කිරි දෙන අම්මලාට ඇතිවෙන ගැටලු
අලුත් අම්මලාට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් ගැනයි මේ. අලුත උපන් කිරි කැටියාට දෙන්න කිරි තියෙනවාද? මගේ කිරි දරුවාගේ කුස පිරෙන්න ඇතිද? එහෙම නම් ඒක දැනගන්නේ කොහොමද?දරු පාටියා අවදි වී විනාඩි කිහිපයකින් අඬන්නේ බඩගින්නෙද? ඒ අඬන හැමවිටම කිරි දෙන්න ඕනෑද? නැතිනම් කිරි දෙන්න ඕනෑ කුමන වෙලාවටද? නිවැරදිව කිරි දෙන්නේ කොහොමද? මේ වාගේ ප්‍රශ්න රැසක් සිතේ මැවෙන අම්මට ඒ සියල්ලටම පිළිතුරු දෙන්නයි මේ සූදානම් වෙන්නේ.
දහසක් පැතුම් හදේ පුරවාගෙන දරු පැටියගෙ මුහුණ බලනතෙක් ඉවසිල්ලක් නැතිව සිටි අම්මා බබා ලැබුණු විගසම දෙන වටිනා ත්‍යාගය මොකක්ද දන්නවාද?
ඒ නිවැරැදි විදිහට මවුකිරි දීමයි.
මුල්ම කිරි ටික දෙන්නම ඕනෑ
උපදෙස් :- මාරවිල |
දරුවා ඉපදී පළමු පැය තුළ කිරි කැටියාට පළමු කිරිවේල ලබා දීම ඉතාම වැදගත්. සූතිකාගාරයේ කාර්ය මණ්ඩලය මේ සඳහා මවට උදව් කරනවා. මුල් කිරිවේල ලබා දීම මීට වඩා ප්‍රමාද වුවහොත් දරුවා හොඳින් කිරි බීමට හුරු වීමේ යම් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒවාගේම දරුවා ඉපදී පළමු පැය තුළ දරුවාට මවගේ ස්පර්ශය ලැබීමත් ඉතාම වැදගත්. එය දරුවාට අංශ ගණනාවකින් යහපත් ප්‍රතිඵල ලබා දෙනවා.
හරි විදියට කිරි දෙන්නෙ කොහොමද?
මවුකිරි ටික හරියටම බොන්න නම් දරු පැටියාගෙ කට හොඳින් විවෘත වී තිබිය යුතුයි. ඒ සමග තනපුඩුව සහ ඒ වටා ඇති කළු පැහැති කොටස හෙවත් ඇරිගෝලාව දරුවාගේ කට ඇතුළට ඇතුළු වී තිබිය යුතුයි. ක්ෂීර ග්‍රන්ථිවල නිපදවෙන කිරි ක්ෂීර ප්‍රණාල දිගේ ගලාගෙන විත් කළු පැහැති කොටස ඇතුළෙ තාවකාලිකව එකතු වන්නේ එවිටයි. දරුවා මෙම ඇරිගෝලා කොටස කටට ඇතුළු වන සේ කිරි ඉරුවොත් පමණයි නිසි ලෙස පියයුරෙන් කිරි පිටවෙන්නේ.
දරුවා කිරි බොන විට, පැටියාගේ මුහුණත්, ශරීරයත් එකම දිශාවකට (මව දෙසට) හැරී තිබීම ඉතාම වැදගත්. බෙල්ල පැත්තකට හැරී තිබෙන විට දරුවාට කිරි උරා බොන්න අපහසුයි. කිරි දීමේදී මව විසින් දරුවාගේ හිස සහ පිට ප්‍රදේශයට පිටුපසින් අත තබාගෙන දරුවා ස්ථාවරව අල්ලාගෙන සිටිය යුතුයි.
කිරි බොන්න ඕනෑ කාලය
සාමානයයෙන් කුඩා දරුවෙකු විනාඩි 15-20 ක් අතර කාලයක් කිරි බොනවා. වයස මාසයක්, දෙකක් පමණ වෙන විට ඇතැම් දරුවන් විනාඩි දහයකින් පමණ කිරි බී අවසන් කරනවා. හොඳින් කිරි බී කුස පිරුණු පසු පැය දෙකක් පමණ දරුවා නිදා ගන්නවා. මේ හේතුව නිසා පුංචිම දරුවෙකුට ‘පැය දෙකෙන් දෙකට කිරි දිය යුතුයි’ යන උපදෙස ලැබෙනවා. එහෙත් මවුවරු මතක තබා ගත යුත්තක් නම්, සෑම දරුවෙකුටම හරියටම පැය දෙකෙන් දෙකට කුසගිනි වෙන්නේ නැති බවයි. එම නිසා අප කළ යුත්තේ දරුවාගේ අවශ්‍යතාව මත කිරි දීමයි. විශේෂයෙන් මාස 2-3 ක් පමණ වන විට දරුවා කිරි බී පැය තුනක් පමණ නිදා ගනී. එය සාමාන්‍ය ය.
දරුවා කුසගින්නේද?
ඕනෑම දරුවෙකුට කුසගිනි දැනුණු විට නින්දෙන් අවදි වෙයි. ඉන්පසු කට අරියි. තොල් ලෙවකයි. කිරි බොන ආකාරයෙන් තොල් සොලවයි. ඉන්පසු පැත්තකට හැරී කට අරියි. අත කටෙහි දමා ගනී. මෙසේ කරන්නේ කිරි බඩගිනි දැනුණු විටය.
මෙසේ කරන විටත් කිරි නොලැබුණහොත් අතපය සොලවයි. ඇඹරෙයි. කලබල ස්වභාවයක් පෙන්නුම් කරයි. ඉන්පසු කෑ ගසා හඬයි. දරුවා හඬන තෙක් නොසිට මුලින් දක්නට ලැබෙන ලක්ෂණවලදී කිරි දීමට පටන් ගැනීමෙන් දරුවා වඩාත් සතුටෙන් තැබීමට හැකියි.
මේ හැර තවත් වැදගත්ම කරුණක් නම් දරුවා හඬන සෑම විටම කුසගිනි බවක් හැඟවෙන්නේ නැතිබවයි. විශේෂයෙන් කිරි බී සුළු වේලාවකින් දරුවා හඬයි නම් ඒ වෙනත් අපහසුතාවක් නිසයි. එය සොයා බැලීම ඉතාම වැදගත්. ඒ හැර පියයුර ළං කිරීම ඊට විසඳුම නොවෙයි.
දරුවාට හොඳින් කිරි පෙවෙනබව දැනගන්නේ කොහොමද?
දරුවා කිරි බිවූ පසු දරුවා මූත්‍ර කරයි. මලපහ කරයි. දරුවාගේ බර සතියකින් බලන විට වැඩි වී තිබේ. ඒ අනුව දරුවාට අවශ්‍ය තරම් කිරි ලැබෙන බව පැවසිය හැකියි. දරුවෙකුට නිසි පරිදි මවුකිරි ලැබෙන්නේ නම් දරු පැටියාගේ බර වැඩි වේ. මේ අනුව මවට නිසි ලෙස මවුකිරි තිබෙන බවට තීරණය කළ හැකියි.
කිරිවලට අමතරව වතුර පෙව්වොත්
දරු පැටියාට මාස හයක් වනතුරු මවුකිරි හැර වෙන කිසිදු ආහාරයක්, පානයක් දීම අවශ්‍ය නැත. මවුකිරිවල දරුවාට අවශ්‍ය පමණට ජලය තිබේ. එසේම ළදරු පෝෂණයට අවශ්‍ය ලෙස සියලු පෝෂක පදාර්ථ ද ඇතුළත්ය. ළදරුවාට මවගේ කිරිවල හැර වෙනත් කිසිදු ආහාරයක එවැනි පෝෂක ඇතුළත් නැත. උපතේදී බර අඩු දරුවන් සහ අඩු මාසයෙන් උපන් දරුවන් සඳහා පමණක් වෛද්‍ය පරීක්ෂාව යටතේ එම උපදෙස් මත අමතර විටමින් සහ යකඩ සිරප් නියම කරන අවස්ථා තිබේ.
දොවා කිරිදීම සුදුසුද?
මවට කිරි අඩු නම් දොවා කිරි දීමට වෛද්‍යවරයා උපදෙස් දෙයි. දොවා කිරි දීමේදි සූප්පුවෙන් දීම සුදුසු නැත. කෝප්පයෙන් පෙවිය යුතුයි.
එසේම දොවා කිරි දෙන විට අවශ්‍ය ප්‍රමාණය ගැන මවට දැනුමක් නැත. සාමාන්‍යයෙන් වයස මාසයවන දරුවෙකුට වරකට කිරි මිලි ලීටර 20 ක් දිය හැකියි. එහෙත් එසේ මැන බලා දීමට බොහෝ මවුවරු නොදනී. ඒ නිසා කිරි තිබෙන මවක් පියයුරෙන් හැර දොවා දීම එතරම් සාර්ථක නැත.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment