍ය, දුම්, දූවිලිවලින් තොර නිවසක් තබා ගැනීම පවුලේ සියලුදෙනාටම හිතකර ය. එමෙන්ම තමන්ගේ සිරුරට අහිතකර ආලේපන ගැල්වීමෙන් වැළකීමටද වගබලා ගන්න.
ආයුර්වේදය අනුව සිරුරේ සිත, කය සමතුලිතව තබා ගත යුතුයි. ශරීරයේ උෂ්ණත්වය වැඩිවීමත් Allergy වලට හේතු වේ. විරේක කර ගැනීම කිරීම ඉතාම වැදගත් ය. අසාත්මිකතා සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ තිබේ.
ශාන් බන්දු වීරසිංහ
Leave a comment