ගැබිනි මවට වයිරස් රෝගයක් හැදුණොත් දරුවන්ටත් බලපානවද?

 

විවිධ වයිරස් රෝග පැතිර යන කාලයකි මේ. වසර දෙකක පමණ කාලයක පටන් පැතිර යන කොවිඞ් වයිරසයත්, කාලයෙන් කාලයට අඩු වැඩිවෙමින් පැතිර යන ඩෙංගු වයිරස රෝගයත්, විවිධ වයිරස් උණත් ගර්භිණී මවකට වැලඳුනහොත් ඇතිවන තත්ත්වය බරපතළ වන්නේ දැයි බොහෝ මවුවරු බියෙන් සිටිති. ගර්භිණී කාලයේ මෙම එක රෝගයක් පමණක් නොව රෝග දෙකක් එකවර සෑදෙන ගර්භිණී කාන්තාවෝ සිටිති. එනිසාම ගර්භිණී කාලයේ සෑදිය හැකි මෙම රෝග හේතුවෙන් මවටත් ගර්භයටත් ඇතිවිය හැකි බලපෑම් ගැන මෙම සටහනින් විමසා බලමු. 

 

ගර්භිණී මුල් මාස කිහිපයේ කොවිඞ් රෝගයට ගොදුරු වුවොත්
කොවිඞ් වයිරසය ලොව පුරා පැතිර යාමට පටන් ගෙන වසර දෙකක් පමණ වේ. මේ කාලය තුළ මෙම රෝගය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. එසේ කරන පර්යේෂණ මගින් මෙම රෝගය ගර්භිණී කාන්තාවකට වැලඳුනහොත් දරු ගැබට හානිකර බලපෑම් සිදුවෙනවාද යන්න ගැන තවම නිසි ලෙස පර්යේෂණ කර නැත. එසේම මෙවැනි රෝගවලට ගොදුරු වීමෙන් උපදින දරුවාට පසුකාලීනව හෝ දරු ප්‍රසූතියේදී යම් ගැටලු ඇතිවන්නේ දැයි පර්යේෂණ කර නැත. එනිසා ගර්භිණී මවුවරු කොවිඞ් වැනි රෝගවලින් වැළකීම ඉතාම වැදගත් ය.

 

වැළකෙන්නේ කොහොමද? 
මෙම රෝගයෙන් වැළකීමට නම් මව ගර්භිණී වීමට පෙර කොවිඞ් වැළකීමේ ප්‍රතිශක්ති එන්නත් ලබා ගෙන සිටීම ඉතාම වැදගත්ය. මෙම එන්නත් ගර්භිණී කාලයේ වුවත් ලබා ගැනීමට පුළුවන. එම එන්නත් ගැනීමෙන් ගැබෙහි වැඩෙන දරුවාට යම් බලපෑමක් වෙනවාදැයි සොයාගෙන නැත. එනිසා ඒ ගැන දැනුවත් වී ගැබ් ගැනීමට පෙර මෙම ප්‍රතිශක්ති එන්නත් ලබා ගෙන සිටීම ඉතාම සුදුසුය. 

 

ඩෙංගු හැදුනොත් 
ගැබ් ගත් මුල් තෙමස තුළ ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් එයින් යම් ගැටලු සහගත බවක් ඇතිවන්නේ දැයි මවුවරු බිය වෙති. ගැබ්ගත් විට මවගේ ශරීරයේ වෙනස්කම් රාශියක් සිදු වේ. එනම් හෘදයේ, පෙණහලු, වකුගඩු ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් සිදු වේ. මෙවැනි කාලයට ඩෙංගු වැනි රෝගයකට ගොදුරු වූ විට ඇති වන සංකූලතා තවත් වැඩිය. ඊට හේතුව ශරීරයේ වෙනස්වීම් සිදුව තිබෙන කාලයේ මෙම රෝගයට ගොදුරු වීමෙන් එම වෙනස්වීම් තවත් බරපතළ වන නිසාය. එනිසා සාමාන්‍ය කෙනෙකුට වඩා ගර්භිණී කාන්තාවකට ඩෙංගු හෝ කොවිඞ් වැනි වයිරස් රෝගයක් සෑදුණු විට සංකූලතා  අවදානම වැඩිය. මේ නිසා ගර්භිණී කාන්තාව මෙම රෝගයට ගොදුරු නොවී සිටීමට ප්‍රවේසම් විය යුතුයි. 

 

කුසේ සිටින දරුවාටත් හැදෙනවා
ගර්භිණි මවට සෑදෙන වයිරස් රෝග ගැබෙහි වැඩෙන දරුවාටත් සෑදෙයි. මේ නිසා ගැබ් ගත් පළමු මාස තුන තුළ බරපතළ ගැටලු ඇතිවන බවට සොයා ගෙන තිබෙන ජර්මන් සරම්ප රෝගයෙන් බේරීම සඳහා ගැබ් ගැනීමට පෙර යොවුන් වියේදීම ගැහැනු දරුවාට රුබෙල්ලා එන්නත ලබා දෙයි. 

 

වයිරස් උණ 
අපේ රටේ බහුලව දක්නට ලැබෙන්නේ ශ්වසන මාර්ගයෙන් සෑදෙන වයිරස් උණ වර්ගය. මෙම වයිරස නිසා ගර්භිණී මව ගේ ගැබෙහි වැඩෙන දරුවාට ගැටලු ඇති වන්නේ දැයි තහවුරු කර නැත. එහෙත් මේ කාලයේ මවුවරු සියලු වයිරස උණ රෝගවලින් ආරක්ෂාවීම ඉතා වැදගත් ය. 

 

පරෙස්සම් වෙන්නේ කොහොමද? 
මේ කාලයේ ගමන් බිමන් යාම අත්‍යවශ්‍ය දෙයකට පමණක් සීමා කරන්න. එසේ යන විට අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දමා ගෙන යාමට මතක තබාගන්න.
අත්‍යවශ්‍ය දෙයකට හැර සෙනඟ ගැවසෙන ස්ථානවල ගැවසීම අවම කරන්න. 


උණ, සෙම්ප්‍රතිශ්‍යාව හැදුනොත් පමා නොකර වෛද්‍ය උපදෙස් ගන්න.


ගර්භිණී මවකට මේ කාලයේ විශේෂයෙන් උණක් සෑදුනොත් වෛද්‍ය උපදෙස් ගත යුතුය. එවිට ඩෙංගු වැනි තත්ත්වයක් යැයි සැක සහිත නම් පමා නොකර පරීක්ෂා කර එය හඳුනාගත හැකිය. ඩෙංගු වැනි  රෝගයක් මුලින්ම හඳුනා ගැනීම ඉතාම වැදගත් ය. 


උණ, ප්‍රතිශ්‍යාව බොහෝ විට සාමාන්‍ය වයිරස් උණක් විය හැකිය. එහෙත් ගර්භිණී නම් වෛද්‍ය උපදෙස්  ගැනීම අනිවාර්ය ය.

 

අවසාන මාස කිහිපයේ කොවිඞ්, ඩෙංගු හැදුනොත්
දරු ප්‍රසූතියට ආසන්න කාලයේ කොවිඞ්, ඩෙංගු වැනි රෝගයක් සෑදීම බරපතළ විය හැකිය. ඒ ප්‍රසූතිය සංකීර්ණ විය හැකි නිසාය.


ගර්භිණී කාලයේ මවගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ. මේ නිසා ඇයගේ හෘදයේ පෙණහලු, වකුගඩු ආදි ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය සංකීර්ණ වේ. ඒ නිසා මේ කාලයේ ඇය විශේෂයෙන් පරෙස්සම් විය යුතුය.
කොවිඞ් රෝගයටත් වඩා ප්‍රසූතියට ආසන්න කාලයේ ඩෙංගු සෑදුනොත් එය බරපතළය. ඩෙංගු රක්තපාත, කම්පන තත්ත්වය ඇති වුවහොත් එය ඉතාම බරපතළ තත්ත්වයකි. දරු  ප්‍රසූතිය සමග ඩෙංගු සෑදුනොත් ප්‍රශ්නය තවත් බරපතළය. මෙවැනි කාන්තාවක් අනිවාර්යයෙන්ම පහසුකම් සහිත විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයක් ඇති රෝහලකට යා යුතුය. එවැනි මවකට විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

 

ප්‍රසූතිය ඉක්මනින් කරනවාද?
ඩෙංගු රක්තපාත, කම්පන තත්ත්වයට පත්වෙමින් සිටින ගර්භිණී මවකට දරු ප්‍රසූතියට නියමිත දින වුවත් ඉක්මනින් දරුවා ගන්නේ නැත. රෝගයේ අවදානම පහවනතුරු දරු ප්‍රසූතිය පමා කිරීමට වෛද්‍යවරු බොහෝ විට උත්සාහ ගනිති.

 


ගැබට හානිකරද?
ඩෙංගු හෝ කොවිඞ් රෝගවලට ගොඳුරුවීම වක්‍රාකාර ලෙස දරු ගැබට බලපෑම් එල්ලකල හැකිය. එම රෝග මවට බලපා එහි බලපෑම දරු ගැබට ඇතිවිය හැකිය. 
දරු ප්‍රසූතිය ආසන්න විට ඩෙංගු හෝ කොවිඞ් රෝග මවට වැළඳී ඇති අවස්ථාවක දරු ප්‍රසූතිය සිදුකිරීමට අත්‍යාවශය හේතුවක් නොමැතිනම් රෝග තත්වය පහවෙන තුරු ප්‍රසූතිය පමා කිරීම සුදුසුය.
ඩෙංගු රක්තපාතය ඇති රෝගයක් සමඟ දරු ප්‍රසූතියක් සිදු වූ විට අධික රුධිර වහනයක් ඇතිවිය හැකිය. මෙය ඉතාම සැලකිලිමත් විය යුතු තත්වයකි.   

 

     
වයිරස් උණක් හැදුනොත්
දරු ප්‍රසූතියට ආසන්න කාලයේ මවකට වයිරස් උණක් හැදුණොත් රෝහල් ගත කළ සැණින් රෝගී මවට කුමන රෝගී තත්ත්වයක් දැයි පරීක්ෂා කර දරු ප්‍රසූතිය රෝගී තත්ත්වය පහවනතුරු කල් දමයි. ඊට හේතුව ගර්භිණී කාලයේදි මවගේ හෘදයෙන් පොම්ප කරන රුධිර ප්‍රමාණය දරු ප්‍රසූතියේදී විශාල ලෙස වැඩි වන නිසාය. උණ සෑදුණු විට රෝගියාගේ හෘද ස්පන්දන වේගය වැඩි වේ. මෙවැනි තත්ත්වයක් ද මවකට ගැටලු සහගත වේ. මේ නිසා දරු ප්‍රසූතිය ළං වී රෝගී වන මවකට දරුවාට හානි කර නොවේ නම් ප්‍රසූතිය පමා කරයි. එය මෙවැනි අවස්ථාවකදී කළ යුතු ප්‍රධාන කාර්යයකි.


එහෙත් ඉහත තත්ත්වය ප්‍රසූතිය ස්වාභාවිකව සිදු වන මවකට කළ නොහැකිය. ඩෙංගු හෝ කොවිඞ් තිබියදී ප්‍රසව වේදනා ඇති වුණොත් නැවැත්විය නොහැකිය. සිසේරියන් වැනි තත්ත්වයකින් ප්‍රසූතිය සිදු කරන මවකට එය ඉහත සඳහන් කළ ආකාරයට පමා කළ හැකිය. කෙසේ වුවද මෙවැනි බරපතළ තත්ත්වයකදීි ප්‍රසූතිය කිරීමට සිදු වුවහොත් එයට fවෛද්‍ය කණ්ඩායමක් එකතු වේ. එනම් කායික, ප්‍රසව, ළමා, රුධිර පාරවිලයනය, යන විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් එකතු වී සුදුසුකම් ලත් රෝහලකදී දරු ප්‍රසූතිය සිදු කරයි. එම රෝහලේ දැඩි සත්කාර ඒකක පහසුකම් තිබීමත් අනිවාර්ය ය.


ශිරානි ගල්ලෑල්ල


 

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Previous

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

සියල්ල අහිමි වුවත්  ‘හැර නොයා රකින’ ප්‍රේමය Read Next

සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

Realted Post

Leave a comment