දරුවන්ට වැඩිපුර හැදෙන පිළිකා
ජීවිතයේ හය හතර නොදත් පුංචි මල් කැකුළක් හදිසියේ රෝගාතූර වුණොත්....
දරුවාට වැලඳී තිබෙන්නේ සුවය කිරීමට අපහසු නම කියූ සැණින් බියවෙන පිළිකාවක් යැයි හෙළි වුනොත්....
එතරම් වේදනාවක් කිසිදු මවුපිය යුවළකට දරා ගැනීමට අපහසු වනු ඇත. ජීවිතයේ මහත් බලාපොරොත්තු තැබූ තම පණනල එකවර සිඳී ගියා මෙන් මානසික අසහනයකට ඔවුන් පත්වෙනු ඇත. එහෙත් අප ඒ සම්බන්ධව දැනුවත් විය යුතු වෙමු. එවැනි රෝගයක් වුවද හැදෙන්නේ මිනිසාටමය යැයි සිතා දරුවා රෝගයෙන් සුවපත් කර ගැනීමට සිතට ගත යුතු වෙමු. මේ ඒ ගැන පැහැදිලි කිරීමයි.
කුඩා දරුවන් අතර වැඩිපුර දැකිය හැකි පිළිකා වර්ග වැඩිහිටියන් අතර වැඩි වශයෙන් දකින්නට හැකි පිළිකාවලට වඩා හාත්පසින්ම වෙනස්ය. පිළිකාවකට ගොදුරු වන කුඩා දරුවන්ට වැඩි වශයෙන් දැකිය හැකි පිළිකා වර්ග කිහිපයකි.
* ලියුකීමියා (Leukaemia)
* ලිම්ෆෝමා (Lymphoma)
* මෙඩල්ලොබ්ලාස්ටෝමා
* රෙටිනොබ්ලාස්ටෝමාව
* නෙෆ්රොබ්ලාස්ටෝමාව
* නියුරෝබ්ලාස්ටෝමා
* ඕකියොබ්ලාස්ටෝමාව
* එම් බ්රයොනල් රැම්ඩොමයෝසාර් කෝමාව
වැඩිපුරම දකින්න ලැබෙන පිළිකාව
පිළිකා රෝගි කුඩා දරුවන් අතර වැඩිපුරම දක්නට ලැබෙන්නේ ලියුකීමියාව රෝගයයි.
මෙම රෝගය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය යුතුය.
* වේගයෙන් වර්ධනය වන (Leukaemia)
* සෙමින් වර්ධනය වන (Lymphoma)
දරුවන් අතර දැකිය හැකි පිළිකාවලින් අති බහුතරයක් වේගයෙන් වර්ධනය වන පිළිකා වේ. වේගයෙන් වර්ධනය වන පිළිකා අතරින්ව (Acute Lymphoblastie Leuk aemia) ර්ගය බහුලව දක්නට ලැබේ. සමහර ජානගත රෝග සහිත ළමයින්ට ලියුකේමියාව වැලඳීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ. එනම් ඩවුන් සින්ඩ්‍රොම් වැනි දරුවන්ය.
එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ළමයින්ට වැලඳෙන ලියුකීමියා වර්ග රැසක් සාර්ථකව ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකිය. ඔවුන්ට තම ජීවිත කාලයේ බොහෝ කාලයක් ඉදිරියේදී ගත කිරීමට අවස්ථාව ලැබේ. එහෙත් ප්‍රතිකාර කිරීමේදී ඇති විය හැකි දිගුකාලීන සංකූලතා අවම කර ගැනීමට වෛද්‍යවරයා විසින් විශේෂ අවධානයක් යොමු කරයි. වර්ධන ඌනතා, ධාරණ ශක්තිය අඩුවීම, සරුබව අඩුවීම ආදිය මෙලෙස ඇති විය හැකි සංකූලතා වේ.
කුඩා දරුවන්ට වැලඳෙන ලියුකීමියාවේ රෝග ලක්ෂණ හඳුනාගන්නා ආකාරය, ප්‍රතිකාර ක්‍රම යනාදිය බොහෝ විට වැඩිහිටියන්ගේ දක්නට ලැබෙන ලියුකේමියාවට සමානය.
ලිම්ෆෝමියාව
කුඩා දරුවන්ගේ දක්නට ලැබෙන ලිම්ෆෝමියා රෝගය වැඩිහිටියන්ගේ මෙන් හොජ්කින්ස් (Hodgking' s) සහ හොජ්කින්ස් නොවන ලිම්ෆොමා (Non Hodgking' s) ලෙස ආකාර දෙකකට බෙදිය හැකියි.
කුඩා මොළය ප්‍රදේශයේ හටගන්නා පිළිකා වර්ගයක් වන මෙඩල්ලොබ්ලාස්ටෝමා වේගයෙන් වර්ධනය වන පිළිකා වර්ගයකි.
බොහෝවිට මොළයේ වෙනත් ස්ථානවල සහ සුෂුම්නාවේ මේවායේ ද්විතීයික තැන්පත්වීම් දක්නට ලැබේ.
රෝග ලක්ෂණ
මෙම රෝගයේදී දරුවාට වරින් වර වමනය යාම, ඇවිදීමේදී සමබරතාව නැති වී යාම, උදය කාලයට අධික හිසරදය ඇතිවීම, ඇස්වල චලනවල සිදුවන වෙනස්වීම් වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ.
රෝගය නිවැරැදිව හඳුනා ගැනීමට මොළයේ CT සහ MRI ස්කෑන් පරීක්ෂණ කළ යුතු වේ. සැත්කමක් මගින් වර්ධනය මුළුමනින්ම හෝ හැකි පමණ ඉවත් කිරීම ප්‍රධානම ප්රතිකර්මයයි. ඉන්පසුව පිළිකා නාශක ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර භාවිතා කරයි. මෙම පිළිකාව මුලදී හඳුනාගතහොත් නිට්ටාවට සුව කිරීමට හැකියාව තිබේ.
ඇස් ආශ්රිත පිළිකා
දරුවන්ගේ ඇසේ දෘෂ්ටිවිතානයෙහි හට ගන්නා විරල ගණයේ පිළිකාවක් ලෙස රෙටිනොබ්ලාස්ටෝමාව හැඳින්විය හැකියි.
මෙම රෝගය වයස අවුරුදු හයට අඩු දරුවන් අතර දක්නට ලැබේ. ජානගත බලපෑමක් නිසාද ඇති විය හැකියි. එසේ වුවහොත් දරුවාගේ ඇස් දෙකටම පිළිකාව වැලඳීමට ඉඩ තිබේ.
දෘෂ්ටිවිතානයෙහි හටගන්නා පිළිකාවේදී දරුවාගේ ඇස්වල කළු ඉංගිරියාවේ මැද ප්‍රදේශය ඉතා දීප්තිමත්ව දක්නට ලැබේ. බළලුන්ගේ ඇස් මෙන් ආලෝකය විහිදුවයි. ඒ නිසා මෙම තත්ත්වය ‘Cat's Eye ReflexZ ලෙස හඳුන්වයි.
මෙම පිළිකාව මුලදීම හඳුනාගතහොත් ප්‍රතිකාර කර නිට්ටාවට සුව කළ හැකියි. මේ සඳහා ලේසර් ප්‍රතිකාරය සහ විකිරණ ප්‍රතිකාරය භාවිතා කරයි.
එහෙත් තරමක් වර්ධනය වී මෙම රෝගය හඳුනාගතහොත් ශල්‍යකර්මයක් කර ඇස ඉවත් කිරීමට සිදු වේ. ඇස ඉවත් කළත් ඇස් පිහාටු, ඇසේ මාංසපේශී ආදිය ඉවත් නොකර තැබීමට වෛද්‍යවරයා උත්සාහ ගනී. පසුකාලීනව කෘත්‍රිම ඇසක් සවි කර ඇසේ බාහිර ස්වරූපය වෙනස්වීම අවම කර ගත හැකිය.
ඇතැම් විට විකිරණ ප්‍රතිකාර සහ පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.
වකුගඩුවල සෑදෙන පිළිකා විශේෂයක්
කුඩා දරුවන්ගේ වකුගඩුවල සෑදෙන පිළිකා විශේෂයක් ලෙස නෙෆ්රොබ්ලාස්ටෝමාව හැඳින්විය හැකියි. මෙම තත්ත්වය හඳුනාගන්නේ මවුපියන් දරුවා නාවන විට හෝ ඇඟ සේදීමේදී උදර ප්‍රදේශයේ අතට දැනෙන අසාමාන්‍ය ඉදිමුමක් හෝ ගැටිත්තක් මගිනි.
රෝග ලක්ෂණ
මෙවැනි දරුවන්ට වරින් වර උණ සෑදෙයි. උදර වේදනාව, වමනය හට ගනී. ශරීරයේ ව්‍යූහයේ වෙනස්වීම් ඇති වේ. උදාහරණ ලෙස ශරීරයේ එක පැත්තක් විශාලවීම, ඇසේ කණිනිකාව නොමැතිවීම යන දෑ සදහන් කළ හැකිය.
වැඩිහිටියන්ගේ වකුගඩු පිළිකාවලදී දැකිය හැකි මූත්‍ර සමග ලේ පිටවීම, මෙවැනි රෝගී දරුවන්ගේ ඉතා විරලව දක්නට ලැබේ.
ප්‍රතිකාර මොනවාද?
මුලදීම හඳුනාගතහොත් ඉතා සාර්ථකව ප්‍රතිකාර කර සුවපත් කළ හැකිය. ප්‍රධානම ප්‍රතිකාරය ශල්‍යකර්මයයි. විටෙක පිළිකා නාශක ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර යොදා ගැනීමද සිදු වේ.
නියුරෝබ්ලාස්ටෝමා
ස්නායු පද්ධතියේ හටගන්නා පිළිකා වර්ගයකි. මෙය බොහෝ විට වයස අවුරුදු 10 ට අඩු දරුවන් අතර දක්නට ලැබේ.
රෝග ලක්ෂණ
උදර ප්‍රදේශය ඉදිමීම
සමේ නිල් හෝ දම්පාට පැල්ලම් ඇති වීම
ඇස් ඉදිරියට නෙරා ඒම
අස්ථි වේදනාව
උණ
කෑම අරූචිය
අධික මහන්සිය
මෙම පිළිකාව හඳුනා ගන්නා විට බොහෝ දරුවන්ගේ රෝගයේ මූලික අවස්ථාවෙන් ඔබ්බට පැතිර තිබේ.
ප්‍රාථමික අවදියේදී ඉතා සාර්ථකව ප්‍රතිකාර කර සුව කළ හැකියි. එහෙත් එය පැතිර තිබේ නම් නිට්ටාවට සුව කිරීම අපහසු වේ.
මෙම පිළිකාවට පිළිකා නාශක ඖෂධ භාවිතය ප්‍රධානම ප්‍රතිකාරයයි. මේ හැර විකිරණ ප්‍රතිකාරය ඉමියුනොතෙරපි ප්‍රතිකාරය සහ ශල්‍යකර්ම සහ ඇටමිඳුලු බද්ධ කිරීම වැනි ප්‍රතිකාර කිහිපයක් භාවිතා කරයි.
අක්මාවේ පිළිකා
කුඩා දරුවන්ගේ අක්මාවේ සෑදෙන පිළිකාවක් ලෙස හෙපටොබ්ලාස්ටෝමාව හැඳින්විය හැකියි. මෙම පිළිකාව හඳුනාගත් විට ශල්‍යකර්ම මගින් වර්ධක ඉවත් කරයි. පිළිකා නාශක ඖෂධ ද භාවිතා කළ යුතු වේ. සමහර අවස්ථාවලදී අක්මා බද්ධයක් ද අවශ්‍ය වේ.
ඕකියොබ්ලාස්ටෝමාව
පිරිමි දරුවන්ගේ වෘෂණවල සෑදෙන විරල පිළිකාවකි. වෘෂණ කෝෂවල ඉදිමුමක් ලෙස බාහිරව පෙන්වයි. මේ නිසා කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණවල යම් අසාමාන්‍ය වර්ධනයක් පෙනේ නම් පමා නොකර වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම ඉතා වැදගත්ය.
ශල්‍යකර්ම සහ පිළිකා නාශක මගින් සාර්ථකව රෝගය සුව කර ගත හැකියි.
මාංසපේශිවල හටගන්නා පිළිකා
‘එම්බ්රයොනල් රැබ්ඩොමයෝසාර්කෝමා’ (Embryoual Rhabdomyosareoma) ලෙස හටගන්නා මාංශපේශිවල පිළිකාව විරල ගනයේ රෝගයකි. රෝගය හඳුනාගත් විට පිළිකා නාශක ඖෂධ මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment