දරු ප්‍රසූතියෙන් පසු මවට ඇතිවෙන ගැටලු

 

දරු ප්‍රසූතිය, මවක් වීමට සිහින මවන කාන්තාවකට සතුට, බිය දෙකම දනවන අවස්ථාවකි. ඒ ගර්භිණී කාලයේ දරු පැටියකුගේ හීන මැව්වත් ප්‍රසූති අවස්ථාව සෑම කාන්තාවකටම චකිතය උපදවන නිසාය. එහෙත් ගැබ් ගතහොත් දරුවා ප්‍රසූත කළ යුතුමය. ඒ නිසා එයට සෑම මවක්ම සතුටින් මුහුණදීම වැදගත් වේ. එසේම තමන්ට ඒ අවස්ථාවේ විඳිමට සිදුවන වේදනා යම් තරමකින් හෝ එදාට වඩා අඩු කර ගැනීමට නවීන වෛද්‍ය විද්‍යාත්මක පහසුකම් නිසා හැකියාව ලැබී තිබේ. එහෙත් දරු ප්‍රසූතිය හොඳින් සිදු වූ පසු සියල්ල අවසන් වූවා යැයි නොසිතිය යුතුය. තමන් මුහුණ දෙන දරු ප්‍රසූතියෙන් පසු මව දැනගත යුතු විශේෂ කරුණු කිහිපයක්ම වේ. ඒ නිසාම ඒ ගැන දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.


දරුවා ප්‍රසූත කරන ක්‍රමය අනුව මවට ඇතිවෙන ගැටලුද විවිධය. එසේම ස්වාභාවික දරු ප්‍රසූතියකට මවුවරු තවමත් බිය වුවත් එම ප්‍රසූතියෙන් පසු ඇතිවෙන ගැටලු බොහෝවිට අවමය. සාමාන්‍යයෙන් ප්‍රසූතිය සිදු කරන ආකාර කිහිපයකි.


* ස්වාභාවික ප්‍රසූතිය
* අඬු හෝ වැකියුම් ප්‍රසූතිය
* සිසේරියන් ප්‍රසූතිය


මෙම ප්‍රසූත ක්‍රමවලින් පසු මවකට ගැටලු ඇති වේ නම් ඒ ඇතිවෙන ගැටලු වෙනස්ය. එහෙත් සාමානය ප්‍රසූතිය හෙවත් ස්වාභාවික දරු ප්‍රසූතියේ දී මවකට ඇතිවෙන ගැටලු අවමය.  එසේම සංකූලතා ද අවමය. ඒ ස්වාභාවික දරු උපතක් නිසාය.

 


ස්වාභාවික දරු ප්‍රසූතිය

උපදෙස් - 
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ 
නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, 
රසික ද සිල්වා


ස්වාභාවික දරු ප්‍රසූතියේදී දරුවා බිහිවීම පහසු කිරීම සඳහා එම මාර්ගයට කුඩා කැපුමක් දමයි. මෙයට (Episiotomy) යැයි කියයි. ප්‍රසූතියෙන් පසු ඒ කැපුම මසයි. ඒ සඳහා දමන්නේ දියවෙන මැහුම්ය. 


මෙම ප්‍රසූතියෙන් දරුවන් බිහි කරන ඇතැම් මවුවරු මැහුම් දමා තිබෙන නිසා එම ප්‍රදේශය හොඳින් පිරිසුදු නොකිරීමෙන් විෂබීජ යා හැකිය. එසේ වූ විට දැමූ මැහුම් ගැලවෙයි. එසේම විෂබීජ ආසාදන ඇති වේ. මෙම ප්‍රදේශයට කැපුමක් දැමූවත් නිතර පිරිසුදු කළ යුතුය. එසේ නොවුණොත් කැපුම පැසවයි. 


ස්වාභාවික ප්‍රසූතියට මුහුණ දුන් මව ප්‍රසූතියට පසු දින පටන් දිනපතා දිය නෑම කළ යුතුයි. විශේෂයෙන් එම ප්‍රදේශය හොඳින් සෝදා පිරිසුදු රෙදි කඩකින් තෙත මාත්තු කර පිරිසුදුව වියළිව තැබිය යුතුයි. එවිට ගැටලු ඇති නොවේ. 

 


අඬු ප්‍රසූතිය/වැකියුම් ප්‍රසූතිය
මෙම ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ දමන කැපුමට අමතරව ඒ අවට ඉරීම්, තුවාලවීම් ඇති වේ. මෙම ප්‍රසූතියේදී මවගේ දරු මාර්ගයේ ඇති වෙන තුවාල වැඩිය. මෙසේ තුවාල වූ විට ඒවා පැසවිය හැකියි. එසේම අඬු දැමීම නිසා මවට මූත්‍ර පිට කිරීමේදී ගැටලු ඇති වේ. ඒ අඬු දමන විට මුත්‍රාශය අවට ස්නායු තෙරපීමකට ලක් වීම නිසාය. එසේ වූ විට තාවකාලිකව මූත්‍ර ආසාදන ඇති විය හැකියි. මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් මවක් ටිකට් කපා රෝහලෙන් පිටව යාමට පෙර මූත්‍ර කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම අවශ්‍යය. එසේ නොවුනොත් එය සාමාන්‍ය තත්ත්වයට පත් වනතෙක් රෝහලේ තබා ගනී. 


අඬු ප්‍රසූතියේදී මවට පමණක් නොව දරුවාටත් ගැටලු ඇති වන අවස්ථා තිබේ. බබාගේ හිස මතුබිට සුළු ලේ එකතුවීම් දක්නට පුළුවනි. ඉතාම කලාතුරකින් හිස තුළ ලේ ගැලීම් ඇතිවෙන අවස්ථා ද තිබේ.
එසේම දරුවාගේ මුහුණේ අඬු පාරවල් දක්නට පුළුවන. එසේම හිසේද එවැනි දෑ දක්නට ලැබේ. මෙම කැළැල්  දින කිහිපයකින් මැකී යයි.

 


සිසේරියන් සැත්කමින් දරු ප්‍රසූතිය සිදු කිරීම
සිසේරියන් සැත්කම ප්‍රසූතියේදී වේදනා විඳීමට සිදු නොවන්නේ යැයි සිතමින් බොහෝ දෙනා කැමැති ප්‍රසූති ක්‍රමයකි. එහෙත් මෙහිදී පසුවට මවට ගැටලු ඇති විය හැකියි. ඒ බොහෝ විට තුවාල ආසාදනය විය හැකි නිසාය. මෙම ප්‍රසූතියේදී දමන්නේ දියවෙන මැහුම්ය. එසේ දමා ප්ලාස්ටරයක් ඒ මතින් දමයි. සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමට මුහුණ දුන් කාන්තාවකට ටිකට් කපන්නේ ප්‍රසූතියට පසු දින හෝ ඊට පසු දිනයේදී ය. මෙහිදී සිසේරියන් කැපුමට දැමූ ප්ලාස්ටරය පසු දින ගලවයි. ප්ලාස්ටරය ගැල වූ පසු වියළි තුවාලයක් ලෙස එම කැපුම දිස් වේ. 


ප්ලාස්ටරය ගැලවූ පසු එනම් පසුදින මව දිය නා පිරිසුදු විය යුතුයි. ඉන්පසු දිනපතා එසේ දිය නා පිරිසුදු විය යුතුයි. එම කැපුම සෝදා පිරිසුදු කර තෙත මාත්තු කළ යුතුයි. එසේ පිරිසුදු කළේ නැත්නම් එම කැපුම පැසවයි. එයින් සැරව ගැලීමට ඉඩ තිබේ. එසේම මැහුම් ඈත් විය හැකියි. දියවැඩියා රෝගයෙන් පෙළෙන මවකට මෙම ගැටලු වැඩිය. එහි අවදානම වැඩිය.


එසේම මහත සිරුරක් ඇති කෙනෙකු නම් එම අවදානම වැඩිය.
එම මව අපිරිසුදු නම් ගැටලු ඇති වීම තවත් වැඩිය.
සිසේරියන් සැත්කමින් ප්‍රසූතිය සිදු කළේ නම් සති 06 ක් යන තෙක් බර එසවීම සුදුසු නැත. දරුවා වඩා ගැනීම හානිකර නැත. ප්‍රසූතියෙන් පසු සති හයකට පෙර බර එසවීමෙන් උදරයේ පීඩනය වැඩි වී මවට හර්නියා තත්ත්වයක් මතු විය හැකියි. 

 


මානසික ප්‍රශ්න එනවාද?
ඕනෑම දරු  ප්‍රසූතියකින් පසු මවට ආතතිය ඇති වේ. එය ස්වාභාවිකය. ඒ එම කාන්තාවගේ ජීවිතයේ වෙනස්වීම හා දරු පැටියා නිසා ඇතිවෙන ගැටලු නිසාය. එනම් මවුකිරි දීම අලුත් මවට ගැටලුවකි. පැය දෙකෙන් දෙකට මව ඒ සඳහා අවදි විය යුතුයි. මවට නින්දක් නැත. දවස පුරා වැඩි වේලාවක් දරුවාගේ වැඩ නිසා කායික මානසික වෙහෙස ඇති වේ.
මේ නිසා දරුවන් බිහි කරන මවුවරුන්ගෙන් 50%ට පමණ මුල් දින කිහිපය තුළ මානසික ආතතිය ඇති වේ. සමහරුන්ට කලාතුරකින් සති දෙකකට වඩා මානසික ආතතිය තිබිය හැකි ය. 

 


මානසික ආතතිය ඇති විට ඇති වන ලක්ෂණ
* මවට නින්ද නොයාම
* නොසැලකිල්ල - උදාහරණ ලෙස දත් මැද මුහුණ සෝදා පිරිසුදුවීමට පවා නොසිතෙයි
* තමා ගැන ආශාවක් ඇති නොවෙයි.
* නිතර සුළු දෙයටත් කිපෙයි.


මෙම ලක්ෂණ සති දෙකකට වඩා තිබේ නම් ඒ මවට පසු ප්‍රසව විෂාදය ඇති බවට අනුමාන කළ හැකිය. එය ඉතාම අවදානම් තත්ත්වයකි. මෙම තත්ත්වය වැඩි වුවහොත් අලුත උපන් දරුවාට මව අතින්ම හානි සිදු විය හැකිය. එමෙන්ම මව සිය දිවි නසා ගන්නා තත්ත්වයට පවා පත් විය හැකියි. මේ ලක්ෂණ තිබෙන මවකට වෛද්‍ය ප්‍රතිකාර දිය යුතුයි. ඒ නිසා මවගේ අසාමාන්‍ය හැසිරීම් තිබේ නම් සැලකිලිමත් විය යුතුයි.


දරු ප්‍රසූතියෙන් පසු නිවසට ආ අලුත් මවට නිවසේ සිටින සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි. විශේෂයෙන් සැමියාගේ ආදර කරුණාව සහයෝගය අවශ්‍යය. එසේම විශේෂ අවධානයද ඉතාම වැදගත්ය. එවිට මවට බොහෝදුරට ආතතිය නැති වේ. දරුවා ලැබුණු පසු සියලු දේ මවටම කර ගැනීමට ඉඩ නොතැබිය යුතු ය. 

ශිරානි ගල්ලෑල්ල


 

මට මගේ සැමියව පේන්න බැහැ Read Previous

මට මගේ සැමියව පේන්න බැහැ

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Next

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

Realted Post

Leave a comment