කොන්දෙ කැක්කුම කරදරයිද? මේ අත් බෙහෙත් කරලා බලන්න

 

වයස් භේදයකින් තොරව තිබෙන රෝග අතරින් කොන්ද හා බෙල්ලේ වේදනාව සුලබව දක්නට ලැබෙන්නකි. මෙම රෝගී තත්ත්වයට ප්‍රධානම හේතුව නොගැළපෙන ආහාරයි. 


වස විස සහිත නොගැළපෙන ආහාර හේතුවෙන් මිනිසුන්ගේ අස්ථි දිරා යයි. නිදි වැරීම, එකතැන වැඩි වෙලාවක් ඉඳගෙන සිටීම, ව්‍යායාම නොකිරීම, වැඩිවෙලාවක් දුරකථනයේ සිටීම ආදිය නිසා සිරුරේ වාතය වැඩිවෙනවා.  මේ නිසයි කොන්දේ කැක්කුම බහුල වෙලා තියෙන්නේ. වාත අමාරුවේදී සිදුවෙන්නේ වාතය කිපීමයි. අස්ථි දුර්වලවීම නිසා පුංචි දරුවෝ පවා කොන්දෙ අමාරුවලට දණහිස් අමාරුවලට ගොදුරු වෙලා. ඊට ප්‍රධානම හේතුව පෝෂණය හා ව්‍යායාම නැතිකමයි. එකදිගට වාඩිවෙලා ඉන්න විට කොඳු නාරටියට තෙරපුමක් ඇතිවෙනවා. මේ තත්ත්වය පරිගණක ආශ්‍රිත වැඩ කරන අයටත් බලපානවා.


මේ නිසා බෙල්ල අමාරු (ශයිටිකා) ඇතිවෙනවා. ඒ නිසා ඇතිවෙන වේදනාව එක දිගිට වාහන පදවන අයට, මෝටර් බයිසිකල් පදින අයට ඇතිවෙන තත්ත්වයක්. ලිස්සලා වැටීම වැනි අවස්ථා නිසාත් පසුකාලීනව මේ රෝග තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.


වර්තමානයේ තවත් දැකිය හැකි රෝගීි තත්ත්වයක් නම් පැති කුදය යි. මෙය ගැහැනු දරුවන්ගෙන් 30%කට පමණ තිබෙනවා. පිරිමි දරුවන් 10%කට වගේ තමයි බලපාන්නේ. ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමත් සමග සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා කොඳු ඇට පෙළේ ඇදවීමක් වෙනවා. හුඟක් දෙනා ඒ බව දන්නේ නෑ. අපි ළඟට එන්නේ නොයෙක් ප්‍රතිකාර කරලා අවුරුදු 15-16 පහුවුණාට පසුවයි. දරුවො ගැන අවධානයෙන් පසුවිය යුතුයි.  දෙමවුපියන් දරුවන්ට නිසි පෝෂණයක් සහිත ආහාර දිය යුතුයි. සෙල්ලම් කරන්න ඉඩ දිය යුතුයි. ව්‍යායාම පුංචි දරුවන්ට අත්‍යවශ්‍යයි.

 


හඳුනාගන්නේ කොහොමද?

ආයුර්වේද වෛද්‍ය 
ප්‍රසාද් සේනානායක


කොන්දෙ අමාරුව අපි මුලින් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. අපි වාහනයක වාඩිවෙලා ගිහින් බහින්න හදද්දි නැගිට ගන්න බෑ. සමහර වෙලාවට නාන කාමරයේ වාඩිවෙලා ඉඳලා නැගිට ගන්න බෑ. දණඉස් අමාරුව. ඇවිදින කොට පිටි පතුලේ මොනවා හරි ඇලවිලා තියෙනවා වගේ දැනෙනවා. කකුල් ඉදිමිලා, ඇඟිලිවල පොඩි හිරිවැටීමක් තියෙනවා. ඇඟිලි දිග අරින්න නවන්න අමාරුයි. මේ තත්ත්වය අත් කකුල් දෙකටම පොදුයි.
කොන්දෙ අමාරුව එද්දි මේ ලක්ෂණ කකුල්වල තියෙනවා. බෙල්ල අමාරුව එද්දි අත්වල තියෙනවා. බෙල්ලෙ ස්නායු දුර්වලවීම සමග අත්වල නම්‍යශීලීබව දුර්වල වෙනවා. වළලුකර සන්ධියේ නහර හිරවීමක් එක්ක ඇඟිලිවල අස්ථිි බන්දන දුර්වලවෙලා ඇඟිලි නමන්න බෑ. 


රියදුරන්ට, ගුරුවරුන්ට, පරිගණකවල නිතර වැඩ කරන අයට මෙය විශේෂයි. මේ අය දෛනිකව විනාඩි 30 ක් පමණ ව්‍යායාමවල නිරතවීම වැදගත්. මේ මූලික අපහසුතා යම් තරමකට සුවකර ගත හැකියි.


කොඳු ඇට පේළියේ වේදනාවට බටහිර වෛද්‍යවරු පොඩි ඇදීමක් කරනවා. එසේ කළාම තදවෙලා තියෙන තැන් ලිහිල් වුණාම ස්නායු ක්‍රියාකාරී වෙනවා. අපේ ආයූර්වේද සමහර වෛද්‍යවරුත් කොඳුඇට පේළිය අදිනවා. පොල්කටු තියලා පාගනවා. කොන්ද උඩට නැගලා පාගනවා. මෙවැනි දේවල්වලින් සදාකාලික අබ්බගාත වූ රෝගීන් ඉන්නවා. මේ නිසා විශේෂ අවධානයක් යොමු කර තමන් ප්‍රතිකාර ගත යුතුයි. වෛද්‍යවරු හැටියට නිවැරැදිව රෝගය හඳුනාගත යුතුයි. කොන්ද අමාරුව කී පමණින් ස්නායු තදවීමක් කියා ප්‍රතිකාර කරන්න හොඳ නෑ. කොඳු ඇට පේළියේ පිළිකාවක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙකුට උකුල් ඇටෙන් ගිහින් කොඳු නාරටියේ කොඳු අමාරුව ඇතිවීමට ක්ෂය රෝග කාරකයත් බලපාන්න පුළුවන්. දියවැඩියාව, කොලෙස්ටරෝල් තිබෙන අයටත් මේවගේ කොඳු අමාරු ඇතිවෙන්න පුළුවන්.

 


තමන්ටම කරගත හැකි ප්‍රතිකාර තිබෙනවාද?
යම් කොන්ද අමාරුවක් එන්නේ එතැන තිබෙන ස්නායුවක් තෙරපීම හේතුකරගෙනයි. එයට අපි පුරුදු වෙලා තියෙන්නේ තවන්න. මෙය ඕනෑවට වඩා තදකරමින් තැවීම හොඳ නෑ. තැළීමක් ‘සිදු වෙන්න පු`ඵවන්. ඒ නිසා කොන්දෙ අමාරුවක් තිබෙන කෙනෙක් තවන්න ඕනෑ කලව හා තට්ටම ප්‍රදේශයි. අතපය කැක්කුම අය මඳ උණුවතුරට ලුණු ස්වල්පයක් දමා ඇඟිලිවලින් මසාජ් කර ගැනීම හොඳයි. මෙයින් මානසික සුවයක්ද ලබා ගත හැකියි.


උළුහාල්, සුදුළුෑනු කොටා පොට්ටනියක් හදාගෙන තැටියකට තල තෙල් ස්වල්පයක් දමා රත්කර (මද රස්නයට) තට්ටම් හා කලව ප්‍රදේශ තවා ගන්න. උරහිස අමාරු අය බෙල්ල දෙපැත්ත  තවා බෙල්ල ඉහළට තෙල් ආලේප කරන්න. අනෙක් කාරණය ඔබ භාවිතා කරන කොට්ටය අඟල් දෙකක් පමණ උස එබෙන්නේ නැති එකක් විය යුතුයි. ඒවාගේම කොට්ටය තද හිරු එළියට දමා හොඳින් වේළාගන්න.

ශාන් බන්දු වීරසිංහ


 

 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment