ගැබිනි කාලයේ ඇදුම වැඩි වෙනවාද?

ඇදුම රෝගයට ගොදුරුවීමට වයස් භේදයක් නැත. කුඩා දරුවෝ පවා ළමා ඇදුම හෙවත් හතියෙන් පීඩා විඳිති. ඇදුම නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නොවේ. එහෙත් එය හොඳින් පාලනය කළ හැකිය. එවිට නිරෝගී කෙනකු මෙන් දිවි ගෙවිය හැකිය.


ඇදුම රෝගී කාන්තාවක් ගැබ් ගතහොත් එම ඖෂධ දිගටම ගත  යුතුද? නතර කළ යුතුද? ඒ සඳහා ආදේශක ඖෂධ ගත යුතුද යන ගැටලු බොහෝ කාන්තාවන්ට පැන නගී. එනිසාම මවුපදවියට සුදානම් වන කාන්තාවකට ඒ සම්බන්ධව පහදාදීම මෙම ලිපියේ අරමුණයි.


ඇදුම රෝගී කාන්තාවක් ගැබ් ගතහොත් ඇය රෝගයට ගත් ඖෂධ ගැනීම අත්‍යවශ්‍ය ය. එහෙත් තමා ඇදුම රෝගයෙන් පෙළෙන බව ප්‍රසවවේදී වෛද්‍යවරයාට මුලදීම පැවසිය යුතුය. එවිට පළමු දිනයේම වෛද්‍යවරයා රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. එහෙත් ඒ ප්‍රතිකාර පෙරදි ගත් ඖෂධ ප්‍රතිකාරවලට වඩා වෙනස් ය.

 


රෝගය වැඩිවෙනවාද?
ඇදුම රෝගී කාන්තාවන්ට ගර්භිණී කාලයේදී ද රෝගය පෙර සේම පවතී. එනිසා ඇයට මේ කාලයේදීත්  පෙර සේම ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුය. එසේ ප්‍රතිකාර නොලදහොත් එය දරුවාට අයහපත් ලෙස බලපායි.

 


දරුවාට බලපාන්නෙ කොහොමද?
ඇදුම, දියවැඩියාව මෙන් ඕනෑම රෝගයකට ගොදුරුව සිටින මවක් ගැබ් ගත් පසු  මවගේ රුධිරය හරහා කුස තුළ වැඩෙන දරුවාට අවශ්‍ය පෝෂක ශරීරගත වේ. මේ අවස්ථාවේදී මව තම රෝගය නිසි ලෙස පාලනය නොකළහොත් කුස තුළ වැඩෙන දරුවාට වැදෑමහ හරහා යන  ඔක්සිජන් හා පෝෂණය අඩු වේ. එය දරුවාට අහිතකර ලෙස බලපායි. දරුවා දුර්වල වේ. කුඩා වේ. අඩු මාස ගණනින් දරු ප්‍රසූතිය සිදුවිය හැකිය. එසේම දරු ප්‍රසූතියේදීත් අපහසුතා ඇති විය හැකිය.


ඇදුම හෝ එවැනි බෝ නොවන රෝගයකින් පෙළෙන මවක් තම රෝගය නිසි ලෙස පාලනය කර ඇත්නම් අන් නිරෝගී මවක මෙන් නිරෝගී දරුවෙකු නිසි කාලයේදී ප්‍රසුත  කළ හැකිය.

 


ඖෂධ දරුවාට හානිකරද?
ඇදුම සඳහා ගන්නා ඖෂධ කුස තුළ වැඩෙන දරුවාට අහිතකර යැයි බොහෝ මවුවරු සිතති. එහෙයින් හිතුමතේ ඖෂධ ගැනීම නතර කරති. එහෙත් මෙම රෝගයම ආඝ්‍රාණය කිරීම සඳහා දෙන ඖෂධ කෙළින්ම බලපාන්නේ මවගේ පෙණහලුවලට ය. එය මවගේ රුධිරයට බලපාන්නේ නැත. මේ නිසා ගර්භිණී කාලයේ මවුවරුන්ට ඇදුමට ගිලින පෙති, දියර  වර්ග නියම කරන්නේ  නැත. ආඝ්‍රාණය කිරීමට ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා දෙයි. එයින් කිසිදු හානියක්  සිදු නොවේ. මෙම ඖෂධ භාවිතා නොකළහොත් දරුවාට හානි සිදුවිය හැකිය.

 


වැසි කාලයට රෝගය වැඩිවෙනවාද? 
ඇදුම රෝගයෙන් පෙළෙන ඕනෑම කෙනකුට වැස්ස කාලයේදී රෝග ලක්ෂණ  මතුවිය හැකිය. එහෙත් රෝගය හොඳින් පාලනය කර නිසි ලෙසට ඖෂධ ගන්නා අයට එවැනි ගැටලු ඇති නොවේ.
ඇදුම රෝගි කාන්තාවක් ගැබ් ගත් විටද විවිධ රෝග ලක්ෂණ මතුවිය හැකිය. ඒ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස වැනි රෝග ලක්ෂණ ය. එහෙත් මේ සඳහා හිතුමතේ ගැබ් ගැනීමට පෙර ගත් ඖෂධ ගැනීම සුදුසු නැත. වෛද්‍ය උපදෙස් මත ගැබ් ගෙන තිබෙන බව පවසා ඊට හානි නොවන ඖෂධ ගත යුතුය. මෙහිදී වෛද්‍යවරයා නියම කරන්නේ අතුරු ආබාධ සඳහා ඖෂධ ලබා දීමය.

 


ප්‍රතිජීවක දෙනවාද?
රෝගයේ බරපතළ බව අනුව මවට ප්‍රතිජීවක ඖෂධ පවා නියම කරන අවස්ථා තිබේ. එහෙත් ගර්භිණී මවකට එම ඖෂධ නියම කරන්නේ අවශ්‍යතාව මත පමණි. එයින් දරුවාට හානි  නොවන ලෙස ඖෂධ ලබා දෙයි.

 

උපදෙස් :- 
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ 
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
දර්ශන් ද සිල්වා 


හදිසියේ රෝගී වුණොත්
ඇදුමට දිගට ප්‍රතිකාර ගන්නා කෙනකුට ප්‍රතිකාර ගනිද්දීත් නොසිතූ ලෙස රෝගය වැඩිවන අවස්ථා තිබේ. මෙහිදී දරුණු ලෙස වැඩිවීම බරපතළ ය.
යම් කෙනකුට ඇදුම වැඩිවන්නේ රෝගය වැඩි කරන හේතුවලට හසුවීමෙනි. එසේම රෝගයට නියම කරන සමනක ඖෂධවලට ඔරොත්තු නොදීමෙන් මෙවැනි තත්ත්වයකදී එසේ වීමට පෙර පහළ වන මූලික ලක්ෂණ හඳුනාගෙන වහාම ඊට ප්‍රතිකාර ලබා දිය යුතුය. 

 


ඒ ලක්ෂණ මොනවද?
* සිරුරට අධික ලෙස වෙහෙසකරබවක් දැනීම
* එක දිගටම හතිය ඇති වීම
* හුස්ම ගැනීම අපහසු වී කතා කිරීමට නොහැකිවීම
* සමනක ඖෂධ ගත්තද රෝගය අඩු නොවීම 


මෙවැනි ලක්ෂණ එකක් හෝ කිහිපයක් පහළ වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුය. එවිට ගැබට හානි නොවන ලෙස හදිසි ප්‍රතිකාර ලබා දී රෝගය පාලනය කරයි. එසේ යනවිට ඔබගේ ඉන්හේලරය රැගෙන යාම අත්‍යවශ්‍ය ය.


රෝගියා රෝහලට රැගෙන යනවිට අපහසුතා දැනේ නම් සමනක ඖෂධ නැවත ගැනීම හානිකර නැත.
රෝහලට යන විට මව ගන්නා ඖෂධ රැගෙන යාම අවශ්‍යය. මෙහිදී හුස්ම ගැනීම අපහසු වුවත් බිය නොවිය යුතුය. කලබල නොවිය යුතුය. රෝහලේදී විශේෂ දුම ප්‍රතිකාරය ලබා දෙයි. එවිට අපහසුතා පහව යනු ඇත.
මෙම රෝගය හදිසියේ වැඩි වී අපහසුතා දැනෙන විට  නිවාරක ඖෂධ නිතර ගැනීම නොකළ යුතුය. දෙවරක් සමනක ඖෂධ ඉන්හේල් කළ හැකිය.

 


රෝගය අඩු බව දැනගන්නෙ කොහොමද?
දිගටම  නිවාරක ඖෂධ ආඝ්‍රාණය කිරීමෙන් සති 3-4කට පසු සුවයක් දැනේ. එවිට හතිය අඩු වේ. පපුවේ තද ගතිය, කැස්ස අඩු වී යයි. මෙසේ සහනය ලැබුණද වෛද්‍ය උපදෙස් මත සමනක හා නිවාරක ඖෂධ දිගටම ආඝ්‍රාණය කළ යුතුයි. ඇතැම් විට දිගටම  ගන්නා එම  ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා විසින් අඩු කරයි. එහෙත් මේ කාලයේ දිනක්වත් ඖෂධ ගැනීම නතර නොකළ යුතුය. දරු ප්‍රසූතියෙන් පසු කලකදී  ඊට සහනයක් ලැබෙනු ඇත.

ශිරානි ගල්ලෑල්ල


 

 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

අනු කනූගෙ හුටපටේ Read Next

අනු කනූගෙ හුටපටේ

Realted Post

Leave a comment