නිතර මුත්‍ර යනවා නම් යනවිට අඬනවා නම් බබාට මුත්‍ර ආසාදනයක්
මූත්‍ර ආසාදන වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැලඳිය හැකිය. එහෙත් කුඩාම දරුවෙකුට මූත්‍ර ආසාදනයක් වැලඳුනහොත් එය පැවසීමට නොහැක. එහෙත් කුඩා දරුවන්ට මූත්‍ර ආසාදන වැලඳිය හැකිය. එසේ වැලඳුනහොත් පමා නොකර රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. ඒ නිසාම කුඩා දරුවන්ටත් සෑදෙන මූත්‍ර අමාරු හඳුනා ගැනීම සඳහා ඇතිවෙන රෝග ලක්ෂණ පිළිබඳ පහදාදීම මෙම ලිපියේ අරමුණයි.
කුඩා දරුවන්ට සෑදෙන මූත්‍ර අමාරු අතර බහුතරයක් සෑදෙන්නේ මූත්‍රාශය ආශ්‍රිතවය. වකුගඩු ආශ්‍රිතව ඇතිවෙන ආසාදන වඩාත් බරපතළය. එහෙත් ඒවා ඇතිවන්නේ කලාතුරකිනි.
මූත්‍ර කරන විට හඬන්නේ රෝගයකටද?
උපදෙස් :- මාරවිල
මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග රාජපක්ෂ |
බොහෝ කුඩා දරුවෝ මූත්‍ර පිට කිරීමට පෙර හැඬීම හෝ අපහසුතාවෙන් ඇඹරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරති. ඒ ඔවුන්ට මූත්‍ර පාලනය කිරීමට නොදන්නාා බැවින් මූත්‍ර පිට කරගැනීමට අවශ්‍ය ‘වෙර’ ගැනීමටය. ඒ නිසා කුඩා දරුවාගේ ඒ හැසිරීම මූත්‍ර ආසාදනයක රෝග ලක්ෂණයක් නොවේ. ඒ ගැන අම්මලා බිය විය යුතු නැත.
එහෙත් සමහර දරුවන්ට මූත්‍ර පහ කරන විට මුත්‍ර දැවිල්ලක් ඇති වේ. ඒ මුත්‍ර ආසාදනයක් නිසාය. මුත්‍ර ආසාදනයකදී එසේ දැවිල්ල ඇති වන්නේ වැඩිපුරම මූත්‍ර පිටවෙමින් පවතින විටය. එනිසා දරුවා මූත්‍ර පිට කිරීමට පටන් ගත් පසු එය අවසන් වනතුරුත්, එසේ මුත්‍ර පිටකර ටික වේලාවක් යනතුරුත් හඬන්නේ නම් ඒ මූත්‍ර දැවිල්ලක් නිසා විය හැකිය. එනිසා ඒ ගැන මව සැලකිලිමත් විය යුතුය.
එසේම දරුවා දවසේ මූත්‍ර පහකරන සෑම විටම හඬන්නේ නම් මුත්‍ර ආසාදනයක් බවට සැක කළ හැකිය. මෙසේ මූත්‍ර පහකරන විට ඇතිවෙන දැවිල්ල නිසා ඇතැම් ළදරුවන් එකවරම මූත්‍ර සියල්ල පිට කරන්නේ නැත. එවිට දරු පැටියා කරන්නේ කඩින් කඩ මූත්‍ර පිටකිරීමයි. මේ නිසා දවසේ බොහෝ වාර ගණනක් දරුවා සුළු ප්‍රමාණයෙන් මූත්‍ර පහ කිරීම දක්නට ලැබෙනවා. එසේ දිනකට මූත්‍ර පහකරන වාර ගණන අසාමාන්‍ය ලෙස වැඩි විමත් මූත්‍ර ආසාදනයක ලක්ෂණයකි.
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලට අමතරව දරුවාට උණ, වමනය, යන්නේ නම් මවුකිරෙන් වැඩෙන දරුවා කිරි බීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය වඩාත් බරපතළ මූත්‍ර ආසාදනයක ලක්ෂණයක් විය හැකිය.
මූත්‍ර ආසාදනය හඳුනාගන්නා පරීක්ෂණ
මූත්‍ර ආසාදනයක් යැයි වෙද්‍යවරයා සැක කරන්නේ නම් එය නිවැරැදිව හඳුනා ගැනීමට කරන පරීක්ෂණ කිහිපයක් තිබේ.
පූර්ණ මූත්‍ර වාර්තාව
(Urine Full Report - UFR)
මෙම පරීක්ෂණයේදී මූත්‍ර සාම්පල අන්වීක්ෂණයකින් පරීක්ෂා කරයි. එහිදී මුත්‍රවල සීනි, ප්‍රෝටීන් ආදිය තිබේ දැයි රසායනිකව පරීක්ෂා කිරීමක් කරයි. UFR වාර්තාවේ සැරව සෛල (Pus cells) වැඩි ප්‍රමාණයක් තිබේ නම් එය මූත්‍ර ආසාදනයක ලක්ෂණයක් බවට තීරණය කෙරෙනවා.
මූත්‍ර රෝපණය
(Urine Culture)
මූත්‍ර ආසාදනයක් ඇතැයි නිගමනයට ආ විට හරියටම සැක හැර ගැනීමට මූත්‍ර රෝපණය හෙවත් culture පරීක්ෂණයක් කරයි. එම පරීක්ෂණයෙන් කරන්නේ නිවැරැදි ලෙස ලබා ගත් මූත්‍ර සාම්පලවල බැක්ටීරියා රසායනාගාර තත්ත්ව යටතේ වර්ධනයවීමට ඉඩ හැරීමයි. එමගින් වැලඳී තිබෙන බැක්ටීරියාවේ ස්වභාවයත් ඒ සඳහා සංවේදී වන ප්‍රතිජීවක ඖෂධ වර්ග ගැනත් අදහසක් ලබාගත හැකිය. මූත්‍ර රෝපණ පරීක්ෂාවේදී ප්‍රතිඵලය ලැබීමට බොහෝ විට දින තුනක් පමණ ගත වේ. දරුවාට මූත්‍ර ආසාදනයක් ඇති බවට පැහැදිලි රෝග ලක්ෂණ තිබේ නම් මෙම රෝපණ පරීක්ෂාවට මූත්‍ර ලබා ගත් විගසම ප්‍රතිජීවක ඖෂධ ලබා දීම වෛද්‍යවරු සිදු කරති. ඉන්පසු රෝපණ වාර්තාව ලැබුණු පසු අවශ්‍ය නම් එම ඖෂධ වෙනස් කර ඊට අදාල ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි.
මූත්‍ර ලබා ගැනීම පරෙස්සමින්
Urine Culture හෙවත් මූත්‍ර රෝපණ පරීක්ෂාවට මූත්‍ර ලබා ගන්නා විට ඉතා පරෙස්සම් විය යුතුය. මෙහිදී රෝගී දරුවාගේ යටි කය ඇඳුම් සියල්ල ඉවත් කර මූත්‍ර සිදුර අවට ප්‍රදේශය සබන් යොදා පිරිසුදු කිරීම අවශ්‍යය. මූත්‍ර සාම්පලය ලබා ගන්නා වැඩිහිටියන්ද තම දෑත් සබන් යොදා පිරිසුදු කරගත යුතුය. රසායනාගාරයෙන් ලබා දෙන මූත්‍ර බෝතලය පියන වසා තබා ගැනීමත් අවශ්‍යය. දරුවා මූත්‍ර පිට කරද්දී පමණක් එහි පියන හැර මූත්‍ර ස්වල්පයක් ඒ තුළට ලබා ගෙන ඒ සමගම පියන වැසිය යුතුය. එම සාම්පලය හැකි ඉක්මනින් රසායනාගාරයට භාර දිය යුතුයි. මෙහිදී මූත්‍ර බෝතලයේ කට දරුවාගේ සමෙහි ස්පර්ශ නොවිය යුතු බවත් දැනගත යුතුයි.
මූත්‍ර ආසාදනයක් ඇති බව තහවුරු වූ විට දින කිහිපයක් ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අවශ්‍යය. ළදරුවෙකුට මූත්‍ර ආසාදනයක් යැයි සැක සහිත නම් සති කිහිපයක් ඇතුළත මූත්‍ර පද්ධතියේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යද නැතිනම් කුමන වර්ගයේ ස්කෑන් පරීක්ෂණයක් කරනවාද යන්න විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තීරණය කළ යුතුය.
ආසාදන වළක්වා ගන්නේ කොහොමද?
සෑමවිටම දරුවාගේ මූත්‍ර මාර්ගය ආශ්රිත ප්‍රදේශය පිරිසුදුව තබා ගැනීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ මූත්‍ර මාර්ගය සහ ගුද මාර්ගය එකිනෙක ආසන්නයේ පිහිටා තිබෙන නිසා මළපහ කළ විට ඒවා මූත්‍ර ප්‍රදේශයේ ස්පර්ශවීමට අවදානමක් තිබේ. ගැහැනු දරුවාගේ මලපහ පිරිසුදු කිරීමේදි මූත්‍ර මාර්ගය ස්පර්ශ නොවන ලෙස පිරිසුදු කිරීම ඉතා වැදගත් ය. එසේම බොහෝ පැය ගණනක් පුංචි දරුවන්ටත් පැම්පර්ස් අන්දවා තැබීමෙන්ද මූත්‍ර ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ.
වකුගඩු සහ මූත්‍ර මාර්ගයේ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතාම වැදගත් බව බොහෝ දෙනා දනිති. මේ හේතුව නිසා ඇතැම් මවුවරු මාස හයට අඩු ළදරුවන්ට පවා ජලය වෙනම ලබා දිය යුතු දැයි විමසන අවස්ථා ද බෙහෙවින් අසන්නට ලැබේ. එහෙත් මවුකිරි පමණක් ලබා දෙන මාස හයට අඩු ළදරුවන්ට අවශ්‍ය සියලුම දේ (ජලයද ඇතුළුව) මවුකිරිවලින් ලැබේ. එනිසා එම වයසට අමතරව ජලය ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment