දරුවා කහ පාට වෙන්නේ ඇයි? ලෙඩක්ද? නැද්ද?

 

දරු පැටියා කහපාටවීම අලුත් මවුවරුන්ට තිබෙන තවත් ලොකු ගැටලුවක්. මෙසේ කහපැහැ ගැනීම ඇස්වලත් මුහුණ සහ පපු ප්‍රදේශයේත්, සමෙහිත් දැකිය හැකියි. මේ කහපාටවීම ගැන මවට දැඩි බියක් දැනේ. එහෙත් එය බොහෝ විට සාමාන්‍ය ය.


සාමාන්‍යයෙන් නිරෝගීව උපදින ළදරුවන්ගෙන් 60% ක් පමණ උපන් මුල් සති දෙක තුළ කහපාට ගනී. අඩු මාසෙන් උපදින දරුවන්ගෙන් 80% ක් පමණ මුල් සති දෙක තුළ එසේ කහපාට විය හැකිය. මෙම දරුවන්ගෙන් අති බහුතරයක් ළදරුවන්ට මෙය කිසිදු අහිතකර තත්ත්වයක් ලබා නොදෙන ස්වාභාවික තත්ත්වයකි. ඉතා සුළු ළදරුවන් පිරිසකට පමණක් එය වැඩිදුර පරීක්ෂණ කළ යුතු හෝ ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් බවට පත් වේ. 

 


ළදරුවන් කහවෙන්නේ ඇයි?

උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග රාජපක්‍ෂ


කෙනෙකුගේ ඇස්වල හා සමේ කහ පැහැය ඇති වන්නේ රුධිරයේ ඇති බිලිරුබීන් නම් වර්ණකය නිසාය. රුධිරයේ තිබෙන රතු සෛල ස්වාභාවිකව බිඳ වැටීමක් සිදු වේ. එසේ වන විට මෙම බිලිරුබීන් වර්ණකය නිපද වේ. මෙම වර්ණකය ශරීරයෙන් බැහැර කරන්නේ අක්මාව හරහාය.


අලුත උපන් ළදරුවෙකුගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය තරමක් අඩු මට්ටමක පවතී. එවිට මෙම වර්ණකය ශරීරයේ එකතු වී කහ පැහැයෙන් පිටතට දිස්වෙයි. දරුවාගේ වයස සතියක්, දෙකක් පමණ වන විට අක්මාවේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එවිට මෙම වැඩිපුර කහ වර්ණකය ශරීරයෙන් පිටවෙයි. එබැවින් ඉහතින් සඳහන් කළ පරිදි අති බහුතරයක් දරුවන්ට කිසිදු ප්‍රතිකාරයක් නොකර මෙම කහ පැහැය ස්වාභාවිකව සමනය වෙයි.

 


කහ පැහැවෙන රෝග තිබෙනවාද? 
ශරීරය, ඇස්, ආදිය කහපාට වන දරුවෝ සිටිති. මෙය ස්වාභාවික සංසිද්ධියට අමතරව කලාතුරකින් ඇතිවෙන රෝගී තත්ත්ව නිසාත් එසේත් කහපාට වේ. එවිට දරුවා අධික කහවීම දැකිය හැකියි. මෙසේ වන්නේ මවගේ සහ දරුවාගේ රුධිර ගණවල නොගැළපීමක් නිසා මෙන්ම රතු සෛලවල ඇති අස්වාභාවිකතා නිසාය. රතු සෛලවල අස්වාභාවිකතා නිසා රතු සෛල අධිකව බිඳවැටීම සිදු විය හැකිය. එවිට රුධිරයේ බිලිරුබීන් මට්ටම අධිකව ඉහළ යයි.


මේ හැර දරුවාට විෂබීජයක් ශරීරගත වූ විටද, දරුවා නිසි ලෙස කිරි නොබීම නිසාද, විජලනයට පත් වූ විටද රුධිරයේ බිලිරුබීන් මට්ටම ඉහළ ගොස් දරුවා කහපාට විය හැකිය.
එසේම ඉතා කලාතුරකින් ඇතැම් දරුවන්ගේ අක්මාවේ සිට පිත බැහැර කරන පිත්ත ප්‍රණාලවල ගැටලු ඇති වේ. එවිට බිලිරුබීන් වර්ණකය ශරීරයේ එකතු වෙයි. මෙහිදී ඇතිවෙන විශේෂ රෝග ලක්ෂණ වන්නේ දරුවාගේ මලපහ සුදු පැහැයට හුරු වී පහවීමයි. මෙවැනි දරුවන්ගේ මුත්‍රා කහට තේ පැහැයට හුරු තද පාටින් පිටවීමත් දක්නට ලැබේ.

 


කරන්න ඕනෑ මොනවද?
දරුවා අධිකව කහ වී ඇතැයි ඔබට හැඟේ නම් වහාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හෝ වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගන්න. මෙහිදී වැඩිදුර පරීක්ෂණ කළ යුතු මට්ටමකට කහපාට වී ඇතැයි හැඟෙන්නේ නම් ඔවුන් දරුවා පහසුකම් සහිත රෝහලක් වෙත යොමු කරනු ඇත. එහිදී රුධිර පරීක්ෂාවක් කර රුධිරයේ බිලිරුබීන් මට්ටම පරීක්ෂා කරයි. එහිදී යම් නිශ්චිත මට්ටමක් ඉක්මවා ගොස් ඇතැයි පෙනේ නම් දරුවා ආලෝක ප්‍රතිකාරය (Phototherapy) වෙත යොමු කරයි. මෙහිදී සිදුවන්නේ යම් විශේෂිත ආලෝකයක් යට දරුවා තැබීමයි. එවිට රුධිරයේ ඇති බිලිරුබීන් වර්ණකය පහසුවෙන්
 ශරීරයෙන් පිට කළ හැකි ස්වභාවයට පරිවර්තනය වේ.

 


රුධිරයේ බිලිරුබීන් ප්‍රමාණය පාලනයකින් තොරව අධිකව වැඩිවීමෙන් ඇති විය හැකි සංකූලතා තිබේ. මෙහි ප්‍රධානම සංකූලතාව වන්නේ මේවා මොළයේ තැන්පත් වී මොළයේ සෛලවලට හානි සිදුවීමයි. එසේ මොළයේ බිලිරුබීන් තැන්පත් වුවහොත් එය ඉතාම හානිකර ය.

 


වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෑ අවස්ථා
ළදරුවා ඉපදී පළමු දිනයේම කහ වෙන්නේ නම් එය ගැටලු සහගතය. එවිට පරීක්ෂා කළ යුතු වේ. දරුවා ඉපදී සති දෙකක් පමණ ගොස් කහවීම පවතින්නේ නම් එවිටද වෛද්‍ය උපදෙස් ගත යුතුය.


එසේම ඉහත සඳහන් කළ ආකාරයට දරුවාගේ මලපහ කිරිමැටි මෙන් සුදු පැහැ ගනී නම් පරීක්ෂා කළ යුතුය. එමෙන්ම දරුවා පහ කරන මූත්‍ර තද දුඹුරු හෝ තද කහ පාට නම් වෛද්‍ය උපදෙස් ගත යුතු අවස්ථාවකි.
මේ හැර ඕනෑම අවස්ථාවක ළදරුවාගේ දෑස්වල හෝ ශරීරයේ අධික ලෙස කහපාටවීමක් දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම අවශ්‍යය.


කහ පැහැය ඇති වූ දරුවන් හිරු එළියට නිරාවරණය කිරීමේ පුරුද්දක් සමාජයේ කලක සිට පැවත එයි. එහෙත් ළදරුවාගේ කහ පැහැය පාලනය කිරීම සදහා සෘජුවම හිරු එළියට නිරාවරණය කිරීම අවශ්‍ය යැයි නිර්දේශ නොකෙරෙයි. ඒ හිරු එළියේ පාරජම්බුල හා අධෝරක්ත වැනි හානිකර කිරණ අඩංගු බැවින් ඒවාට නිරාවරණයවීම ඊට වඩා හානි කර විය හැකි නිසාය.

 

ශිරානි ගල්ලෑල්ල


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment