පැටියා හවසට අඬන්නේ කොලික් නිසාද?
අලුත උපන් දරු පැටියා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ ඇඬීමෙනි. මේ හැර පැටියාට තමන්ගේ කුසගින්න, මූත්‍ර පහවීම නිසා දැනෙන තෙත, මදුරුවෙකු, මැස්සෙකු දෂ්ට කිරීම නිසා ඇතිවෙන අපහසුතාව අම්මාට හෝ අන් අයට පැවසීමට ක්‍රමයක් නැත.
සාමාන්‍යයෙන් පුංචි පැටියෙක් නිතර හැඬීම අලුත් අම්මාට ඉවසිය නොහැකිය. ඇතැම් මවුවරු දරු පැටියා නිතර අඬන විට වෛද්‍යවරු සොයා යති. එහෙත් පැටියා අඬන්නට හේතු තිබේ දැයි මම සොයන්නේ නැත. ඇතැම් විට දරු පැටියා අඬන්නේ ඉතාම ස්වාභාවික හේතුවක් නිසා වෙන්න පුළුවන්. නැතහොත් යම් රෝගයක මුල් අවස්ථාව හඟවන ලක්ෂණක් ද විය හැකියි.
බඩගින්නේ හඬනවාද?
පුංචි පැටියා වැඩිපුරම අඬන්නේ කුසගිනි ඇති වූ විටය. කුසගිනි දැනුණු විට දරුවා මුලින්ම කට සෙලවීම, අත කටේ දමා ගැනීම, තොල් ලෙව කෑම වැනි අංග චලන පෙන්නුම් කරයි. මේ වේලාවේදීම කිරි නොලැබුණොත් දරුවා කුසගිනි නිසා අඬන්නට පටන් ගනී. එහෙත් කුසගිනි දැනෙන විට දරුවා පෙන්වන අංග චලනවලදී මව කිරි දුන්නොත් හැඩීම වළක්වා ගන්න පුළුවනි.
අඬන්න වෙනත් හේතු
පුංචි පැටියා අධික උණුසුමටත් හඬයි. සීතල දැනෙන විටත් අඬයි. මේ නිසා අධික උණුසුම් දිනවලට වෙනදාමෙන් රෙදිවලින් හෝ උණුසුම වඩාත් දැනෙන රෙදිවලින් ඔතන්න නම් එපා. ඒ වගේම අධික සීතල දිනවලට දරුවා හොඳින් පොරවා නොතබන්නත් එපා. එනිසා අම්ම පුංචි පැටියාට උණුසුම ඕනෑය කියා උණුසුම් දිනවලටත් සීතල දිනවලටත් එකවගේ පොරවන්න එපා. මේ කාලේ සීතල වැඩි නිසා පුංචි පැටියා හොඳින් ඔතා තබන්න. එවිට උණුසුම වැඩිකමට සීතල වැඩි වුණත් ඇඬීමට පුළුවන්.
පුංචි පැටියාට නැප්කිනයක් හෝ පැම්පර් එකක් ඇන්දවීම අවශ්‍යයි. ඒත් මල, මූත්‍ර පහකළ සැණින් දැනෙන අපහසුතාවටත් දරු පැටියා හඬයි. ඒ තෙත ගතිය සමෙහි ස්පර්ශවීම නිසාය. එසේම දරුවාට නැප්කින් හෝ පැම්පර්ස් අන්දවන්නේ නම් ඒවා මූත්‍ර හෝ මල සමග වැඩි වේලාවක් තැබීමත් සුදුසු නැත. එසේ තැබීමෙන් සියුමැලි සම රත් පැහැ වී වේදනාකාරී තත්ත්වයක් ඇති වේ.
මූත්‍ර පිට කිරීමට පෙර පැටියා කෙඳිරි ගෑම, තැටමීම හෝ කෑ ගසා ඇඬීම ඇතැම් දරුවන්ගේ සිරිතයි. එහෙත් සාමාන්‍ය තත්ත්වයෙන් මූත්‍ර පිටවීමට පටන් ගත් විට දරුවාට දැනෙන සැහැල්ලුවට ඇඬීම නතර කරයි. මූත්‍ර පිටවී අවසන් වනතුරුම අඬන දරුවෝ සිටිති. මූත්‍ර පිට කරන සෑම අවස්ථාවකදීම කෑගසා අඬන්නේ නම් එය මූත්‍රා ආසාදනයක ලක්ෂණයක් වීමටත් පුළුවනි. එසේ සෑමවිටම මූත්‍ර පහකරන විට එය අවසන් වනතුරුම අඬන්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුය.
මේ හැර දරුවා නිදි කරවා තබන ඇඳේ හෝ තොටිල්ලේ කුහුඹුවෙකු හෝ වෙනත් කෘමියකු, මැස්සෙකු දෂ්ට කිරීම නිසාද දරුවා අධිකව අඬන අවස්ථා තිබේ. මේ නිසා පැටියා නිදි කරවන ඇඳ හෝ තොටිල්ල කොට්ට උර, ඇඳ ඇතිරිලි නිතර පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ හැර අඬන විට බිය වී වෛද්‍ය උපදෙස් ගැනීම පිළියමක් නොවේ.
කිරි උගුරට එන්නෙ ඇයි?
ඇතැම් කුඩා දරුවන්ගේ කිරි උගුරට ඒමේ තත්ත්වයක් දැකිය හැකිය. මෙසේ වනවිට දැවිල්ලක් සහ උදරයේ අපහසුතාවක් ඇති විය හැකියි. එවිටත් දරුවා අධිකව අඬයි. මේ නිසා පුංචිම දරුවෙකුට කිරි දුන් පසු ‘ගුඩුස්’ යැවිය යුතුමයි. එසේම අඩු කාල පරතරයකින් නිතර කිරිදීම වළක්වා ගැනීමත් අවශ්‍යයි. මෙසේ නිතර කිරි උරා බොන තත්ත්වයේදී ඇඬීම නිසා ඇතැම් දරුවන්ට ඖෂධීය ප්‍රතිකාර දීමට සිදුවන අවස්ථාත් තිබේ.
‘කොලික්’ කියන්නෙ මොකක්ද?
‘කොලික්’නම් තත්ත්වයක් ගැන අද පුංචි දරුවන් සිටින අම්මලා නිතර කතා කරති. ඒ මොකක්ද?
Infantile Colie යනු දරුවාට වයස සාමාන්‍යයෙන් මාසයක්, මාස තුනක් අතර ඇතිවන තත්ත්වයකි. මෙය සෑම දරුවෙකුටම ඇති වන්නේ නැත. මේ තත්ත්වයේදී දරුවෝ දවසේ යම් කාලයකදී පැය තුනක් පමණ නොකඩවා හඬයි. බොහෝවිට මෙය සිදුවන්නේ සවස් කාලයේ හෝ රාත්‍රියටය. මේ වේලාවට ඇඬීමට පටන් ගත් පසු කිසිම දෙයකින් දරුවා නලවා ගැනීමට නොහැකියි. පැය තුනක් පමණ නොකඩවා අඬයි. පැය තුනකින් පමණ පසු ඇඬීම ඉබේම නතර වෙයි. ඉන්පසු දරුවා ඉතාම සාමාන්‍ය තත්ත්වයට පත් වේ. සාමාන්‍ය පරිදි ඉතිරි කාලය ගත කරයි. මෙම තත්ත්වය දිනපතාම හෝ සතියකට දින කිහිපයක් ඇති විය හැකියි.
හේතු මොනවාද?
මේ සඳහා විවිධ පර්යේෂණ සිදුකර තිබේ. එහෙත් ඊට විශේෂ හේතුවක් තවම සොයාගෙන නැත. සාමාන්‍යයෙන් වයස මාස 3 - 4 පමණ වන විට මේ තත්ත්වය ඉබේම පහව යයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පැයගණනක් නොකඩවා අඬන ළදරුවෙකු වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය විට පරීක්ෂා කර වෙනත් රෝග තත්ත්වයක් නැති බවට තහවුරු කර ගැනීමයි.
වෛද්‍ය උපදෙස් ගන්න ඕනෑ අවස්ථා
අධිකව අඬන ළදරුවා ගේ වෙනත් පැහැදිලි රෝග ලක්ෂණ පවතී නම් එනම් උණ තිබේ නම් අධික ලෙස නිදා ගන්නේ නම් කිරි උරා බීම නොකරන්නේ නම් ළදරුවාගේ උදරය පිම්බුණු හෝ ඉදිමුණු ස්වභාවයක් පෙන්වයි නම් වෛද්‍ය උපදෙස් ගත යුතුමය.
එසේම දරු පැටියා මවු කිරි බොනවිටත් දින කිහිපයක් මල පහ නොකර සිටීමත් අසමාන්‍ය ය.
ආසාමන්‍ය ස්වභාවයෙන් මලපහවීමද රෝග ලක්ෂණයක්වීමට පුළුවනි. ඇතැම් විට මෙම ලක්ෂණ බරපතළ රෝගයක ලක්ෂණයක් විය හැකිය. එවැනි ගැටලු පෙනේ නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම ඉතාම වැදගත් වේ.
ශිරානි ගල්ලෑල්ල
Leave a comment