දිනේ පහුවෙලත් බබා ලැබුණෙ නැතිනම් දවස් හතක් ඇතුළත ලැබෙනවා

 

දරු ප්‍රසූති දිනය ගැන ගැබ්ගත් සෑම කාන්තාවක්ම නිතර සිතති. දසමසක් පෙරුම් පුරමින් සෑම මවක්ම බලා සිටින්නේ මෙම දිනය උදාවනතෙක්ය. එහෙත් බොහෝවිට වෛද්‍යවරයා නියම කරන දිනය පසුවෙන අවස්ථා තිබේ. ඇතැම් විට එම දිනයට පෙර ප්‍රසූතිය සිදු වේ. වෛද්‍යවරයා නියම කළ දිනයට පෙර දින 2-3 ක් ඇතුළත ප්‍රසූතිය සිදුවීම වරදක් නැත. එහෙත් ප්‍රසූති දිනය පසුවීම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
වෛද්‍යවරයා දරු ප්‍රසූතියට දින නියම කළ දිනය පසුවීම සමහරු ගණන් ගන්නේ නැත. තවත් අය එම දිනට එක දිනක් හෝ පසු වූ විට කලබල වෙති. එක් දිනක් පසුවීම ගැටලු සහගත නොවේ. එහෙත් දින ගණනක් පසුවීම නුසුදුසුය. 


දරු ප්‍රසූතිය පමා වීම දරුවාට හානිකරද?

උපදෙස් :- නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය
හේමන්ත දොඩම්පහල


ගර්භිණී කාන්තාවකට අවසාන මාසික ඔසප් දිනයට දින හතක් එකතු කර ඊට මාස නවයක් සම්පූර්ණ වූ පසු දින ප්‍රසූති දිනය ලෙස සලකයි. ගර්භිණී කාන්තාවකගේ මුළු ගර්භිණී කාලය දින 280 කි. එහෙත් සෑම ගර්භිණී මවකටම දරු පූසූතිය සිදුවීමට දින 280 ක් ගත වන්නේ නැත. එම දිනයට පෙර දරුවා බිහිවෙයි. ඒ හැර 

දරු ප්‍රසූතිය සිදුවීමට දින 280 ක් ගත විය යුතු යැයි නියමයක් ද නැත.
දරුවා බිහිවන්නේ නිසි ලෙස මේරූ පසුවය. ඒ සඳහා දින 280 ක් ගත විය යුතුම නැත. ඒ නිසා වෛද්‍යවරයා නියම කරන දිනය පසු වී දින කිහිපයක් ගතවීම ගැටලු සහගත නැත. එහෙත් මේ කිසිදු අවදානමක් නැති මවුවරුන් සඳහාය.

 


අවදානම් මවුවරු කවුද?
ගර්භිණී කාලයේ අවදානම් සහිත මවුවරුන් ලෙසට ඇතැම් මවුවරු වෛද්‍යවරයා විසින් නිර්දේශ කරති. ඒ ගර්භිණී කාලයේ හෝ එසේවීමට පෙර පටන් දියවැඩියාව, අධි රුධිරපීඩනය, අපස්මාරය වැනි දිගුකාලීන ප්‍රතිකාර ගන්නා රෝගවලින් පෙළෙන කාන්තාවන් ය. එවැනි මවුවරු ගර්භිණී මුළු කාලය ගෙවනතෙක් ප්‍රසූතිය සඳහා බලා සිටින්නේ නැත. නියමිත පරීක්ෂාවලදී දරුවා මෝරා ඇත්නම් නියමිත දිනට පෙර ප්‍රසූතිය සිදු කරයි. ඒ මවගේත් දරුවාගේත් ජීවිත ආරක්ෂා කර ගැනීමටය.


ඉහත සඳහන් රෝගයකින් පෙළෙන අවදානම් සහිත කාන්තාවකට වෙනත් සංකූලතා නැත්නම් නියමිත ප්‍රසූත දිනය ළංවෙනතෙක් බලා සිටී. එහෙත් ඊට පෙර යම් සංකූලතාවක් ඇති වුවහොත් දරුවා ප්‍රසූත කිරීමට කටයුතු කරයි.

 


දරුවන් නැතිව සිටින මවක් නම්
දරුවෙකු ගැබ් නොගෙන වසර කිහිපයක් බලා සිට විවිධ ප්‍රතිකාර කර ගැබ් ගන්නා කාන්තාවෝ සිටිති. එවැනි කාන්තාවකට බොහෝ විට ස්වාභාවික දරු ප්‍රසූතියට ඉඩ දෙන්නේ නැත. එසේ දෙන්නේ ඉතා කලාතුරකිනි.


ස්වාභාවික ප්‍රසූතිය
ගර්භිණී කාන්තාවකට නියමිත දින දරු ප්‍රසූතිය සඳහා බලා සිටින්නේ ස්වාභාවිකව වේදනාව ඇති වී ස්වාභාවිකව එය සිදු කිරීමටය. එහෙත් දරුවන් නොමැතිව කලක් බලා සිටිි කාන්තාවකට වයසත් වැඩි නම් එසේ සාමාන්‍ය ප්‍රසූතිය තෙක් බලා සිටින්නේ නැත. එවැනි කාන්තාවකට ඉතාම පරෙස්සමින් දරු ගැබ ආරක්ෂා කර ප්‍රසූතිය සිදු කරයි.

 


ඖෂධ ප්‍රතිකාර ගත් මවුවරු
ගැබ් ගැනීමක් නොමැතිව කාලයක් ප්‍රතිකාර කර අපහසුවෙන් ගැබ් ගත් කාන්තාවකට වෛද්‍යවරු බොහෝ විට ස්වාභාවික දරු ප්‍රසූතියට ඉඩ දෙන්නේ නැත. එවැනි ගැබ් ගැනීම් අවදානම් සහිත මවුවරුන් ලෙස සලකා දරු ප්‍රසූතියට පෙර ප්‍රසූතිය සිසේරියන් සැත්කමින් සිදු කරයි.


සංකූලතා සහිත මවකට ප්‍රසූත දිනය පසුවනතෙක් ලබා සිටීම සුදුසු නැත. එය වෛද්‍යවරයා මවට පවසයි.


සාමාන්‍යයෙන් ගරිභිණී මවකට ස්වාභාවික ප්‍රසූතියෙන් දරු උපත සිදු කිරීමට බොහෝ විට වෛද්‍යවරුන් උත්සාහ ගනිති. එහෙත් සංකූලතා තිබේ නම් එවැනි අය අවදානම් මවුවරු ලෙස නම් කර දරු ප්‍රසූතිය නියමිත කාලයට පෙර කිරීමට වෛද්‍යවරු සැලකිලිමත් වෙති.

 


නියමිත දිනය පසු වුවහොත්
ස්වාභාවික ප්‍රසූතියකට සූදානම්ව සිටින මවකට නියමිත දිනය පසු වුවහොත් ස්වාභාවික වේදනා එනතෙක් බලා සිටින්නේ නැත. සාමාන්‍යයෙන් ප්‍රසූතිය වේදනාවකින් තොරව ස්වාභාවිකවම සිදු නොවේ. ඒ නිසා  එවැනි කාන්තාවට වේදනාව කෘත්‍රිමව ඇති කර ගත යුතුයි.
එහෙත් දරුවන් නොමැතිව සිටි හෝ වැඩි වයස් මවක් වැඩි අවදනම් යැයි සදහන් කරන හෙයින් ස්වාභාවික ප්‍රසූතිය තෙක් වෛද්‍යවරයා බලා සිටින්නේ නැත.

 


දරුවා දඟලන හැටි 
සාමාන්‍යයෙන් වෛද්‍යවරයා ප්‍රසූති දිනය ලෙස නියම කරන දිනයේම දරුවෙකු බිහිවන්නේ සියයට හතරකට (4%) පමණය. සියයට අසූවක්ම (80%) දරුවන් බිහිවන්නේ නියමිත දිනට පෙරය.  ඒ නිසා වෛද්‍යවරයා නියම කළ දිනයේම දරුවා ලැබෙනවා යැයි නොසිතිය යුතුයි. එයට පෙරත් පසුවත් ප්‍රසූතිය  සිදුවෙයි.

නිරෝගී මවකට නියමිත දිනට පසු දින හතක් පමණ කාලයක් ප්‍රසුතිය සිදුවනතෙක් බලා සිටිය හැකිය. එහෙත් අපහසුතා නැතැයි සිතා කිසිම මවක් නිවසට වී බලා සිටීම සුදුසු නැත. නියමිත දිනට ප්‍රසූත වේදනා නොඑන්නේ නම් ප්‍රසූතියට සූදානම් වී නිවසේ සිටීම ඉතාම සුදුසුය. ඒ හැර අපහසුතා නැත්නම් රෝහල්ගතවීම අවශ්‍ය නැත.

 

බබා දඟලනවාද?
දරු ප්‍රසුතිය නියමිත දින වේදනා නැතත් දරුවාගේ දැඟලීම ගැන සෑම විටම සැලකිලිමත් විය යුතුයි. මේ කාලයේ විශේෂයෙන් දරුවාගේ දැඟලීම කොළයක ලියා තැබීම දරුවාගේ ආරක්ෂාවට ඉතාම වැදගත් වෙයි.


දැඟලීම අඩුද? 
සාමාන්‍යයෙන් ප්‍රසූතියට ආසන්න කාලයේ දරුවාගේ දැඟලීම තරමක් අඩුය. ඒ එම කාලයේ ගර්භාෂයේ තරලය අඩු නිසාය. දරුවා වටා තිබෙන තරලය අඩුවීම නිසා දරුවාට අපහසුතා දැනේ. ඒ නිසා දරුවා දඟලන්නේ අඩුවෙනි.


දවස පුරා දඟලන හැටි
ප්‍රසූතියට ආසන්න කාලයේ දරුවා දඟලන්නේ පැයකට 4-5 වාරයකි. සමහරු පැය පහකදී 10-15 වාරයක් දඟලති. මේ කාලයේ දරුවා දඟලන්නේ නැතිනම් වහාම රෝහල් ගතවිය යුතුය. වේඳනා නැති වුවත් පැයක් ඇතුළත එක් වරක්වත් දරුවා දඟලන්නේ නැත්නම් පමා නොකර රෝහල්ගත වන්න.


දරුවා දඟලන්නේ නැත්නම් ප්‍රසූත වේදනා නැතත් ඉක්මනින් ප්‍රසූතිය සිදු කිරීමට වෛද්‍යවරු උත්සාහ ගනිති. මේ සඳහා කෘත්‍රිම වේදනාව ඇති කිරීමට ඖෂධ ලබා දෙති. එයින් වේදනාව ඇති වේ.  එසේ කළත් වේදනා නොඑන මවුවරු සිටිති. ඔවුන්ට සිසේරියන් සැත්කමින් ප්‍රසූතිය සිදු කරයි.


සාමාන්‍යයෙන් ප්‍රසූතියට නියමිත දිනය හෝ එය පසු වූ විට ස්වාභාවිකව දින හතක් ඇතුළත ප්‍රසූතිය සිදු වේ. මෙය 95%ක්ම සිදුවන බව සඳහන් කළ යුතු වේ. එසේ නොවන්නේ නම් සිසේරියන් සැත්කම කරනු ඇත. 

 


ශිරානි ගල්ලෑල්ල


 

 

 

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද? Read Previous

ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Next

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

Realted Post

Leave a comment