කොවිඞ්වලින් පසු දරුවන්ට හැදෙන රෝගයක් මිස් - සී

කාලෙන් කාලෙට රට පුරා විවිධ රෝග පැතිර යයි. පසුගිය වසර කිහිපයේ අපේ රට පමණක් නොව මුළු ලොවම භීතියට පත් කළ කොවිඞ් 19 රෝගය නැවතත් හිස ඔසවමින් ඇතිබව පෙනේ. එම රෝගයට ළමා, තරුණ වැඩිහිටි  ඕනෑම අයකු ගොදුරු විය හැකිය. කොවිඞ් රෝගයට කුඩා දරුවකු ගොදුරු වුවහොත් කළ යුත්තේ කුමක්දැයි මෙම ලිපියෙන් සොයා බලමු. 
නැවතත් පැතිර යන කොවිඞ් ආසාදනයට කුඩා දරුවන්ද ගොදුරු විය හැකිය. එහෙත් ඒ ගැන එදා මෙන් අද බිය විය යුතු නැත. ඒ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ආසාදනය බරපතළවීමෙන් වැළකීම සඳහා ප‍්‍රතිශක්තිකරණ එන්නත් මාත‍්‍රා දෙකක් ලබා දී තිබීම හේතුවෙනි. එනිසා එම වයස්වල පසුවන දරුවන් ගැන බිය විය යුතු නැත.
වයස අවුරුදු 12ට අඩු දරුවෝ
වයස අවුරුදු 12ට අඩු දරුවන්ට මෙම ආසාදනය එතරම් බරපතළ නැත. මෙය වඩාත් බරපතළ වන්නේ එවැනි අඩු වයස් යම් බෝ නොවන රෝගයකින් පෙළෙන දරුවන්ටය. මෙම ආසාදනය යම් රෝගයකින් පෙළෙන  ඕනෑම වයසක කෙනකුට වඩාත් අවදානම් වේ.
කොවිඞ් රෝගයේ ලක්ෂණ
මේ කාලයේ පැතිර යන කොවිඞ් ආසාදනයේදී ද අතීතයේ දක්නට ලැබුණු රෝග ලක්ෂණම දක්නට ලැබේ.
දින 2-3ක් තදින් පවතින උණ 
කෑම ගිලීමේ අපහසුතාව (උගුර රිදීම)
සිරුරේ වේදනාව
කැස්ස 
බොහෝදුරට වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට දින කිහිපයකින් රෝගය පහව යයි. බරපතළ වන්නේ යම් රෝගයකින් පෙළෙන හෝ ශරීරය මහන්සි කරන විටය.
මෙම රෝගයට ගොදුරු වී රෝගය සුව වී නැවතත් වෙනස් ආකාරයකින් රෝගී වන දරුවෝ ද සිටිති. මෙය බරපතළ වන්නේ කුඩා දරුවන්ටය. එම රෝගී තත්ත්වය ‘මිස්-සී’ ලෙස හඳුන්වයි. 
මෙම රෝගී තත්ත්වය පහළ වන්නේ කොවිඞ් රෝගය සෑදී සති 2 - 3කින් පසුවය. එය කොවිඞ් ආසාදනයේ අතුරු ප‍්‍රතිඵලයකි.
රෝග ලක්ෂණ
දරුවාගේ සිරුර පුරාම කුඩා බිබිළි මෙන් ආසාදනය වෙයි. දරුවාට උණ සෑදෙයි. එය දරුවාට අපහසුය. එනිසා දරුවා හඬයි. 
පැහැපත් සිරුරක් ඇති දරුවකු නම් දරුවාගේ සම රත් පැහැ ගනී.
දරුවාට පාචනය ඇති වේ
උදර වේදනාව ඇති වේ
වමනය ඇති වේ
දරුවා කකුල් කැක්කුම් (හන්දි වේදනා) ගැන පවසයි.
මෙම මිස් - සී රෝගය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට වැඩිය. වෙනත් ආබාධ ඇති අයට මෙම තත්ත්වයට ගොදුරුවීමේ අවදානම වැඩිය.
රෝගය භයානක ද?
මෙය මුලින්ම හඳුනා ගැනීම අවශ්‍යය. එවිට අතුරු ආබාධ සඳහා ප‍්‍රතිකාර කරයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී තිබෙන නිසා ‘මිස් - සී’ රෝග තත්ත්වය ගැන බිය විය යුතු නැත. ඒ අයට රෝගය සෑදුනත් බරපතළ නොවේ.
බෝවෙනවාද? 
කොවිඞ් 19 ඉතා ඉක්මනින් ශ්වසන මාර්ගය හරහා බෝවිය හැකිය. එනිසා දරුවන් පාසල් යවන විට හෝ නිවසෙන් පිටත යවන සෑම අවස්ථාවකම නිවැරැදි මාස්ක් එකක් දමා යාමට පුරුදු කළ යුතුය.
එසේම පාසල නිම වී නිවසට පැමිණි පසු මෙන්ම නිවසෙන් පිට සුළු දෙයකට හෝ ආවත් දෑත් සබන් ගා හොඳින් සේදීමට දරුවා පුරුදු කළ යුතුය. මෙය නිවසට පැමිණ වහාම කළ යුතු කාර්යයක් බවට දරුවාට කියා දිය යුතුය.
එසේම පාසලේදී දරුවන් එකට එකතු වී කෑම ගැනීම, සෙල්ලම් කිරීම, ළ`ග වාඩි වී සිටීම යන දෑ තවම නුසුදුසු ක‍්‍රියාවන් ය. දරුවා පන්තියේදී වුවද තැබිය යුත්තේ දුරස්ථභාවය තබමිනි.
දරුවා පාසල් යවන්න 
දැන් නැවතත් පාසල් පටන් ගෙන තිබේ. එය අත්‍යවශ්‍යය. රට පුරා බෝවන රෝගයක් පැතිර ගියත් දරුවන් නිවෙස් තුළ තබාගෙන සිටීම නොකළ යුතුය.
පසුගිය කාලයේ වසර ගණන් පාසල් වසා තැබීම නිසා විශේෂයෙන් කුඩා දරුවන්ට මානසික වශයෙන් බරපතළ බලපෑමක් ඇති වී තිබේ. දරුවන්ට අධ්‍යාපනයක් නැත. එය දරුවාගේ අයිතියකි. එසේම පාසල් වසා තැබීම රටක පරිහානියේ ප‍්‍රධාන සාධකයකි. රටේ ජීවනාලිය කුඩා දරුවෝය. රටක් දියුණු වීමට නිසි අධ්‍යාපනය අවශ්‍යය. අධ්‍යාපනය බිඳවැටීම රටක් විනාශ වීමේ මූලික හේතුවකි. එනිසා පාසල් විවෘත කළ යුතුය. ඒවා වසා තැබීම රෝගයට විසඳුම නොවේ.
පාසල් යන දරුවාට හොඳ සෞඛ්‍ය පුරුදු නිසි ලෙසට කියා දිය යුතුය. එම පුරුදු රෝගයක් පැතිර යන කාලයට පමණක් නොව මුළු ජීවිත කාලයටම ඉතා වැදගත් වේ. එනිසා පන්තියේ රෝගී දරුවෙක් හඳුනා ගත්තා කියා දරුවා පාසල් නොයවා සිටීම කිසිම විටෙක නොකළ යුතුය. දරුවාට නිවැරැදි සෞඛ්‍ය පුරුදු කියා දී පාසල නිම වී නිවසට පැමිණි විගස සබන් දමා නෑම හෝ ඇඟපත සෝදා ගැනීමට යොමු කළ යුතුය. එවැනි සෞඛ්‍ය පුරුදු මගින් දරුවා මෙන්ම නිවැසියන්ද ආරක්ෂා වේ. 
ඒ හැර වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට කොවිඞ් රෝගයෙන් වැළකීම සඳහා ප‍්‍රතිශක්තිකරණ එන්නතක් නැත. මෙවැනි දරුවන්ට ඒ සඳහා විශේෂ එන්නතක් ලබා දිය යුතු වුවත්  එම පහසුකම් අප රටේ නැත.

 

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ Read Previous

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

අනෙකාගේ විශ්වාසය රකින්න Read Next

අනෙකාගේ විශ්වාසය රකින්න

Realted Post

Leave a comment